සාරසංක්ෂේපය
සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාව ද්වි-සහස්‍ර අධික කාලයක් පුරා සිය ජීවගුණය පවත්වාගෙන යන්නේ එහි අන්තර්ගත ‘සාර්වත්‍රික’ ගුණය හේතුවෙනි. මෙම පර්යේෂණය මගින් සොෆොක්ලීස්ගේ 'ඊඩිපස් රජ', ඊස්කිලස්ගේ 'ප්‍රොමිතියස් බන්ධන' සහ යුරිපිඩීස්ගේ 'මීඩියා' යන නාට්‍ය ත්‍රිත්වය පාදක කරගනිමින්, එම නාට්‍යකරුවන් පැරණි පුරාකතා සාර්වත්‍රික මානව අත්දැකීම් බවට පරිවර්තනය කළ විධික්‍රමය විමර්ශනය කෙරේ.
පර්යේෂණයේ න්‍යායාත්මක පදනම ලෙස ඇරිස්ටෝටල්ගේ 'කාව්‍ය ශාස්ත්‍රය' සහ ජෝසෆ් කැම්බල්ගේ පුරාකතා පිළිබඳ මූලාකෘතිමය විග්‍රහ භාවිත කර ඇත. එහි දී ඊඩිපස් හරහා 'දෛවය සහ අනන්‍යතාව' ද, ප්‍රොමිතියස් හරහා 'බලයට එරෙහි බුද්ධිමය කැරැල්ල' ද, මීඩියා හරහා 'ස්ත්‍රී පීඩනය සහ මානුෂීය ආවේග' ද යන සාර්වත්‍රික තේමා මතු කෙරෙන ආකාරය විග්‍රහ කෙරේ.තවදුරටත්, මෙම ග්‍රීක නාට්‍යමය ප්‍රවේශය ලාංකේය නාට්‍ය කලාව තුළ එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම සහ කේ.බී. හේරත් යන නාට්‍යකරුවන් ගේ නිර්මාණ පෝෂණය කිරීමට දායක වී ඇති ආකාරය මෙහි දී සංසන්දනාත්මක ව විමසීමට ලක් කෙරේ. පුරාකතාවක් යනු නූතන මිනිසා ගේ ආධ්‍යාත්මික සහ සමාජ අර්බුද විවරණය කළ හැකි ප්‍රබල රූපකයක් බවත්, එමගින් නාට්‍යයක සාර්වත්‍රික භාවය තහවුරු වන බවත් මෙම පර්යේෂණය මගින් නිගමනය කෙරේ.
හැඳින්වීම
සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාව යනු ලෝක නාට්‍ය ඉතිහාසයේ පදනම යි. පුරාණ ග්‍රීක නාට්‍යකරුවන් සිය නිර්මාණ සඳහා ග්‍රීක පුරාකතා පදනම් කරගත්ත ද, එම නිර්මාණ අදටත් වලංගු වන්නේ ඒවා තුළ පවතින සාර්වත්‍රික මානුෂීය හරය හේතුවෙනි. මෙම පරිච්ඡේදය මගින් පර්යේෂණයේ මූලික පසුබිම, අරමුණ, ගැටලුව සහ ක්‍රමවේදය විග්‍රහ කෙරේ.
පර්යේෂණ ගැටලුව
පුරාකතාවක් යනු යම් නිශ්චිත සංස්කෘතියකට සහ කාලයකට අදාළ වූවකි. එසේ තිබිය දී, ග්‍රීක පුරාකතා පදනම් කරගත් නාට්‍ය කාලය සහ දේශය ඉක්මවා යමින් ‘සාර්වත්‍රික’ අගයක් ගනු ලබන්නේ කෙසේ ද? එමෙන් ම එම ග්‍රීක නාට්‍ය විධික්‍රමය ලාංකේය නාට්‍ය කලාව තුළ දේශීය පුරාකතා සහ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමේ දී සාර්ථක ව භාවිත වී තිබේ ද? යන්න මෙම පර්යේෂණයේ ප්‍රධාන ගැටලුව වේ.
4.2 පර්යේෂණ අරමුණ (Research Objectives)
පර්යේෂණ ක්‍රමවේදය
මෙම පර්යේෂණය මූලික වශයෙන් ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය මත පදනම් වේ. ද්විතීයික දත්ත මූලාශ්‍රය ලෙස සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය පෙළ, නාට්‍ය විචාර ග්‍රන්ථ, ඇරිස්ටෝටල්ගේ 'කාව්‍ය ශාස්ත්‍රය' සහ සරච්චන්ද්‍ර ගේ 'නාට්‍ය ගවේෂණ' යනාදි ශාස්ත්‍රීය කෘති පරිශීලනය කරමින් විග්‍රහය සිදු කර ඇත. නාට්‍යමය අවස්ථා සහ චරිත විශ්ලේෂණය කිරීම සඳහා සංසන්දනාත්මක සහ විචාරාත්මක ක්‍රමවේදය භාවිත කර ඇත.
ලෝක නාට්‍ය ඉතිහාසයේ පදනම ලෙස සැලකෙන සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාව, වසර දෙදහසකට අධික කාලයක් පුරා සිය ජීවගුණය රඳවාගෙන ඇත්තේ එහි පවතින සාර්වත්‍රික (Universal) ස්වභාවය හේතුවෙනි. සොෆොක්ලීස්, ඊස්කිලස් සහ යුරිපිඩීස් යනාදි මහා නාට්‍යකරුවන් තම නිර්මාණ සඳහා පදනම සපයා ගත්තේ එකල ග්‍රීක සමාජයේ මුල් බැස තිබූ පුරාකතා (Myths) මූලාශ්‍රවලිනි. පුරාකතාවක් යනු හුදෙක් අතීත ප්‍රවෘත්තියක් නො ව, යම් සංස්කෘතියක පවතින ලෝක දෘෂ්ටිය සහ මිනිස් පැවැත්ම පිළිබඳ මූලික ප්‍රශ්න සංකේතාත්මකව නිරූපණය කරන සාමූහික ප්‍රකාශනයකි. මෙම පර්යේෂණය මගින් ග්‍රීක නාට්‍ය ත්‍රිත්වයක් ඇසුරින් එම සාර්වත්‍රික ගුණය විමසා බලන අතර, එම විධික්‍රමය දේශීය නාට්‍ය කලාව පෝෂණය කිරීම සඳහා කෙතරම් දුරට යොදාගත හැකි ද යන්න සාකච්ඡා කරයි.
