Image

'මාලිමාව' සූරා බැලූ විට මතුවන්නේ මොනවා ද...?

'මාලිමාව' සූරා බැලූ විට මතුවන්නේ මොනවා ද...?

පශ්චාත් 2009 ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරයේ දේශපාලන හැරවුම් ලක්ෂ්‍යයත් සමග, ජාතික ප්‍රශ්නය දෙස බලන ආකාරය පිළිබඳව වාමාංශික ව්‍යාපාරය ඇතුළත සහ පිටත දෘෂ්ටිවාදාත්මක ගැටුමක් යළිත් කරළියට පැමිණ තිබේ.

 

වාමාංශික ජාතිකවාදයක උගුල

මුහුණු පොත ආශ්‍රිත කර ගෙන ගිය මෙම සංවාදය තුළ, වාමාංශික චින්තකයෙකු වන රමිදු පෙරේරා (Ramindu Lakkhika Perera) විසින් සම්භාව්‍ය මාක්ස්වාදය සහ ලෙනින්වාදී ස්වයං-තීරණ න්‍යාය විග්‍රහ කරන ආකාරය පිළිබඳව බරපතළ න්‍යායික සහ ප්‍රායෝගික විවේචනයක් එල්ල කිරීම අත්‍යවශ්‍ය වේ.

 

Ramindu Lakkhika Perera

රමිදු ගේ මූලික තර්කය වන්නේ, 

ජාතික ස්වයං-තීරණ අයිතිය හෝ වෙන්වීම යනු සර්වකාලීන විශ්වීය මූලධර්මයක් නොවන බවත්, එය පන්ති අරගලයේ උපක්‍රමික දෘෂ්ටිවාදයට යටත්, නිශ්චිත ඓතිහාසික සන්දර්භය මත පමණක් තීරණය වන්නක් බවත්ය.’

ලෙනින්ව ලිබරල් මානවවාදියකු ලෙස ලඝු කිරීමට එරෙහිව රමිදු නඟන මෙම තර්කය බැලූ බැල්මට මාක්ස්වාදී ස්වරූපයක් ගත්ත ද, එහි ඇතුළාන්තය පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එය ලාංකීය රාජ්‍යයේ ව්‍යුහාත්මක පීඩනය වසා ගන්නා වාමාංශික ජාතිකවාදයක උගුලක් බවයි.

රමිදු සිය විවේචනය සඳහා ලෙනින්ගේ 1913 ජාතික ප්‍රශ්නය පිළිබඳ නිබන්ධනය උපුටා දක්වමින් පවසන්නේ, සෑම වෙන්වීමේ ඉල්ලීමකට ම සහය දීමට වම්මුන් බැඳී නැති බවයි. එය සැබෑවකි. ලෙනින් ස්වයං-තීරණ අයිතිය දික්කසාද වීමේ අයිතියට උපමා කළේ ය. අයිතිය පිළිගැනීම යනු සැමට වෙන්වන ලෙස බල කිරීම නොවන බව ඔහු පැහැදිලි කළේ ය. නමුත් රමිදු මෙතැන දී සිදු කරන බරපතළ ම න්‍යායික දෝෂය නම්, වෙන්වීමේ ඉල්ලීමට සහය දීම සහ වෙන්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිගැනීම යන දෙක පටලවා ගැනීමයි. මාක්ස්වාදීන් සෑම විටම බෙදී යෑම වෙනුවෙන් පෙනී නොසිටිය හැකි ය. නමුත් පීඩිත ජාතියකට තමන් ගේ දේශපාලන අනාගතය තීරණය කිරීමට ඇති කොන්දේසි විරහිත අයිතිය ඔවුන් සැමවිටම ආරක්ෂා කළ යුතුය. රමිදු විශ්වීය උත්තර නැත යනුවෙන් පවසමින් ප්‍රායෝගිකව කරන්නේ, දෙමළ ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවා අහෝසි කර දැමීමට න්‍යායික පලිහක් සැපයීමයි.

 

සිංහල මහා ජාතිකවාදයේ දෘෂ්ටිවාදය වක්‍රව ආරක්ෂා වීම

1882 පෙබරවාරි 7වන දා ෆ්‍රෙඩ්රික් එංගල්ස් කාල් කෞට්ස්කි වෙත ලියූ සුප්‍රසිද්ධ ලිපිය රමිදු වැනි අයට මඟහැරී ඇති සන්ධිස්ථානය යි.‘’

