ලංකාවේ සිනමාව අන්තිමට ම කාබාසිනියා කරන කාලය දැන් එළැඹ තිබේ, පණ්ඩිතයෝ රොත්තයි, කතා වැලයි, යෝජනා - අදහස් දෝරෙගලයි.
වැඩ පමණක් රිවර්ස් ගියරයට වැටී තිබේ. ලැජ්ජයි - ලැජ්ජයි - ලැජ්ජයි. කට්ටියක් උලාගෙන කයි, කට්ටියක් වවාගෙන කයි, කට්ටියක් බදාගෙන කයි, කට්ටියක් කයි කතන්දර කිය කියා කයි, කට්ටියක් නොකර සද්දේ කයි.
ලාංකීය සිනමාව තුළ එදා සිට ම හොඳ හෝ නරක - සුදුසු හෝ නුසුදුසු ළමා චිත්‍රපට ගණනාවක් ම නිර්මාණය වෙමින් තිබිණි. එහෙත් අද දවස වනවිට සිනමාව බුරියට පල්ලෙහා තියෙන අවයවයෙන් මනින සිනමාවකට ලඝුකොට, සියලුදෙනාට රෙද්ද ඉස්සෙනතෙක් බලාසිටීමට ඉඩ සලස්වා ඇත. ලාංකේය සිනමාව මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන්නවුන් ගේ වාට්ටුවක් බවට පත්වෙමින් තිබේ. ඔවුන් ඔ්නෑම කුනුහරුපයක් ප්‍රමෝට්කර හෝ මුදල් ගසා කෑමට පෙරට පැමිණ ඇත. ඊට බොහෝ දෙනාගේ එකඟතාව ද පළවෙමින් පවතී. මුදල් වෙනුවෙන් අම්මා හෝ, බිරිද හෝ, ආදරවන්තිය හෝ, සහෝදරිය හෝ විකුණා කෑමට මොවුන් පසුබට නොවෙයි.
මදාවි සිනමා ලක්ෂණ මුල්බැසගත්, තැරුව්කාර සිනමාපට

එදා: රේඛාව - මඩොල් දූව - හඳයා - හලෝ ශ්‍යාමා - චන්ඩි ශ්‍යාමා - චන්ඩි පැටව් - සුද්දා - ජනේලය - සරෝජා - පුංචි සුරංගනාවි - සූරිය අරණ - මහදැනමුත්තයි ගොලයෝ රොත්තයි - බහු බූතයෝ - රන් කෙවිට - රිදී සීනු - පහ සමත් - හෝගානා පොකුණ - ඩබල් ට්‍රබල් සහ තවත් සිනමාපට ගණනාවක් ද ඇතුළුව මෙදා සාජන්ට් පුංචිසෝම දක්වා ම ළමයින්ට ගෝචර නැතිනම් ළමයින් වෙනුවෙන් ම හෝ ළමයින් සමග නැරඹීය හැකි සිනමාපට සැලකියයුතු ප්‍රමාණයක් මෙරට සිනමාවට ලැබී තිබිණි. මේ චිත්‍රපටවල නිර්මාණාත්මක අගැයීම කුමන තලයක තිබුණ ද, බොහෝ අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු එවැනි චිත්‍රපට වෙනුවෙන් කිසියම් දායකත්වයක් ලබාදී තිබුණි. එවැනි චිත්‍රපට පෙන්වීම සඳහා ද ඉඩප්‍රස්ථාවක් ලැබී තිබුණි. ඒ සඳහා කිසියම් සැකැස්මක් තිබුණි. එහෙත්, අදවන විට මදාවි සිනමා ලක්ෂණ මුල්බැසගත්, තැරුව්කාර සිනමාපට බිහිවෙමින් පවතී. පවුලේ සිනමා රසවින්දනය බල්ලට දමමින් අවුරුදු 18 සිට බුරියට පල්ලෙහා අවයවය සොලවා ගන්නටවත් බැරි එවුන් දක්වා ඔවුන් ගේ කාම රසාස්වාදය නළලේ කෙටීමට තරම් සුදුසු අවරගනයේ සිනමාපට සඳහා වෙළඳපොළ සකස්කරගෙන ඇත. මේ සඳහා සියලු තැරුව්කරුවන් එකපෙළට සිටගෙන සිටී; පාත්තරය දිගහැර ඇත; ලාච්චුව සොලවමින් සිටියි. සල්ලි - සල්ලි - සල්ලී... කෙටි අරුත එයයි.
තැරැව්කාරයන් ගේ මාධ්‍යයක්ද ?