පුරාකතාව යනු ශීත කළ අතීතයක් නො ව, වර්තමානය විවරණය කිරීමට භාවිත කළ හැකි ජීවමාන සංකේත පද්ධතියකි. ග්‍රීක නාට්‍යකරුවන් පුරාකතා තුළින් සොයා ගියේ පුද්ගලයා ගේ ඉරණම නො ව, සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ම පොදු ඉරණම යි
මෙම අධ්‍යයනය සඳහා ප්‍රධාන න්‍යායවාදීන් තිදෙනකුගේ අදහස් පාදක කරගෙන ඇත. ඇරිස්ටෝටල් ගේ 'කාව්‍ය ශාස්ත්‍රය' (Poetics) අනුව, නාට්‍යයක් සාර්වත්‍රික වන්නේ එය ඉතිහාසය මෙන් 'සිදුවූ දේ' නොව 'සිදුවිය හැකි දේ' නිරූපණය කරන බැවිනි. එමගින් ඇතිවන භීතිය සහ අනුකම්පාව හරහා ප්‍රේක්ෂකයා 'කැතර්සිස්' (Catharsis) හෙවත් ආධ්‍යාත්මික ශෝධනයක් ලබයි. ජෝසෆ් කැම්බල් පෙන්වා දෙන්නේ ලෝකයේ සැම පුරාකතාවක් තුළ ම පවතින පොදු මූලාකෘති (Archetypes) මගින් මිනිසාගේ සදාකාලික මනෝවිද්‍යාත්මක අරගල සංකේතවත් වන බව යි. එදිරිවීර සරච්චන්ද්‍ර සිය පර්යේෂණ මගින්පෙන්වා දෙන්නේ දේශීය මූලාශ්‍ර සහ ජනශ්‍රැති නූතන මිනිසාගේ ප්‍රශ්න විවරණය කළ හැකි පරිදි නාට්‍යෝචිත ව ප්‍රතිනිර්මාණය කිරීමේ වැදගත්කම යි.
ග්‍රීක නාට්‍ය ත්‍රිත්වය පිළිබඳ විශ්ලේෂණය සොෆොක්ලීස්ගේ 'ඊඩිපස් රජ' නාට්‍යය තුළින් මතු කෙරෙන්නේ දෛවය සහ මානව නිදහස අතර පවතින සදාකාලික ගැටුම යි. ඊඩිපස් රජු සිය අනන්‍යතාව සොයා යෑමේ දී අත්විඳින ඛේදවාචකය ඕනෑ ම සංස්කෘතියක මිනිසකුට තම පැවැත්මේ සත්‍යය සොයා යෑමේ දී ඇති වන පීඩාව නිරූපණය කරයි. ඊස්කිලස්ගේ 'ප්‍රොමිතියස් බන්ධන' නාට්‍යය හරහා ඒකාධිපති පාලනය සහ බුද්ධිමය ප්‍රතිරෝධය අතර අරගලය සාර්වත්‍රික මට්ටමින් විවරණය කරයි. යුරිපිඩීස්ගේ 'මීඩියා' නාට්‍යය මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකින් ස්ත්‍රී පීඩනය, පාවාදීම සහ මානුෂීය ආවේගවල අන්තගාමී ස්වභාවය පෙන්වා දෙයි. මෙම නාට්‍ය තුනෙහි ම සාර්ථකත්වය රඳා පවතින්නේ පැරණි කතා පුවත් වටා මිනිසා ගේ මූලික ආවේග (බිය, ආදරය, බලය, වෛරය) ගැටගසා තිබීම මත ය.
සොෆොක්ලීස්, යුරිපිඩීස් සහ ඊස්කිලස් යනාදි නාට්‍යකරුවන් ග්‍රීක පුරාකතා භාවිත කළේ හුදෙක් කතාවක් කීමට නො ව, මානව ස්වභාවයේ පවතින මූලධාතුමය සත්‍යය (Archetypal Truths) විවරණය කිරීමට යි. බලය, ආදරය, දෛවය සහ වෛරය යනාදි ඕනෑ ම කාලයකට, ඕනෑ ම දේශයකට පොදු හැඟීම් මේ පුරාකතා තුළ ගැබ් ව තිබිණි. ඔවුහු පුරාකතාව ඒ අයුරින් ම නො ව, කාලීන දේශපාලනික හෝ සමාජීය ගැටලුවක් විවරණය කිරීමට හැකි වන පරිදි නව්‍යකරණය කළහ. දේශීය මූලාශ්‍රයක් භාවිත කිරීමෙන් නාට්‍යයකට දේශීය අනන්‍යතාවක් ලැබෙන අතර ම, එහි අන්තර්ගතය ලෝකයේ ඕනෑ ම අයකුට තේරුම් ගත හැකි 'පොදු මානුෂීය ස්වභාවයකින්' යුක්ත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව නාට්‍යකරුවා ස්වකීය අවධානය යොමු කළ යුතු ය.
සොෆොක්ලීස්ගේ 'ඊඩිපස් රජ' ඊස්කිලස්ගේ 'ප්‍රොමිතියස් බන්ධන' සහ යුරිපිඩීස්ගේ 'මීඩියා' යන ග්‍රීක නාට්‍ය ත්‍රිත්වය මගින් මෙය පැහැදිලි කිරීම අපේක්ෂාව යි. ඊඩිපස් රජ තීබයේ පාලක පවුල පිළිබඳ පුරාකතාව යි. දෛවය සහ මානව නිදහස පිළිබඳ ව ප්‍රකාශ වන මෙයින් මිනිසා කෙතරම් උත්සාහ කළත් දෛවයෙන් මිදිය නො හැකි බවත්, සත්‍යය හඹා යෑමේ දී මිනිසා විඳින වේදනාවත් ඕනෑ ම කාලයකට පොදු බව කියා පායි. ප්‍රොමිතියස් බන්ධන දෙවියන්ගෙන් ගින්දර සොරකම් කර මිනිසාට දීම පිළිබඳ පුරාකතාව යි. බලය සහ විප්ලවය පිළිබඳ ව කියැවෙන මෙයින් මර්දනකාරී පාලනයකට (සියුස්) එරෙහි ව නැගී සිටින බුද්ධිමතා සහ ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය පිළිබඳ ව සාකච්ඡාවට බඳුන් කරයි. මෙය අසාධාරණයට එරෙහි ඕනෑම අරගලයකට සාධාරණ ය. මීඩියා ජේසන් සහ රන් ලෝම සොයා ගිය 'ආගොනොට්' පුරාකතාව ස්ත්‍රී පීඩනය සහ පළිගැනීම පිළිබඳ කතාවකි. පීතෘමූලික සමාජයක ගැහැනියක අත්විඳින පාවාදීම සහ ඇගේ ආවේගශීලී ප්‍රතිචාරය පිළිබිඹු කරයි. මෙය ආදරය වෛරය බවට පත්වන මනෝවිද්‍යාත්මක ගැඹුරකින් යුතු කතාවකි.