ෆ්‍රෙඩ්රික් එංගල්ස්

1919 බෝල්ෂෙවික් පක්ෂයේ 8වන සම්මේලනයේ දී ලෙනින් සිය සගයන්ට එල්ල කළ ප්‍රබලම ප්‍රහාරය වූයේ, බෝල්ෂෙවිකයෙකු සූරා බලන්න, එවිට ඔබට මහා රුසියානුවෙකු හමුවනු ඇත යන්නයි. පක්ෂයේ බහුතරය සමාජවාදී විප්ලවය නමැති ලේබලයට මුවා වී, ෆින්ලන්තයේ සහ පෝලන්තයේ ජාතික නිදහස් ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තමන්ගේ ඇතුළත තිබූ මහා රුසියානු ආධිපත්‍යවාදී මානසිකත්වය ප්‍රදර්ශනය කළහ. ලංකාවේ රමිදුගේ ප්‍රවේශය තුළින්ද සිදු වන්නේ මෙලෙස ම සිංහල මහා ජාතිකවාදයේ දෘෂ්ටිවාදය වක්‍රව ආරක්ෂා වීමයි. බලයේ සිටින බහුතර ජාතියේ වාමාංශිකයින්, පීඩිත සුළුතරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සක්‍රීයව පෙනී නොසිටින තාක්, සිංහල කම්කරුවා දේශපාලනිකව සදාකාලිකව ම තමන්ගේ ම ධනපති පාලකයා ගේ ජාතිවාදී ගොදුරක් බවට පත්වේ.

 

දෙමළ ජනතාව ගේ ජාතික හැඟීම පන්ති සහයෝගීතාවයේ නාමයෙන් යටපත් කිරීම

රමිදු සංයුක්ත පන්ති තත්ත්ව නමින් ස්වයං-තීරණ අයිතිය මඟහැරීමට උත්සාහ කරන විට, ඔහු පෝලන්තය සහ ෆින්ලන්තය සම්බන්ධයෙන් ලෙනින් ගේ ස්ථාවරයන්හි සිදු වූ ඓතිහාසික වෙනස්කම් තමන්ට වාසිදායක ලෙස අර්ථකථනය කරයි. 1917 විප්ලවයෙන් පසු ෆින්ලන්තයට කොන්දේසි විරහිතව වෙන්වීමේ අයිතිය දුන් ලෙනින්, 1920 දී පෝලන්තය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම වෙනස් ස්ථාවරයක් ගත්තේය. එහි බලයට පත් ධනපති ආණ්ඩුව සෝවියට් දේශයට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදය සමඟ අත්හදා බැලීම් කරන විට, ලෙනින් පෝලන්ත ධනපති පන්තියේ වෙන්වීමට ඇති අයිතිය පසෙකලා රතු හමුදාව වෝර්සෝ වෙත මෙහෙයවී ය. ඔහු සිතුවේ පෝලන්ත කම්කරුවන් තමන් වටා රොද බඳිනු ඇතැයි කියාය.

නමුත් සිදු වූයේ කුමක්ද? පෝලන්ත කම්කරුවන් රතු හමුදාව දුටුවේ විමුක්තිදායකයින් ලෙස නොව, තමන්ගේ නිදහස උදුරා ගැනීමට ආ රුසියානු ආක්‍රමණිකයින් ලෙසයි. ඔවුන් පන්ති භේදය පසෙකලා තමන්ගේ ම ධනපති ආණ්ඩුව වටා එකතු වී සෝවියට් දේශය පරාජය කළහ. ලෙනින් පසුව පිළිගත්තේ එය තමන් කළ විශාලතම න්‍යායික වැරැද්දක් බවයි. එනම්, පීඩිතයාගේ ජාතික හැඟීම සහ ස්වාධීනත්වය පිළිබඳ භෞතික අවශ්‍යතාවය පන්ති උපක්‍රම මත පමණක් සූදු කෙළිය හැකි සරල දෙයක් නොවන බවයි. රමිදු ලෙනින් ගේ මෙම පෝලන්ත අත්දැකීමේ ඛේදවාචකය වර්තමානයේ ලංකාව තුළ නැවත ප්‍රතිනිෂ්පාදනය කරමින්, දෙමළ ජනතාව ගේ ජාතික හැඟීම පන්ති සහයෝගීතාවයේ නාමයෙන් යටපත් කිරීමට උත්සාහ කරයි.

 

