හේවුඩ් මියුසියම් තුළ පවතින ප්‍රධානතම ගැටලුව මියුසියම් ක්‍රමවේදය ගැන තිබෙන ආකල්පමය දිළිදුභාවය යි. මෙම කෞතුකාගාරයට ඇතුළත් කර ඇති කලාකරුවන් සහ කලා කෘති නිෂ්චිත කාල පරාසයකට යටත් කර ඒ වගේම කලාකරුවන් සංඛ්‍යාවකට යටත් කර එය නැවත නොසෙල්වෙන සහ යාවත්කාලීනය දොරගුළු වසා දමා ඇති සේ පරිසමාප්ත නිෂ්ටාවක් බවට පත් කිරීම දැකිය හැකි ය.
කලා කෘති සංචරණීය වස්තුවක් ලෙස...

කෞතුකාගාරයක් යනු නිෂ්චිත ගොඩනැගිලි අවකාශයක ඇති අවකාශයමය සීමාසහිතකමට ඌනනය කරන සංකල්පයක් නොවේ. කොතෙකුත් ඓතිහාසික ප්‍රවිෂ්ට තිබුණත් අපට බාර ගත හැක්කේ මෙපමණයි කියා ඉඩකඩ තත්ත්වය මත වෙනත් මාහැගි ඓතිහාසික කලා කෘතිවලට පයින් ගැසීම කෞතුකාගාරයක් නොකරයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල ඉතිහාසය දෙස බලන විට කෞතුක වටිනාකමක් ඇති කලා කෘති සහ කලාත්මක භාණ්ඩ ප්‍රමාණය ස්ථිරව ම මෙතෙකැයි කියා කිව නොහැකිය. ඒ අනුව පවතින හේවුඩ් කෞතුකාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නැත. මෙබඳු වාස්තවික තත්ත්ව මුළු ලෝකයේ ම කලා කෞතුකාගාර මුහුණ දෙන ප්‍රශ්නයකි.
ඉහත තත්ත්ව අරබයා කලා කෞතුකාගාර අනුගමනය කරන්නේ චක්‍රීය ප්‍රදර්ශන මොඩලයක් හැටියට ත්‍රෛමාසික, සය මාසික, වාර්ෂික මොඩලවලට කෞතුකාගාරයේ තෝරා ගත් කලා කෘති සමුදායක් තෝරා ගත් තේමාවන් යටතේ චක්‍රීය ලෙස ප්‍රදර්ශනය කිරීම සහ එම තත්ත්වයට යටත්ව කලා කෘති සමුදායක් මාරුවෙන් මාරුවට ගබඩාගත කිරීමයි. කලා කෞතුකාගාරකට ගොඩ වෙන ප්‍රේක්ෂකයා නිසොල්මනේ නිසොල්මන් කලා කෘතියක් නැරඹීම සිදු වුවත් කලා කෞතුකාගාරයක ඇති කලා කෘතියක සැබෑ තත්ත්වය කම්මලේ බල්ලා බඳු තත්ත්වයකි. කලා කෞතුකාගාර යාන්ත්‍රණයේ ඕනෑ එපෑකම් මත කලා කෘතියක් යනු කලා කෞතුකාගාරය තුළ සංචරණීය වස්තුවකි. කලා කෞතුකාගාර යාන්ත්‍රණය උහුලා සිටින වස්තුවකි.
කෞතුකාගාර වෙත ප්‍රේක්ෂකයා ඇදී එන යාන්ත්‍රණය

හේවුඩ් මියුසියම් විශේෂණ තත්ත්වය අනුව උදාහරණයකට ගතහොත් හේවුඩ් කෞතුකාගාරය චක්‍රීය ප්‍රදර්ශන මොඩල හැටියට ''සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල කලාකරුවන් ගේ 70 දශකයේ ආලේඛ්‍ය ප්‍රදර්ශනය'', ''සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල කලාකරුවන්ගේ 80 දශකයේ වියුක්ත චිත්‍ර ප්‍රදර්ශනය'' ''එච්. ඒ. කරුණාරත්න ආභාස'', “ හේවුඩ් රියලිසම් චාරිකාව'' යනාදි වශයෙන් තේමාගත කර කෞතුකාගාර ඉඩකඩ කලමණාකාරණය කිරීම දැක්විය හැකිය.
කෞතුකාගාරයක් සතු සීමාසහිත ඉඩකඩ ගැටලු එක පැත්තකින් වෙස් වළා ගත් ආශීර්වාදයකි. ඉඩකඩ තත්ත්ව මත පවත්වන චක්‍රීය කලා ප්‍රදර්ශන මොඩල නිසා ප්‍රේක්ෂකයාට ඇති වන්නේ කෞතුකාගාර නිත්‍ය කලා කෘති එකතුව පරිශීලනය කිරීමට නොනිත් ආශාවකි; කුතුහලයකි. සැබෑවට කෞතුකාගාර වෙත ප්‍රේක්ෂකයා ඇදී එන්නේ මෙකී යාන්ත්‍රණය නිසා ය.
කලා කෞතුකාගාර සංකල්පය යනු...