මෙම නාට්‍ය තුනෙහි ම එන චරිත (ඊඩිපස් - තමන්ව ම විනාශ කරගන්නා සත්‍ය ගවේෂකයා, මීඩියා - වධයට පත් පෙම්වතිය/මව, ප්‍රොමිතියස් - කැරලිකාරයා) ලෝකයේ ඕනෑ ම රටක සාහිත්‍යයක දැකිය හැකි පොදු චරිත ලක්ෂණ වේ. ඇරිස්ටෝටල් පැවසූ පරිදි 'කැතර්සිස්' (Catharsis) හෙවත් ප්‍රේක්ෂක මනස පිරිසිදු වීම (භාව විරේචනය) සිදුවන්නේ මේ පුරාකතා තුළ ඇති 'භීතිය සහ අනුකම්පාව' සියලු මනුෂ්‍යයන්ට පොදු නිසා ය.
ඊඩිපස් රජ: දෛවය සහ මානව අනන්‍යතාව පිළිබඳ අරගලය
පුරාකතාමය පදනම සහ දෛවයේ බලපෑම සොෆොක්ලීස් ගේ 'ඊඩිපස් රජ' නාට්‍යය ගොඩනැගෙන්නේ තීබයේ ලායියුස් රජුට සහ ජොකාස්ටා රැජිනට ලැබුණු දෛවෝපගත ශාපයක් පදනම් කරගනිමිනි. සිය පියා මරා මව විවාහ කරගන්නා බවට වූ මෙම අභාග්‍යසම්පන්න අනාවැකියෙන් මිදීමට ඊඩිපස් දරන සැම උත්සාහයක් ම, අවසානයේ ඔහුව එම දෛවය කරා ම රැගෙන යයි. මෙහි දී පුරාකතාව භාවිත වන්නේ හුදු අද්භූත කතාවක් ලෙස නො ව, මිනිසාට පාලනය කළ නො හැකි විශ්වීය බලවේග (Universal Forces) හමුවේ මානවයා ගේ අසරණභාවය පෙන්වන කැඩපතක් ලෙසිනි.
සාර්වත්‍රික ගුණය සහ අනන්‍යතාව සොයා යාම මෙම නාට්‍යයේ පවතින සාර්වත්‍රික ගුණය මතු වන්නේ ඊඩිපස් අතින් සිදුවන 'වැරැද්ද' (Hamartia) තුළින් ම පමණක් නො වේ. ඒ වෙනුවට, ඕනෑ ම බාධකයක් හමුවේ වුව ද ශාපලත් මිනිසා කවුරුන් ද යන්න සෙවීමට ඔහු තුළ පවතින නො නිමෙන පිපාසය මෙහි දී ප්‍රධාන වේ.
යොකස්ටා - නැහැ නැහැ… මා ඔබෙන් බැගෑපත් ලෙස ඉල්ලනවා… මේ සෙවිල්ල අතහරින්න; මෙය කරන්න එපා
ඊඩිපස් - ඇහුම්කන් දෙන්න… ඔබට...? තවත් ඇහුම්කන් දෙන්නේ නෑ මම; මට ඕනෑ සත්‍යය
(සොෆොක්ලීස්, 2022 : 127)
තමාගේ විනාශය අභිමුවෙහි වුව ද සත්‍යය හෙළි කරගැනීමට ඔහු දක්වන මෙම ධෛර්යය, ඕනෑ ම සංස්කෘතියක හෝ කාලයක මිනිසකු සතු තම ආත්මීය අනන්‍යතාව (Self-identity) සොයා යාමේ සහජ ලක්ෂණය නියෝජනය කරයි. ප්‍රේක්ෂකයා ඊඩිපස් සමග අනන්‍ය වන්නේ එම මානුෂීය ගවේෂණය නිසා ය.
දේශීය නාට්‍ය කලාව සම සැසඳීම මෙම ග්‍රීක ප්‍රවේශය ලාංකීය නාට්‍ය සංදර්භය තුළ විමසීමේ දී එදිරිවීර සරච්චන්ද්‍ර ගේ 'සිංහබාහු' සහ 'මනමේ' නාට්‍ය සුවිශේෂ වේ. ඊඩිපස් ගේ පිය-පුතු ගැටුම මෙන් ම, සිංහබාහු තුළ පවතින්නේ ද දෛවෝපගත ලෙස සිය පියා (සිංහයා) ඝාතනය කිරීමට සිදුවන පුත්‍රයෙකු ගේ ඛේදවාචකය යි.
සිංහබාහු ගීතය
ආදර වදනින් අමතන ම පියා
කෙලෙස ද මා දැඩි සිතින් මරන්නේ
කුරිරු ක්‍රියා ඔහු මෙ ලෙස කරන්නේ
වියෝ දුකින් නොවැ මව කීවා සේ
රුදු මිගිඳෙකු වුව අප හට නිරතුරු
කරුණා බස් මිස දොඩලා නැත කිසි
උණු වුවහොත් සිත අනුකම්පාවෙන්
කරන්ට නොහැකි ය මා සතු යුතුකම
විදිනෙමි මේ වර නොම වරදින ලෙස
සිප ගන්නට එන කල මා ළඟටා
(සරච්චන්ද්‍ර, 2019: 48).
එමෙන් ම මනමේ කුමරිය ගේ අභ්‍යන්තර ගැටුම තුළ ද පවතින්නේ තීරණාත්මක මොහොතක මිනිස් සිත ක්‍රියා කරන ආකාරය පිළිබඳ සාර්වත්‍රික සත්‍යයකි.
මනමේ රජු ඔබ - ගෙල සිඳ ලන්ටා
කඩුව ඉල්ලු සඳ - ඔහු වළකන්ටා
කළ තැත දුටුව ද - ඔබ ගලවන්ටා
සිතුණෙ කඩුව ඔබ - අතට ම දෙන්ටා ( සරච්චන්ද්‍ර, 2011: 30).
යනුවෙන් මනමේ කුමරිය කරන ප්‍රකාශය ඊට කදිම නිදසුනකි.
ග්‍රීක නාට්‍ය මෙන් ම මෙම දේශීය නිර්මාණ ද කාලය ඉක්මවා යන්නේ ඒවායේ ඇති මෙම ගැඹුරු මානසික සහ දාර්ශනික ගැටුම් හේතුවෙනි.
