Image

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේ දී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කළ අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළේ ය.

මෙහිදී ඉදිරිපත් කළ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ රජයේ ස්ථාවරය සහ අධිකරණ පද්ධතියේ උන්නතිය වෙනුවෙන් රජය සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කළේ ය.

අධිකරණ කටයුතු පහසු කරනු පිණිස මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නංවයි

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අධිකරණයෙන් පමණක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා: එය විමර්ශන, නඩු පැවරීම, අධිකරණ යන සියලු අංශ ඒකාබද්ධ ක්‍රියාවලියක් බවත් ඒ අනුව එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතනවල මානව සම්පත ඉහළ නැංවීමට රජය කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය. එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සේවා දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙන බවත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ජනතාවට පහසු වන පරිදි අභියාචනාධිකරණ කටයුතු පළාත්බදව ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ජනතාව ගේ අධිකරණ කටයුතු පහසු කරනු පිණිස මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ අධිකරණ සඳහා අවශ්‍ය භෞතික පහසුකම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ පොදු යහපත වෙනුවෙන් ගත් තීරණයක්

එබැවින්, විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයකු හෝ කණ්ඩායමක් අරබයා නොව, රටේ පොදු යහපත වෙනුවෙන් ගත් තීරණයක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම යනාදි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව මෙහි දී සඳහන් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ මෙම තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා යම් පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කර සිටියහ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ජනාධිපති නීති උපදේශක නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර යන මහත්වරු සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

akd 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න