ජාතික කලාභවනේ නිත්‍ය කලා එකතුවේ හැමදාට ම යම් කලා කෘති සමුදායක් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදර්ශනය කළ අතර අලුතින් පාසල් ප්‍රජාවට එකතු වන ළමුන් පාසලෙන් ම රැගෙන විත් පෙන්වීම හැර කලාභවනෙන් අපිට වෙනත් ජන රාශිගතවීම් දැක ගත නොහැකි විය. හැමදාට ම බලා ගත හැකි ඕනෑම දෙයක් ගැන අපට ඇති වන්නේ පහසුව පිණිස පසුවට කල් තැබීමේ මානසිකත්වයකි. එම තත්ත්වය ඇතැම්විට විවාහගත වන අඹු සැමියන් බොහොමයක් ආදරය විෂයෙහි ඒකාකාරී වන, පිලිස්තීනු වන මනෝභාව හා සමාන තත්ත්වයකි. අලුත් ඇඳුම්, සංචාර, යාළු හිතමිත්‍රාදී හමුවීම්, කලා කෘති රසාස්වාදය, පරිසරයට අනුගත වීම, උපන්දින සර්ප්‍රයිස්, වෙඩින් ඇනිවසරි සැමරුම් ආදිය මෙකී ඒකාකාරීත්වය හෝ පිලිස්තීනුකම අභියෝගයට ලක් කරන කල් ක්‍රියා ය. මේ හා සමාන මනෝ චෛතසික තත්ත්වයක් කලා කෞතුකාගාර සම්බන්ධයෙන් ද ඇති වේ.
ප්‍රමෝෂන් ලබා ගැනීම හෝ මූල්‍ය වංචා සඳහා කරන ලද්දක් ද...?
කලා කෞතුකාගාර සංකල්පය යනු හුදෙක් කලා කෘති සංජානනයට ඉඩහසර තබා පැත්තක් බලා ගත හැකි තත්ත්වයක් නොවේ. කලා කෘති විනාශ නොවන සේ කලා කෘති ගබඩා කර තබන, චක්‍රීය ප්‍රදර්ශන සංවිධානය කරන, ඒවා ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන, ප්‍රදර්ශන කියුරේටර්කරණය කරන, කලා කෘති නිරන්තර මොනිටර්කරණය කරන, කෞතුකාගාරය අභිනව අනූපම කලා ප්‍රවිෂ්ට හේතුවෙන් යාවත්කාලීන කරන, අභිනව අනූපම නව කලා ප්‍රවිෂ්ට ගැන අඬබෙර ගසා මෙන් නිවුස් මැවීමට සලස්වන, කලා කෘති රක්ෂණාවරණයට ලක් කරන, කොටින්ම කිවහොත් කලා කෘති යනු සංස්කෘතික දේපළක් හැටියට සලකා ඒවා භාරකාරත්වයට පමුණුවා ඇති ක්‍රියාමය යාන්ත්‍රණය මිස නිශ්චිත ගොඩනැගිල්ලක සදාකාලයට ම තෝරා ගත් කලා කෘති සමුදායක් එල්ලා සික්යුරිටි යෙදවීම නොවේ.
හේවුඩ් කෞතුකාගාරය පීඨාධිපති සත්සර ඉලංගසිංහ
හේවුඩ් කෞතුකාගාරය පීඨාධිපති වන සත්සර ඉලංගසිංහට සිය නිල කාලය තුළ කඩිමුඩියේ විකෘති පරිසමාප්ත නිෂ්ටාවක් බවට පත් කිරීමට ඕනෑ කල විකලාංග තත්ත්වයකි. මෙබඳු කඩිනම් ව්‍යාපෘති ප්‍රමෝෂන් ලබා ගැනීම හෝ මූල්‍ය වංචා සඳහා කරන ලද්දක් ද යන්න අනීවාර්යෙන්ම විමර්ශනය කල යුතු ය.
තමන්ගේ ෆැන්ටසි අනුව සහ හිතවත්කම්වලට සැලකීම
මේ කලා කෞතුකාගාරයට 90 දශකයේ ඉපදුණ කලාකරුවන් කිහිප දෙනෙකු ද අයත් ය. එය වරදක් නොවේ. උදාහරණයකට ගතහොත් සදතාරක අබේසිංහ නව අනූපම සෞන්දර්ය ප්‍රවිශ්ටයක් විශද කළ ප්‍රතිභාපූර්ණ තරුණ කලාකරුවෙකි. නමුත් සදතාරක ගේ සම්පීඩ්‍යතාවය සමග හැමෝම සමරූපික නොවේ. තත්ත්වය එසේ වෙද්දී සම්පීඩ්‍යතාවයක් සහිත ප්‍රමිත් ගීකියනගේ බඳු ජ්‍යේෂ්ඨයින් හලා ඇත. ඇත්ත වශයෙන්ම මේ කලා කෞතුකාගාරය කිසිදු නිර්නායකයක් නොමැතිව සිය සිතැඟි පරිදි කලාව ගැන තමන්ගේ ෆැන්ටසි අනුව සහ හිතවත්කම්වලට සැලකීමට රාජ්‍ය දේපලක් සමග සෙල්ලම් කිරීමක් මිස සැබෑ කලා කෞතුකාගාර සංකල්පයක් ක්‍රියාවේ යෙදවීමක් නොවේ.

සටහන - සුජිත් රත්නායක (Sujith Rathnayake)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