නිව්ටන් ගුණසිංහ ලේවලින් ලියා තැබූ ඓතිහාසික සත්‍යය

උතුරේ දෙමළ ජනයා ගේ ජාතික ගැටලුව යනු ලංකාවේ දේශපාලන විප්ලවයේ මගහැර යා නොහැකි සංයුක්ත දේශපාලන ප්‍රශ්නයකි. එය එකී ජන වර්ගයට නිදහස පිළිබඳ ප්‍රශ්නයක් වන අතර ඔවුන්ගේ ජීවිතය පිළිබඳ භෞතික ප්‍රශ්නයකි. ලංකාවේ මුල් වරට උතුරේ දෙමළ ජනයා ගේ ජාතික නිදහස පිළිබඳ ප්‍රශ්නය අන් සියලු ප්‍රශ්න අභිබවා කේන්ද්‍රීය ප්‍රශ්නය බවට අනාගතයේ දී පත්වන බවට න්‍යායාත්මක දේශපාලන සටහන් තැබුවේ නිව්ටන් ගුණසිංහය. 1983 කළු ජූලිය ඇසින් දුටු නිසා ඔහු එහි විනාශයේ දිග පළලට අනුව දේශපාලනිකව හා න්‍යායාත්මකව ගණන් බැලීය. පන්ති ප්‍රශ්නය හා ජාතික ප්‍රශ්නය එකට තබා මුලින්ම අදහස් ඉදිරිපත් කළේ ඔහු ය.

ජූලි සමූල ඝාතනයට පසු මැයි දිනය නමින්, 1983 ජූලි සංහාරයෙන් පසු එළඹුණු ප්‍රථම මැයි දිනය දා ඔහු ලංකාවේ අනාගත දේශපාලන සිතියම නව ආකාරයකට ඉතාමත්ම කෙටියෙන් න්‍යායිකව සිතියම් ගත කළේය. ගුණසිංහ එදා පෙන්වා දුන්නේ ජාතික ප්‍රශ්නය විසඳීමෙන් තොරව ලංකාවේ පන්ති සටනට හෝ සමාජවාදී පරිවර්තනයකට බිම් අඟලක්වත් ඉදිරියට තැබිය නොහැකි බවයි. රමිදු වර්තමානයේ ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ නිව්ටන් ගුණසිංහ එදා ලේවලින් ලියා තැබූ මෙම ඓතිහාසික සත්‍යයයි.

 

පැරණි සිංහල-බෞද්ධ ආධිපත්‍යවාදී රාජ්‍යයේ මර්දනකාරී දෘෂ්ටිවාදය

2009 ඛණ්ඩනීය මොහොතෙන් පසු දශක එකහමාරක් තිස්සේ උතුරේ දෙමළ ජනතාව දකුණේ විවිධ දේශපාලන ප්‍රවණතා සමග අත්හදා බැලීම් සිදු කළහ. එහි සුවිශේෂී ම හැරවුම සනිටුහන් වූයේ 2024 වසරේ දී ය. එතෙක් දකුණේ සිංහල පාලක ප්‍රභූ පෙළැන්තිය කෙරෙහි තිබූ අවිශ්වාසය පසෙකලා, උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ජාතික ජන බලවේගයේ (මාලිමා) ආණ්ඩුව කෙරෙහි අතිමහත් සහයෝගයක් පළ කරමින් නව දේශපාලන වෙනසකට උර දුන්හ. ඔවුන් බලාපොරොත්තු වූයේ තමන් ව්‍යුහාත්මකව මුහුණ දෙන සාමූහික පීඩනයට සහ දේශපාලන අයිතිවාසිකම්වලට මාලිමා පාලනය යටතේ ප්‍රගතිශීලී විසඳුමක් ලැබෙනු ඇතැයි කියා ය.

 

 

නමුත් ඉන් අනතුරුව ගෙවී ගිය වසර දෙකහමාරක කාලය තුළ අප දකිමින් සිටින්නේ කුමක්ද...? දේශපාලන වේදිකාවල කී ලස්සන කතාවලට හාත්පසින්ම වෙනස් වූ, පැරණි රාජ්‍ය මර්දනයේ ම නවතම ප්‍රකාශනයකි. පෑනෙන් දෙමළ ජනතාව ගේ සාමූහික පීඩනය සහ වේදනාව ලේඛනගත කළ ක්‍රියාකාරීන් මර්දනය කරයි, යුද්ධයෙන් මියගිය තමන්ගේ ම නෑදෑ හිතවතුන් සහ මළවුන් සිහි කිරීමට ඇති මූලික මානුෂීය අයිතිය වෙනුවෙන් ගීත ගැයූ දෙමළ තරුණ කලාකරුවන් අත්අඩංගුවට ගනියි, සත්‍යය වාර්තා කිරීමට උත්සාහ කරන උතුරේ මාධ්‍යවේදීන් කැඳවා ප්‍රශ්න කිරීම් හා බියගැන්වීම් සිදු කරයි. මාලිමාවේ නව ලිබරල් ආර්ථික සහ කළමනාකරණ මුහුණුවර ඇතුළතින් සූරා බැලූ විටද මතු වන්නේ පැරණි සිංහල-බෞද්ධ ආධිපත්‍යවාදී රාජ්‍යයේ මර්දනකාරී දෘෂ්ටිවාදයම මිස අනෙකක් නොවේ.

 

ලෙනින් යනු කවුද...?