මේ වනවිට වයස අවුරුදු 3 සිට 17 දක්වා කිසිදු දරුවකුට ලාංකීය සිනමාවේ ඉඩහසරක් වෙන්කර නැත. දෙමාපියන් හෝ භාරකාරත්වයක් සමග රසවිඳීමට කිසිදු සිනමා පටයක් නොමැත. ඊට ඇති ඉඩහසර සියලුදෙනා ම එකට එක්ව වළක්වා ඇත. අදවනවිට ලෝකයේ ළමා සිනමාව ඉතා ඉහළ තලයකට පැමිණ තිබේ. එහි විවිධ ෂානරයේ චිත්‍රපට බිහිවනවිට දරුවන් වෙනුවෙන් ම විශේෂ චිත්‍රපට නිර්මාණය වෙයි. විශේෂයෙන්ම 2D සහ 3D කාටූන් චිත්‍රපට ඉන් පෙරමුණෙහි පසුවෙයි. එවැනි චිත්‍රපට ළමුන් සහ වැඩිහිටියන් එකසේ රසවිඳියි. කලකට ඉහත නිර්මානය වූ "ලයන් කිං" සහ "ඇනස්ටේෂියා" යනාදි චිත්‍රපට තවමත් මතකයෙන් බැහැරවී නොමැත.
ඇත්තට මේවා ඉබේ සිදුවන දේවල්ද ? රටක සිනමාවේ ගුණාත්මක බව වෙනුවෙන් පෙනී සිටින්නන් ගේ මැදිහත්වීම කුමක්ද? මේ සඳහා වගකිවයුත්තෝ කවරහුද? සිනමාව හසුරවන්නෝ කවරහුද? මෙය සැබැවින්ම මුදලාලි ගේ මාධ්‍යයක් පමණක්ද? නොඑසේනම් තැරැව්කාරයන් ගේ මාධ්‍යයක්ද ?
පවුලේ සිනමාවට කණකොකා හඬා ඇත
ලංකාවේ අවුරුදු 5 සිට 17 දක්වා ලක්ෂ 40 ක පාසැල් දරු දැරියනට තම ළමාකාලය තුළ තම රටේ සිනමාපටයක් රසවිඳීමේ අයිතියක් නැද්ද ? ඔවුනට සිනමා ශාලාව අකැප තැනක්ද? දෙමාපියන් තම කුඩා දරුවන් එක දිගට, එක පෙළට බාල අවරගනයේ ටෙලිවිෂන් කාටූන් තුළ ම සිරගතකර තබනවාද ? ඔවුන්ට විශාල තිරයක ඔවුන් ගේ සිහින දැකීමට ඉඩක් නොමැත්තේද?
ලාංකීය සිනමාවට ම මේ දක්වා නිර්මාණයවී ඇත්තේ කාටූන් චිත්‍රපට දෙකක් පමණ ය. ඒවා විශාල අඩුපාඩු සහිත වුවත්, නමට වුව ඇත්තේ ඒ දෙක පමණ ය. ළමා සිනමාපට බිහිවෙමින් පැවතිය ද, එයද අයාලේ යමින් ළමා සහ පවුලේ සිනමාවට මේ වනවිට කණකොකා හඬා ඇත. මේවාට වගකියන්නේ කවුද? සිනමාව වෙනුවෙන් බිහිවඇති ආයතන මීට වග නොකියන්නේද? රටක ළමයින්ගේ හෝ ශිෂ්‍යයන්ගේ රසවින්දනයට කැපවන්නෝ කවරහුද? ළමයාට තම රටේ නිෂ්පාදිත සිනමා නිර්මානයක පහස ලැබීමට ඇති අයිතිය පාගා දැමිය හැකිද?
"හඳයා" ගෙන් නතර වෙමු ද...?

සිනමාව වෙනුවෙන් ආයතන, අමාත්‍යවරු නිලධාරීන්, බලධාරී හා සොක්කන් බක්කන් පත්කරගෙන ඇත්තේ පින්පඩි කෙළීමට පමණද? උන්ගෙ වගකීම් කවරේද? උන් මෙවැනි දේ ගැන සංවේදී ද, ලෝකයාට අපි අපේ ළමා චිත්‍රපටයක් පෙන්වන්නේ කවදාද ? අපි ටයි මහතාගේ "හඳයා" ගෙන් නතරවී සිටිමුද ? මේවා පරිපාලනයට හසුවියයුතු කරුණු නොවන්නේද ? මේවා පිළිබඳව සාකච්ඦාවක් හෝ කර තිබේද? සිනමාව වෙනුවෙන් ලොරි ටෝක් දෙන, සියල්ලදත් වගේ ඉන්න ඇමතිට මෙවැනි දේ පිළිබඳව කුඩා හෝ අදහසක් තිබේද ? පෞද්ගලි අංශය විසින් චිත්‍රපට හදලා, පෞද්ගලික සිනමාශාලාවල පෙන්වන එක බත්තරමුල්ලේ උඩ තට්ටුවටවෙලා බලාගෙන ඉන්න එක ඔහුගේ ඔහුගේ පරම සතුටක්ද ? කෝ ඇමතිගෙ වැඩ? විසිල් විතරයි - බල්ටි නෑ,

මොහාන් හෙට්ටිආරච්වි
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