ඇරිස්ටෝටල්ට අනුව 'අනාග්නොරිසිස්' යනු නාට්‍යයක වීරයා තමා හෝ තමා අවට පවතින සත්‍යය පිළිබඳ ව පවතින නොදැනුවත්කමින් මිදී, පූර්ණ දැනුවත්භාවයකට පත්වන තීරණාත්මක මොහොත යි. 'ඊඩිපස් රජ' නාට්‍යය ආරම්භයේ දී ඊඩිපස් පෙනී සිටින්නේ තීබයේ ගැලවුම්කරුවා සහ බුද්ධිමත් රජු ලෙස වුව ද, ඔහු තමාගේ ම උපත සහ තමා විසින් ම සිදුකරන ලද මහා පාපය පිළිබඳ ව සිටින්නේ පූර්ණ අන්ධභාවයක ය. මෙහි ඇති සාර්වත්‍රික ලක්ෂණය වන්නේ මිනිසා තමා පිළිබඳ ව ම පවතින මුළාවෙන් මිදීමට ගන්නා උත්සාහය යි.
සත්‍යය හඳුනාගැනීමේ ඛේදවාචකය ඊඩිපස්ගේ 'හඳුනාගැනීමේ මොහොත' ඉතා ප්‍රබල වන්නේ එය ඔහුගේ දෛවය වෙනස් වන 'පෙරිපෙටියා' (Peripeteia) හෙවත් තත්ත්වයන්ගේ පෙරළිය සමග සමගාමී ව සිදුවන බැවිනි. ඊඩිපස් සිය අනන්‍යතාව පිළිබඳ සත්‍යය තේරුම් ගන්නේ හුදු තොරතුරක් ලෙස නො ව, තමා මෙතෙක් ගොඩනගාගෙන සිටි සමස්ත ලෝකය ම බිඳවැටෙන මහා කම්පනයක් ලෙසිනි. ඇරිස්ටෝටල් පෙන්වා දෙන්නේ හොඳ ම හඳුනාගැනීම නම් එය නාට්‍යයේ වීරයා ගේ ඉරණම පිළිබඳ ගැඹුරු සත්‍යයක් හෙළිදරව් කරන්නක් විය යුතු බව යි.
සාර්වත්‍රික අරුත සහ මානව ගරුත්වය මෙම සංකල්පය ඊඩිපස්ගේ සත්‍ය ගවේෂණයට සම්බන්ධ කිරීමෙන් පෙනී යන්නේ, සැබෑ 'දැකීම' යනු ඇස් පෙනීම නොව සත්‍යය පිළිබඳ පවතින අවබෝධය බවයි. ඔහු සත්‍යය අවබෝධ කරගන්නා මොහොතේම තමාගේ දෑස් අන්ධ කරගැනීම (Self-blinding) තුළින් පෙන්වන්නේ, සත්‍යය හඳුනාගැනීමෙන් පසු ලෞකික ලෝකය දෙස බැලීමට ඔහුට අවශ්‍ය නොවන බවයි. මෙය ඕනෑම සංස්කෘතියකට පොදු දාර්ශනික සත්‍යයකි. එනම්: "සත්‍යය සැමවිට ම මිහිරි නො වන අතර, ඇතැම්විට සැබෑ ප්‍රඥාව ලබාගැනීම වෙනුවෙන් පුද්ගලයාට මහා පරිත්‍යාගයක් හෝ වේදනාවක් විඳීමට සිදුවන" බව යි.
අනාග්නොරිසිස් (Anagnorisis) හෙවත් 'හඳුනාගැනීම' යනු හුදු තොරතුරක් දැනගැනීම නො ව, පුද්ගලයා ගේ මුළුමහත් ලෝක දෘෂ්ටිය ම වෙනස් කරන ආධ්‍යාත්මික පිබිදීමකි. ඊඩිපස් සහ සිංහබාහු අතර පවතින මෙම සමාන්තර බව තවදුරටත් මෙසේ පැහැදිලි කර ගත හැකි ය.
ඊඩිපස් රජු සිය උපතේ රහස හෙළිකර ගන්නේ මහා අරගලයකින් පසු ව ය. ඔහු සත්‍යය දැනගන්නා මොහොතේ ම, ඔහුගේ රාජකීය උදාරත්වය විනාශ වී ඔහු පරාජිතයෙකු බවට පත්වේ.
අන්ධකාරය, බියකරු අන්ධකාරය
මා වටකොට මා පෙළන මේ අඳුර
මා ගිලගත් අඳුර
මා යටකර හිර කරන අඳුර
මතකයේ කිණිසි පහර දී
මා උමතුවේ පතුලට ම ඇද දමන
(සොෆොක්ලීස්, 2022 : 141).
ඕනෑ ම මිනිසකු තමා වීරයකු යැයි සිතා සිටින මොහොතක, තමාගේ ම අතින් සිදුවූ බරපතළ වරදක් හෝ තමාගේ සැබෑ ස්වරූපය හඳුනාගත් විට දැනෙන එම කම්පනය ඕනෑ ම සංස්කෘතියකට පොදු ය. සත්‍යය සැමවිට ම විමුක්තිය නො ව, ඇතැම්විට වේදනාව රැගෙන එන බව මෙයින් පැහැදිලි වේ.
සරච්චන්ද්‍රයන්ගේ 'සිංහබාහු' නාට්‍යයේ දී ද සිංහබාහු සිය පියා සිංහයෙකු බවත්, තමාට මෙතෙක් ආරක්ෂාව සැපයූ ගුහාව තමා ගේ ම පියා ගේ නිවහන බවත් දන්නා නමුත්, ඔහුට එම පියා ගේ "මනුෂ්‍යත්වය" හෝ "පිය සෙනෙහස" පිළිබඳ සැබෑ හඳුනාගැනීම ලැබෙන්නේ සිංහයා තමා දෙසට ප්‍රේමයෙන් යුතු ව පැමිණෙන අවසාන මොහොතේ දී ය. සිංහබාහු පළමු හී සර දෙක මුදා හරින්නේ කෝපයෙනි. නමුත් සිංහයා ගේ සෙනෙහස හඳුනාගන්නා මොහොතේ ඔහු තුළ ඇතිවන මානසික කම්පනය ඊඩිපස් සත්‍යය හඳුනාගත් මොහොතට සමාන ය. ඊඩිපස් සිය පියා මරා මව විවාහ කරගත් බව දැනගත් විට ඇතිවන කම්පනයට නො දෙවැනි කම්පනයක්, තමාගේ ම පියා තමාගේ අතින් ම ඝාතනය වන බව පසක් වන විට සිංහබාහුට දැනේ.
