නුගේගොඩ කියවමු.....

නුගේගොඩ කියවමු.....

රැලිය එසේ නිමා විය. ඒකාබද්ධය කියන්නෙ රැලිය අති සාර්ථක බවයි. රට කරවන ඇත්තන් හා ඒ ඇත්තන්ගේ ගොට්ටන් කියන්නෙ අසාර්ථක බවයි.

නුගේගොඩ රැළිය කියවාගත යුත්තේ පක්ෂ දේශපාලනයෙන් වියුක්තවයි. ඒකාබද්ධය කෙසේ වෙතත්, එය දේශපාලනිකව කියවාගැනීම රට කරවන ඇත්තන් ගේ අනාගතයට හිතකරය; සුභදායකය.

 



රැලියේ සාර්ථක අසාර්ථකත්වය විනිශ්චය කළ යුත්තේ කෙසේද...?
පුරවැසියකු ලෙස මා නුගේගොඩ රැලිය දකින්නේ සාර්ථක එකක් ලෙසයි. මුළු විපක්ෂයට මිනිස්සු 500 ක් එකතු කරගන්න බැරිව සිටි යුගයක ඔවුන් නුගේගොