ඉදිරි වසර තුනක කාලය තුළ මෙරට හෙද සේවාව සඳහා දහතුන් දහස් හයසියයක පිරිසක් බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක සේවාව තව දුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම බඳවාගැනීම අදියර කිහිපයක් යටතේ සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ නවීකරණය කරන ලද රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අද (14) එක්වෙමිනි.
සමස්ත සෞඛ්‍ය සේවාව විවිධ අභියෝග සහ දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන නමුත්, එම තත්ත්ව අවම කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම රජය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසී ය. හෙද සේවාව සඳහා බඳවා ගැනීමට නියමිත පිරිසෙන් සියයට 50ක් මෙම වසර තුළම බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය. එමෙන්ම, යෝජිත හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් සමග හෙද පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු කියා සිටියේය. දැනට හෙද විදුහල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ හෙද හෙදියන් බඳවා ගන්නා බව ද අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව මෙම වසර තුළ හෙද විදුහලේ පුහුණුව සඳහා සිසුන් 3,000ක් බඳවා ගන්නා අතර, මෙම මාසය අවසන් වන විට බඳවා ගැනීම් අවසන් කර පුහුණු කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රසායන සේවා විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය, මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර, පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය පරාක්‍රම විජයකෝන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