ඊඩිපස් නාට්‍යයේ දී ශාරීරික ව ඇස් පෙනෙන ඊඩිපස් සත්‍යය සම්බන්ධයෙන් අන්ධ ය. ඔහු සත්‍යය හඳුනාගත් පසු ව තමාගේ ම දෑස් අන්ධ කරගන්නේ, ලෝකය දෙස බැලීමට වඩා තමා ගේ ආත්මය දෙස බැලීම වැදගත් බව පෙන්වමිනි.
නැත නැත… මේ ඇස් මින් මතු දකින්නේ නැහැ… මා'තින් සිදු වූ ඒ අපරාධ
(සොෆොක්ලීස්, 2022 : 139).
කියමින් රන් කූරෙහි උලෙන් ඔහු ඇස් දෙකට නැවත නැවතත් ඇන ගන්නේ එබැවිනි.
සිංහබාහු නාට්‍යයේ දී ද සිංහබාහු සිය පියා ගේ ස්වරූපය හඳුනාගන්නේ ඔහු සැබෑ පියෙකු ලෙස දැකීමෙනි. එම හඳුනාගැනීමෙන් පසු ඔහු අත්විඳින ශෝකය සහ පසුතැවීම සාර්වත්‍රික මානව ලක්ෂණයකි.
ඊඩිපස්ගේ 'අනාග්නොරිසිස්' අවස්ථාව සලකුණු කරන්නේ පුද්ගලයා තමා පිළිබඳ ව ගොඩනගාගෙන තිබූ ව්‍යාජ ප්‍රතිරූපය බිඳවැටී සත්‍ය ස්වරූපය මතු වන මොහොත යි. මෙය සිංහබාහු නාට්‍යය සමග සසඳන විට පෙනී යන්නේ, නාට්‍යකරුවන් දෙදෙනා ම පුරාකතා භාවිත කර ඇත්තේ හුදු සිදුවීම් මාලාවක් කීමට නො ව, මානව සබඳතා තුළ ඇති නොවිසඳුණු ගැටුම් හඳුනාගන්නා මොහොතේ ඇතිවන මහා කම්පනය විවරණය කිරීමට බව යි. ඊඩිපස් සිය දෑස් අන්ධ කරගැනීමත්, සිංහබාහු සිය පියාගේ ඝාතනයෙන් පසු විඳින අපරිමිත ශෝකයත් යන දෙක ම එක ම සාර්වත්‍රික මානව අත්දැකීමක විවිධ ස්වරූප ය.
ප්‍රොමිතියස් බන්ධන නාට්‍යයේ එන 'බුද්ධිමය කැරැල්ල' යන්න පර්යේෂණාත්මක ව විග්‍රහ කිරීමේ දී, එය හුදු දේවකතාවකින් ඔබ්බට ගොස් මානව ඉතිහාසයේ සදාකාලික අරගලයක් නිරූපණය කරන ආකාරය මෙසේ පැහැදිලි කළ හැකි ය.
පුරාකතාවට අනුව ප්‍රොමිතියස් සියුස්ගෙන් ගින්දර සොරාගෙන මිනිසාට ලබා දෙයි. මෙහි දී 'ගින්දර' යනු හුදු භෞතික දෙයක් නො ව, එය ප්‍රඥාව, තාක්ෂණය සහ බුද්ධිය සඳහා වන රූපකයකි. සියුස් නිරූපණය කරන්නේ මිනිසා නොදැනුවත්කමේ තබා පාලනය කිරීමට උත්සාහ කරන අධිපතිවාදී බලවේගය යි. ප්‍රොමිතියස් මිනිසාට ගින්දර ලබා දීමෙන් අදහස් කරන්නේ මිනිසා සතු විචාර බුද්ධිය අවදි කිරීම යි. ඕනෑම පීඩිත සමාජයක් නිදහස් වන්නේ 'දැනුම' නමැති ගින්දර ලබා ගැනීමෙන් බව මෙහි ඇති විශ්වීය සත්‍යය යි.
මෙම නාට්‍යයේ ප්‍රධාන ගැටුම පවතින්නේ සියුස්ගේ 'භෞතික බලය' සහ ප්‍රොමිතියස්ගේ 'බුද්ධිමය ශක්තිය' අතර යි.ප්‍රොමිතියස්ව පර්වතයක බැඳ දමා වධ හිංසා පැමිණ වුව ද, ඔහු සියුස් ඉදිරියේ දණ නැමීමට ප්‍රතික්ෂේප කරයි. ඔහු සතු ව පවතින 'දැනුම' (සියුස්ගේ බලය බිඳවැටෙන ආකාරය පිළිබඳ රහස) ඔහු බලධාරීත්වයට එරෙහි ව අවියක් ලෙස භාවිත කරයි. මෙය වර්තමාන ලෝකයේ පවතින රාජ්‍ය මර්දනයට එරෙහි ව නැගී සිටින බුද්ධිමතුන්ගේ සහ ක්‍රියාකාරීන්ගේ භූමිකාවට එක සේ ගළපා ගත හැකි ය. බලයට බුද්ධිය යටපත් කළ නො හැකි බව මෙහි එන සාර්වත්‍රික පාඩම යි.
ප්‍රොමිතියස් තමාට විඳීමට සිදුවන දඬුවම ගැන කලින් ම දැන සිටියේ ය. (ඔහුගේ නමේ අරුතම 'පෙරදැක්ම' යන්නයි).
හර්මීස්ගේ අසුබ අනාවැකි
ඔහුගේ කයිවාරුවට පෙර ම දැන සිටියේ මම
සතුරෙකු අතින් විපතට පත් වීම
අවමානයක් නො වේමයි කෙනෙකුට
ඒ නිසා - පිට පිට අසනි සර මා වෙත එද්දෙන්
(ඊස්කිලස්, 2016: 47).
ඔහු තම පෞද්ගලික නිදහසට වඩා මිනිස් වර්ගයා ගේ ප්‍රගතිය අගය කළේ ය. දුක් විඳීම දරාගෙන වුව ද තම ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටීමේ මෙම මානුෂීය ස්වභාවය ශිෂ්ටාචාරයේ පැවැත්මට අත්‍යවශ්‍ය වේ. සමාජයේ යහපත උදෙසා තම ජීවිතය පූජා කරන වීරයාගේ මූලාකෘතිය ඕනෑ ම සංස්කෘතියක ගෞරවයට පාත්‍ර වේ.
මෙම බුද්ධිමය කැරැල්ල සහ බලය පිළිබඳ තේමාව සිංහල නාට්‍ය කලාව තුළ සයිමන් නවගත්තේගම ගේ 'සුබ සහ යස' නමැති නාට්‍ය සමග මනාව ගළපා ගත හැකි ය.