මෙම නිශ්චිත ඓතිහාසික සන්දර්භය තුළ ලෙනින්ව නැවත මතක් කර ගැනීම රමිදු වැන්නවුන්ට මරු පහරකි. රමිදුට ලෙනින් යනු: සරල, වියුක්ත, පොත් රාක්කවල තබා ඇති න්‍යායික පුද්ගලයකු පමණි. රමිදු ලෙනින් ගේ ලේඛන පාවිච්චි කරන්නේ පීඩිත දෙමළ ජනතාව ගේ සැබෑ අරගලයේ මූල කපා දැමීමට සහ රාජ්‍ය මර්දනයට න්‍යායික ආවරණයක් සැපයීමට ය. නමුත් ලෙනින් යනු එවැනි වියුක්ත ලිබරල්වාදියෙකු නොවේ. ලෙනින් යනු පීඩිතයාගේ සැබෑ භෞතික වේදනාව, ඔවුන්ගේ නිදහස පිළිබඳ ප්‍රශ්නය සහ මහා ජාතිකවාදයේ කෲරත්වය ප්‍රායෝගිකව තේරුම් ගෙන ඊට එරෙහිව රාජ්‍ය බලය පවා පාවිච්චි කළ සැබෑ විප්ලවවාදියෙකි.

අඩ සියවසකට එහා සිංහල බෞද්ධ අපරාධකාරී රාජ්‍යයේ හිංසනීය මර්දනකාරී වර්ගවාදයට එරෙහිව සාමකාමීවත් පසුව මිනිස් බෝම්බ ලෙසත් දෙමළ ජනයා සිය නිදහස වෙනුවෙන් අරගල කළහ. රටේ දෙවැනි පුරවැසියන් ලෙස සැලකීමට විරුද්ධව නිදහසේ නාමයෙන් දෙමළ පීඩිත ජනයා ගෙන ගිය විමුක්තිකාමී අරගලය බර අවි යොදා හෝ මර්දනය කරන්නැයි එවකට සෝම වංශ සහ විමල් විරවංශලා ගේ පෙරමුණ ඇතුළත් අවලංසහගත දේශපාලන බළඇණිය මර්දනකාරී රාජ්‍යය සමග එකතුව දෙමළ පීඩිතයාට එරෙහිව කෲර මර්දනයක් දියත් කළහ. ඒ අවලංසහගත වර්ගවාදී අතීතය, වර්තමානයේ සිංහල බෞද්ධ ඡන්ද පතා වෙන්දේසි නොකළ යුතුය. මන්ද වර්තමාන අනුර කුමාර ජනාධිපති සහෝදරයා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව කෙරෙහි උතුරේ ජනයා දැක්වූ විශ්වාසය රමිදු බඳු විශ්වවිද්‍යල බුද්දිමතුන් විසින් ලෙනින්ව විප්ලවවාදීයෙකුට වඩා බුද්දිමතෙකු බවට පත් කිරීම හරහා ජනතාව මුහුණ දෙන සැබෑ ව්‍යුහාත්මක පීඩනය අමතක කර, භූදේශපාලනික හෝ පන්ති මානයන්ට පමණක් ජාතික ප්‍රශ්නය ලඝු කිරීමේ ව්‍යසනය ඉතිහාසය විසින් ඕනෑවටත් වඩා ඔප්පු කර ඇත.

 

රමිඳු ගේ වාගාලාපයේ හැඩය

රමිදු පෙරේරා ලෙනින්ගේ න්‍යාය වැරදියට අර්ථකථනය කරමින්, එය හුදෙක් අවස්ථාවාදී ප්‍රායෝගිකවාදයක් මට්ටමට ඇද දමයි. සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව ජාතික ප්‍රශ්නය විසඳීම යනු හුදෙක් ධනපති ජාතිකවාදයට උඩගෙඩි දීමක් නොවේ.එය සිංහල සහ දෙමළ පීඩිත ජනතාව පොදු සතුරෙකුට එරෙහිව සැබෑ ලෙසම එකමුතු කිරීම සඳහා, රාජ්‍යය විසින් පවත්වාගෙන යන ජාතිවාදී බාධකය පුපුරවා හැරීමේ අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පූර්ව කොන්දේසියකි. ජාතික පීඩනය පවතින සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු නොකර පන්ති විමුක්තිය ගැන පමණක් කතා කරන රමිදුගේ ස්ථාවරය, ප්‍රායෝගිකව ලංකාවේ පවතින සිංහල-බෞද්ධ ආධිපත්‍යවාදී රාජ්‍ය ව්‍යුහය ආරක්ෂා කරන තවත් එක් වාමාංශික වාගාලාපයක් නොවේ ද?

 

438039643 1490438038219367 3811601817128584883 n 2

 

 

 

 

සටහන - Mandis Murrukkuwadura

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න