Image

රෂ්ඩි ගේ මාරාන්තික අත්දැකීමක්; ‘පිහිය’ - ඝාතන ප්‍රයත්නයකින් පසු සිතිවිලි’

රෂ්ඩි ගේ මාරාන්තික අත්දැකීමක්; ‘පිහිය’ - ඝාතන ප්‍රයත්නයකින් පසු සිතිවිලි’

ලෝක ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි ගේ KNIFE - Meditations After an Attempted Murder නම් කෘතිය ඇසුරින් අනුර බී සෙනවිරත්න කළ පරිවර්තනය ‘පිහිය’ - ඝාතන ප්‍රයත්නයකින් පසු සිතිවිලි’ නමින් සොඳුරු ග්‍රන්ථ ප්‍රකාශක ප්‍රේම් දිසානායක ගේ ප්‍රකාශන අනුග්‍රහයෙන් ‘සුරස’ පොතක් ලෙස අද ළඟදී ම වෙළඳපොළට නිකුත් කරයි.

රෂ්ඩි ඝාතනය කිරීමට තැත් කළ පළමු අවස්ථාව

ආගමික අන්තවාදය නිසා සල්මන් රුෂ්ඩි තරම් පීඩාවට පත් වූ වෙනත් සාහිත්‍යකරුවකු ලොව නොමැති තරම් ය. ඔහුගේ පළමු ඝාතන ප්‍රයත්නය ඔහු වෙත පැමිණියේ, මෑතක දී ඝාතනයට ලක් වූ ඉරානයේ අධ්‍යාත්මික නායකයාව සිටි අයතුල්ලා අල් කුමෙයිනි විසින් 1989 පෙබරවාරි මාසයේ දී රුෂ්ඩිට එරෙහිව 'ෆත්වා' මරණ වරෙන්තුව නිකුත් කර මාස කිහිපයකට පසුව යි. 'හිස්බුල්ලා' සංවිධානයට සම්බන්ධ මුස්තාෆා මහමුද් මැසෙහ් නමැත්තකු ලන්ඩන් නුවර හෝටලයක දී රුෂ්ඩි වෙත යැවීම සඳහා පොතක් තුළ බෝම්බයක් අටවමින් සිටිය දී එය පුපුරා ගිය හෙයින්, ඒ පළමු නින්දිත ඝාතන ප්‍රයත්නය ව්‍යර්ථ වුණා. ඒ පිපිරීමෙන් හෝටලයේ තට්ටු දෙකකට හානි සිදු වුන අතර, බෝම්බකරු එතැන ම මිය ගියත්, වාසනාවට සල්මන් රුෂ්ඩිට ඉන් කිසිදු අනතුරක් සිදු වුණේ නැහැ. එතැන් සිට වසර 10ක පමණ කාලයක් යනතුරු ඔහුට ජීවත් වෙන්නට සිදු වුණේ, බ්‍රිතාන්‍ය රජයේ දැඩි ආරක්ෂාව යටතේ රහසිගතව. ඒ කාලය තුළත් විදේශීය රාජ්‍ය අනුග්‍රහය ලත් ත්‍රස්තවාදීන් විසින් ඔහු ඝාතනය කරන්නට සැලසුම් කරන ලද බරපතළ උත්සාහ 06ක් පමණ බ්‍රිතාන්‍ය 'ස්කොට්ලන්ඩ් යාඩ්' බුද්ධි අංශ විසින් ප්‍රහාරකයන් ඔහු වෙත ළඟා වෙන්නට පෙර ම සාර්ථකව ව්‍යර්ථ කරනු ලැබුවා.

WhatsApp Image 2026 08 23 at 4.22.30 AM

පිහි පහර 15ක්
රුෂ්ඩිට එල්ල වූ ඝාතන ප්‍රයත්න අතරින් දරුණුතම සහ මාරාන්තික ම ප්‍රහාරය ලෙස සැලකෙන්නේ 2022 අගෝස්තු 12 වන දින මුළුමහත් සාහිත්‍ය ලෝකය ම කම්පාවට පත් කරමින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි චොටක්වා හි දී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය. විසි හතර හැවිරිදි හාඩි මතාර් නම් තරුණයා විසින් රුෂ්ඩිගේ බෙල්ලට, මුහුණට, පපුවට සහ බඩට පහළොස් වතාවක් එල්ල කරන ලද ඒ පිහි පහරවලින් දරුණු ලෙස තුවාල ලැබූ ඔහුට ඔහු ගේ දකුණු ඇස සම්පූර්ණයෙන් ම අහිමි වුණා පමණක් නොවෙයි, ඔහුගේ එක් අතක ක්‍රියාකාරීත්වයත් සම්පූර්ණයෙන් ම අඩපණ වුණා. 2025 වසරේ දී අවසන් වූ මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී මිනි මැරීමට තැත් කිරීමේ වරදට හාඩි මතාර් නම් විත්තිකරුට වසර 25ක සිර දඬුවමක් නියම වුණා. ඒ ප්‍රහාරයෙන් පසුව වසරකට ආසන්න කාලයක් නොවිඳිනා දුක් විඳ ජීවිතය ගලවා ගත් ඔහු ගේ පළමු සාහිත්‍ය ප්‍රයත්නය වුණේ, මේ ප්‍රහාරය සම්බන්ධ සාහිත්‍ය ලෝකය නොදන්නා තොරතුරු සියල්ල සවිස්තරව පාඨකයා හමුවේ තැබීම යි.

ලොමු දැහැ ගැන්වෙන මතක පිරි කෘතියක්

ඒ, 2024 වසරේ ප්‍රකාශයට පත් KNIFE – Meditations After an Attempted Murder නම් ග්‍රන්ථය මගින්. එය ලොමු දැහැ ගැන්වෙන මතකවලින් පිරි කෘතියකටත් වඩා නවකතාවක් සේ රස විඳිය හැකි ග්‍රන්ථයක් වගේ ම, පාඨකයන්ගේ ඥානමය නිම්වළලු පුළුල් කරන සාරගර්භ කරුණුවලින් පිරි කෝෂ්ඨාගාරයකි.

කෘතියෙහි පරිවර්තක ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වයි.''මේ විශිෂ්ට ග්‍රන්ථය 'පිහිය - ඝාතන ප්‍රයත්නයකින් පසු සිතිවිලි' නමින් සිංහලයට නගන්නට මා අදහස් කළේ යට සඳහන් කරුණු ප්‍රමුඛ කරගනිමින්. එය වෙළඳපොලට නිකුත් වූවායින් පසු එහි පිටපතක් ඔබේ ම කරගෙන රස විඳ ඒ ගැන ඔබේ අදහස කියනවා නම්, එය මට මහත් දිරියක්.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න