මෙහි දී සුබ නමැති දොරටුපාලයා යසලාලකතිස්ස රජු ගේ වෙස් ගෙන රජු ගේ ම බලය ප්‍රශ්න කරයි.
සුබ - බදු බදු… වැව් අමුණු ප්‍රතිසංස්කරණය සඳහා කිසි ම දෙයක් කළේ නෑ. නමුත් එන්න එන්න ජල බද්ද දෙගුණ තෙගුණ වුණා… රට කරවන අය කුඹුරට ගමට ගියේ බදු එකතු කිරීම සඳහා පමණ යි
රජු - මා ඉතා ම වෙහෙස ව ඉඳින වේලාවක් සුබ… තොප කියන්නක් මට දැන් මනා ව හැඟේ… කළ යුතු දේ මම දනිමි.
(නවගත්තේගම, 2010: 78).
සියුස්ගේ බලයේ පවතින අස්ථාවර භාවය ප්‍රොමිතියස් දන්නා සේ ම, රාජ්‍ය බලය යනු හුදු වෙස්මූණක් පමණක් බව සුබ හඳුනා ගනියි.
ප්‍රොමිතියස් මෙන් ම සුබ ද කරන්නේ පවතින පද්ධතියේ විද්‍යමාන වන දුර්වලතාව බුද්ධිමය ලෙස හෙළිදරව් කිරීම යි.
ඊස්කිලස් ගේ ප්‍රොමිතියස් යනු හුදු ග්‍රීක දෙවියෙකු නො ව, ඔහු ඕනෑ ම යුගයක පවතින බුද්ධිමය නිදහසේ සංකේතය යි. සියුස් නියෝජනය කරන අධිපතිවාදී බලය හමුවේ ඔහු නොසැලී සිටීම, නූතන දේශපාලනික සන්දර්භය තුළ සිදුවන බුද්ධිමය කැරැල්ලක් ලෙස අර්ථකථනය කළ හැකි ය. මෙම සාර්වත්‍රික ලක්ෂණය ලාංකේය නාට්‍යකරුවන් ද තම නිර්මාණ තුළ බල ව්‍යුහයන් ප්‍රශ්න කිරීම සඳහා භාවිත කර ඇති ආකාරය 'සුබ සහ යස' බඳු නාට්‍ය තුළින් මනාව ස්පර්ශ කළ හැකි ය.
යුරිපිඩීස් ගේ 'මීඩියා' නාට්‍යය
සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය කලාව තුළ හමුවන වඩාත්ම විප්ලවීය සහ මානසික ගැඹුරකින් යුත් නිර්මාණය ලෙස මෙය සැලකිය හැකි ය. මෙහි එන පුරාකතාව යුරිපිඩීස් විසින් හසුරුවන ආකාරය තුළින් මතු වන සාර්වත්‍රික ගුණය පහත පරිදි ගැඹුරින් විග්‍රහ කළ හැකි ය.
සාම්ප්‍රදායික ග්‍රීක පුරාකතාවල මීඩියා යනු හුදු 'මායාකාරියකි'. නමුත් යුරිපිඩීස් ඇයව මානුෂීය ගතිලක්ෂණ සහිත, තර්ක කරන සහ වේදනාව විඳින ස්ත්‍රියක ලෙස වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරයි. මෙහි දී ප්‍රධාන ගැටුම වන්නේ දේව බලවේග නො ව, මීඩියාගේ සිත තුළ පවතින අභ්‍යන්තර ගැටුම යි. ඕනෑ ම යුගයක මිනිසකු තමාට සිදු වූ අසාධාරණය හමුවේ ඇති වන වෛරය සහ තමා තුළ පවතින සෙනෙහස (මෙහි දී මාතෘත්වය) අතර මැදි වී අත්විඳින මානසික පීඩනය යුරිපිඩීස් මෙහිදී මතු කරයි.
මීඩියා යනු ග්‍රීක සමාජය තුළ 'ආගන්තුකයෙකි' . ඇය සිය රට සහ පවුල හැර දමා ජේසන් සමඟ ආවේ ඔහු කෙරෙහි ඇති ප්‍රේමය නිසා ය. නමුත් ජේසන් බලය සහ තත්ත්වය වෙනුවෙන් ඇයව පාවා දී වෙනත් විවාහයක් කරගනී.
මීඩියා ගේ පළිගැනීම හුදු ක්‍රියාවක් නො ව, එය පුරුෂාධිපත්‍යය විසින් ස්ත්‍රියක ගේ කැප කිරීම් නොසලකා හරිනු ලැබීමට එරෙහි ව කරන ප්‍රචණ්ඩකාරී විරෝධයකි. ස්ත්‍රියක ගේ අනන්‍යතාව සහ ඇය ගේ අයිතිවාසිකම් පාගා දමන සමාජ පද්ධතියකට එරෙහි ව නැගී සිටින "කැරලිකාර ස්ත්‍රිය ගේ" මූලාකෘතිය ඕනෑම සංස්කෘතියකට පොදු ය. නාට්‍යයේ වඩාත් ම කම්පන සහගත අවස්ථාව වන්නේ මීඩියා සිය දරුවන් ඝාතනය කිරීමට තීරණය කරන මොහොත යි. ඇය කරන්නේ වැරැද්දක් බව ඇය දනී. නමුත් ඇගේ 'වෛරය' ඇගේ 'තර්කයට' වඩා බලවත් වෙයි. ඇයට අවශ්‍ය වන්නේ ජේසන්ට දිය හැකි උපරිම වේදනාව දීම යි.
ජේසන් - මා කොයිතරම් ආශා කළා ද ඔවුන් මගේ අත්වලින් තුරුළු කර ගන්නට; ඔවුන්ගේ දෙතොල් සිප ගන්නට… එය මගේ සැනසීමටත් හේතු වෙනවා
මීඩියා - දැන් නම් ඔබට තිබෙනවා ආදරබර වචන… ඔවුන්ව සිපගන්න හදනවා.. ඒත් එදා ඔබ ඔවුන්ව අයිති නැති බව කීවා; ඔවුන් පිටුවහල් කිරීමට යැවුවා…
(යුරිපිඩීස්, නෙ.ව.120).
මිනිසා තර්කානුකූල සත්වයකු වුව ද, ඇතැම් අවස්ථාවල දී පාලනය කළ නොහැකි ආවේග විසින් මිනිසා මෙහෙයවන ආකාරය පෙන්වීම නිසා මෙම නාට්‍යය අදටත් මනෝවිද්‍යාත්මක ව වලංගු වේ.
