Image

ඩොලර් ලක්ෂ 25 ගැන සාකච්ඡා කරන්න සජබ ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඩොලර් ලක්ෂ 25 ගැන සාකච්ඡා කරන්න සජබ ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තුව රැස් වූ වහාම රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 ගැන සාකච්ඡා කරන්න විවාදයක් ලබා දෙන ලෙස සමගි ජන බලවේගය සමස්ත විපක්ෂය වෙනුවෙන් රජයෙන් ඉල්ලීමක් කළ නමුත් වත්මන් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (28) කඩුවෙල සෙන්චුවරි ලොප් පරිශ්‍රයේ දී පැවැති කැලණි මිටියාවතේ සූර්ය මංගල්‍ය 2026 අවස්ථාව සමග එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

අහිමි වූ මුදල් ගැන සාකච්ඡා කිරීම පාර්ලිමේන්තුවට අකැපද?

''මුදල් අනුමත කිරීම, අධීක්ෂණය, මුදල් කේන්ද්‍රීය ක්‍රියාකාරකම් සියල්ලක් ම ගවේෂණයට ලක් කිරීම, සමීක්ෂණයට ලක් කිරීම පාර්ලිමේන්තුව සතු යි. සංවරණ සහ තුලන වැඩපිළිවෙළ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ බලය පාර්ලිමේන්තුව සතු වුවත් අප රටේ ස්වෛරී වගකීම් ක්‍රියාත්මක කිරීමේ ණය වැඩසටහනක වාරිකයක් ගෙවීමේ දී ඇ. ඩොලර් ලක්ෂ 25ක් අප රටට අහිමි වීම රටේ ජනතාවට අහිමි වීම බරපතල කරුණක්. මුදල් අමාත්‍යාංශය සහ මුදල් ක්ෂේත්‍රය බාර සියලු ම රාජ්‍ය හා දේශපාලන අංශවල අකාර්යක්ෂමතාව නිසා මෙය අහිමි වුණා. මේ ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම වැදගත්. මුදල් අනුමත කරන පාර්ලිමේන්තුවට මේ අනුමත කළ මුදල්වලින් ප්‍රමාණයක් අතුරුදන්වීම ගැන සාකච්ඡා කිරීම අකැප ද, තහනම් ද එයට ඉඩක් නැද්ද කියා ප්‍රශ්න කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකයට එම වගකීම් ඉටු කිරීමට ඉඩ නොදී ඒකාධිපතීත්වය ඒක පාක්ෂික පාලනය සහ තමන්ගේ ආධිපත්‍ය පැතිරවීම තුළින් ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමක් සිදු කරනවා.

රජය වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුගමනය කරන්න අකැමැති ඇයි?

මේ මුදල් වංචනිකව අහිමි වීමේ සාකච්ඡාවට රජය ඉඩ නොදීම ගැන කණගාටුවට කරුණක්. දැන්වත් මේ ගැන සාකච්ඡා කරන්න අවස්ථාව දිය යුතු යි. රට වෙනුවෙන් එය ඉටුවිය යුතු යුතුකමක්. වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුගමනය කරන රටක් ලෙස අප ද මෙය ගැන සාකච්ඡා කළ යුතු යි. ජවිපේ රජය මේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්න සූදානම් නොවීම ම බරපතල කරුණක්. තවත් විදේශීය ගිවිසුම් හා ගිවිසුම් පත්‍රිකා අතුරුදන්වීම ගැන තොරතුරු ලැබෙන නිසා මේවා ගැන සාකච්ඡා කළ යුතු යි. මාස ගණනාවක් පුරා මේ ඩොලර් ලක්ෂ 25 අහිමිවිම අනාවරණය කළේ නෑ. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ප්‍රජාතන්ත්‍රවාදය මරා නොදමා මේ ඩොලර් ලක්ෂ 25 අහිමි වීම ගැන පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න අවස්ථාව දිය යුතු යි. ඒකපාර්ශ්වීය තීන්දු ගෙන ඒකාධිපතිවාදය පෙරදැරි කර ගෙන කටයුතු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න