මෙම සාර්වත්‍රික ගුණය ලාංකේය සන්දර්භය තුළ විමසීමේ දී හෙන්රි ජයසේනයන්ගේ 'කුවේණි' නාට්‍යය මීඩියා සමග පුදුමාකාර ලෙස සමපාත වේ: මීඩියා මෙන් ම කුවේණි ද සිය වර්ගයා පාවා දී විජය රජ කරවීමට උදව් කරයි. අවසානයේ විජය ද බලය වෙනුවෙන් කුවේණිය පලවා හරියි.
හෙන්රි ජයසේනයන් 'කුවේණි' පුවත හරහා මතු කරන්නේ ද පාවාදීමට ලක්වූ ගැහැනියක ගේ වේදනාව සහ සමාජ අසාධාරණය යි. මීඩියා මෙන් ම කුවේණි ද ස්ත්‍රීවාදී කියවීමකට ඉඩ ලබා දෙන චරිතයකි.
යුරිපිඩීස් ගේ මීඩියා යනු පුරාකතාවක් ඇසුරින් මානව මනෝභාවයේ අන්තගාමී ස්වභාවය විවරණය කළ විශිෂ්ටතම අවස්ථාවකි. ඇයගේ පළිගැනීම තුළින් නිරූපණය වන්නේ ඕනෑ ම සංස්කෘතියක පීඩනයට පත් ස්ත්‍රියක ගේ චිත්තවේගීය පිපිරීම යි. මෙම සාර්වත්‍රික ලක්ෂණය ලාංකේය නාට්‍ය ඉතිහාසයේ හෙන්රි ජයසේන 'කුවේණි' පුවත ප්‍රතිනිර්මාණය කිරීමේ දී ද භාවිත කර ඇති ආකාරය දැකිය හැකි ය. ජේසන් සහ විජය යන චරිත දෙක ම බලය වෙනුවෙන් මානුෂීය සබඳතා පාවා දෙන 'සාර්වත්‍රික අවස්ථාවාදී පිරිමි' චරිත නිරූපණය කරන අතර, මීඩියා සහ කුවේණි එම පද්ධතියට එරෙහි ව සිය ජීවිතයෙන් වන්දි ගෙවන පීඩිතයින් නිරූපණය කරයි.
ජෝසෆ් කැම්බල්ගේ පුරාකතා ප්‍රවේශය සහ මූලාකෘතිමය වීරයාගේ සාර්වත්‍රිකත්වය
ඒක-පුරාකතාමය (Monomyth) ව්‍යුහය සහ නාට්‍යමය පදනම
ජෝසෆ් කැම්බල් සිය The Hero with a Thousand Faces (1949) යන මිනුම්දඬු ශාස්ත්‍රීය කෘතිය හරහා පෙන්වා දෙන්නේ, ලෝකයේ විවිධ සංස්කෘති තුළ විද්‍යමාන වන පුරාකතා, බාහිර ස්වරූපයෙන් එකිනෙකට වෙනස් වුව ද ඒවායේ අභ්‍යන්තර ව්‍යූහය පොදු සාර්වත්‍රික රීතියකට යටත් වන බවයි. ඔහු මෙය 'ඒක-පුරාකතාව' (Monomyth) ලෙස හඳුන්වයි. කැම්බල්ට අනුව ඕනෑ ම වීරයෙකුගේ ප්‍රයාණය මූලික වශයෙන් අවධීන් ත්‍රිත්වයකින් සමන්විත වේ; එනම්, නික්ම යෑම (Separation), පරිශ්‍රමය හෝ පරීක්ෂාවලට ලක්වීම (Initiation), සහ ප්‍රතිලාභ සහිත ව නැවත පැමිණීම (Return) යන්න යි.
(Campbell, 1949).
සම්භාව්‍ය ග්‍රීක නාට්‍යකරුවන් සිය නාට්‍යමය ආඛ්‍යාන (Dramatic Narratives) ගොඩනැගීමේ දී මෙම ව්‍යූහය සහජයෙන් ම උපයෝගී කරගෙන ඇත. නිදසුනක් ලෙස, ඊඩිපස් රජු සිය රාජධානිය වන තීබය ශාපයෙන් දේශය මුදවාලනු වස් සත්‍යය සොයා යන මහා ආත්මීය ප්‍රයාණයත්, ලාංකීය නාට්‍ය කලාවේ එන සිංහබාහු කුමරු සිය පවුල සමග ගුහා අන්ධකාරයෙන් ශිෂ්ටාචාරය කරා නික්ම යෑමේ ප්‍රයාණයත් මෙම ඒක-පුරාකතාමය ව්‍යූහයේ සාර්වත්‍රික ස්වභාවය මනාව සනාථ කරයි.
මානව විඥානය සහ මූලාකෘතිමය වීරයා (Archetypal Hero)
කාල් යුංගේ 'සාමූහික නිද්‍රාශ්‍රිත විඥානය' (Collective Unconscious) පිළිබඳ මනෝවිද්‍යාත්මක සංකල්පය තවදුරටත් පුළුල් කරන කැම්බල්, පුරාකතාමය වීරයන් යනු හුදු සාහිත්‍යමය හෝ සාම්ප්‍රදායික චරිත නො ව, මානව විඥානයේ විවිධ අවධීන් සහ අභ්‍යන්තර අර්බුද නිරූපණය කරන 'මූලාකෘතීන්' (Archetypes) බව පෙන්වා දෙයි.
(Jung, 1969)
ඊස්කිලස්ගේ 'ප්‍රොමිතියස්' යනු හුදු ග්‍රීක තයිටන්වරයෙකු නොව, මනුෂ්‍ය වර්ගයා ගේ ප්‍රඥාවේ ප්‍රගමනය උදෙසා අධිපතිවාදී බලයට එරෙහි ව පරාර්ථකාමී ව කැපවන 'කැරලිකාර බුද්ධිමතා ගේ' විශ්වීය මූලාකෘතිය යි. එමෙන්ම සොෆොක්ලීස් ගේ 'ඊඩිපස්' යනු දෛවෝපගත බලවේග සහ තමා කවුදැයි සෙවීමේ මානුෂීය අසීමිත ගවේෂණය අතර මැදි වූ 'අනන්‍යතා ගවේෂකයාගේ' මූලාකෘතිය යි. මෙම චරිත මානුෂ්‍ය මනසේ සදාකාලික ආකෘතීන් (Psychological Structures) නියෝජනය කරන බැවින්, ඒවායේ වලංගුභාවය නිශ්චිත යුගයකට හෝ දේශයකට පමණක් සීමා නො වේ.
සංස්කෘතික පරාන්තරණය සහ දේශීය සබැඳියාව (Cultural Translatability)
ග්‍රීක නාට්‍යකරුවන් තම කෘති සඳහා මෙවැනි මූලාකෘතිමය චරිත සහ විශ්වීය පුරාකතාමය හර පාදක කරගැනීම හේතුවෙන්, එම නාට්‍ය දේශපාලනික සහ සංස්කෘතික සීමා අතික්‍රමණය කරමින් වෙනත් පරස්පර සංස්කෘති (ලංකාව බඳු පෙරදිග සමාජ) වෙත බද්ධ කිරීමේ ප්‍රායෝගික හැකියාව (Cultural Translatability) උදාවේ. සිංහල ප්‍රේක්ෂකයා ඊඩිපස් ගේ හෝ ප්‍රොමිතියස් ගේ ඛේදවාචකය හමුවේ කම්පනයට පත් වන්නේ ඔවුන් ඈත අතීතයක විසූ ග්‍රීක චරිත ලෙස නො ව, තම ආත්මයේ ම දිගුවක් ලෙස හඳුනාගන්නා බැවිනි. මීට සමාන්තර ව, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර දේශීය වංශකතාවක එන සිංහ පුවත වෘත්තාන්තමය මට්ටමෙන් ඔබ්බට ගෙන ගොස් 'සිංහබාහු' නාට්‍යය හරහා පිය-පුතු ගැටුම නමැති මූලාකෘතිමය මානුෂීය යථාර්ථය ස්පර්ශ කරන්නේ ද කැම්බල් පෙන්වා දෙන මෙම න්‍යායාත්මක ප්‍රවේශයට අනුකූල ව ය. ඒ අනුව, පුරාකතාමය මූලාශ්‍රයන්හි පවතින මෙම මූලාකෘතිමය ස්වභාවය නිවැරදි ව ප්‍රතිනිර්මාණය කිරීම නාට්‍යයක සාර්වත්‍රික ගුණය (Universality) තහවුරු වීමට අත්‍යවශ්‍ය සාධකයක් බව නිගමනය කළ හැකි ය.
නිගමනය
පුරාකතාවක් සාර්ථක නාට්‍යමය මූලාශ්‍රයයක් බවට පත් වන්නේ එය හුදෙක් අතීත කතාවක් ලෙස ඉදිරිපත් නො කර, මිනිසා ගේ සදාකාලික දාර්ශනික සහ මනෝවිද්‍යාත්මක ගැටලු විවරණය කිරීමට භාවිත කරන විට ය. ග්‍රීක නාට්‍යකරුවන් සිය නිර්මාණ හරහා ලොවට හඳුන්වා දුන් මෙම විධික්‍රමය දේශීය නාට්‍යකරුවන්ට ද තම අනන්‍යතාව රැකගනිමින්, ජාත්‍යන්තර මට්ටමේ සාර්වත්‍රික අගයකින් යුත් නිර්මාණ බිහිකිරීම සඳහා නිරන්තර මගපෙන්වීමක් සපයයි. ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රගමනය උදෙසා අපේ ම වූ පුරාකතා සහ ජනශ්‍රැති නූතන සමාජ දේශපාලනික සන්දර්භය තුළ ප්‍රතිනිර්මාණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
පරිශීලිත මූලාශ්‍ර (සිංහල)
ඊස්කිලස්. (2016). ප්‍රොමිතියස් බන්ධන (ආර්. රණවීර, පරි.). ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
නවගත්තේගම, ස. (2010). සුබ සහ යස. ෆාස්ට් පබ්ලිෂිං (ප්‍රයිවට්) ලිමිටඩ්.
මාරසිංහ, ඩබ්. (1995). ග්‍රීක නාට්‍ය සම්ප්‍රදාය. පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස්.
මාරසිංහ, ඩබ්. (2017). සම්භාව්‍ය ග්‍රීක නාට්‍ය හා නාට්‍යකරුවෝ. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
යුරිපිඩීස්. (නෙ.ව.). මීඩියා (සී. ජයකොඩි, පරි.). සුනෙර ප්‍රකාශකයෝ.
සරච්චන්ද්‍ර, එ. (2011). මනමේ. සරච්චන්ද්‍ර ප්‍රකාශන.
සරච්චන්ද්‍ර, එ. (2019). සිංහබාහු. සරච්චන්ද්‍ර ප්‍රකාශන.
සුබසිංහ, ඒ. (2017). සම්භාව්‍ය ග්‍රීක සහ සංස්කෘත නාට්‍ය සම්ප්‍රදාය. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
සුරවීර, ඒ. වී. (1984). ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය. සරසවි ප්‍රකාශකයෝ.
සොෆොක්ලීස්. (1991). ඇන්ටිගනී (ආර්. රණවීර, පරි.). ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
සොෆොක්ලීස්. (1991). ඊඩිපස් (ආර්. රණවීර, පරි.). ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.
English Sources
Aeschylus, Euripides, & Sophocles. (2013). The complete Greek tragedies (D. Grene & R. Lattimore, Eds.). University of Chicago Press. (Original works published 5th century BCE).
Aristotle. (1996). Poetics (M. Heath, Trans.). Penguin Classics. (Original work published ca. 335 BCE).
Calame, C. (1986). The political interpretation of Greek myth. Arethusa, 19(1), 45–64.
Campbell, J. (1949). The hero with a thousand faces. Pantheon Books.
Foley, H. P. (2012). Reimagining Greek tragedy on the American stage. University of California Press.
Goldhill, S. (1986). Reading Greek tragedy. Cambridge University Press.
Hamilton, E. (1942). Mythology: Timeless tales of gods and heroes. Little, Brown and Company.
Jung, C. G. (1969). The archetypes and the collective unconscious (2nd ed., R. F. C. Hull, Trans.). Princeton University Press.
Macintosh, F. (2005). Greek tragedy and the British theatre 1660–1914. Oxford University Press.
Seaford, R. (1994). Reciprocity and ritual: Homer and tragedy in the developing city-state. Oxford University Press.
Walton, J. M. (1987). Living Greek theatre: A handbook of classical performance and modern production. Greenwood Press.

සධ්‍යා කොඩිතුවක්කු - බාහිර කථිකාචාර්ය, අග්නිදිග විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා ගුරු සේවය - 1 ශ්‍රේණිය
බෞද්ධාලෝක මහා විද්‍යාලය - පානදුර
සම්පත්දායක - සිංහල
කලාප අධ්‍යාපන කාර්යාලය - කළුතර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
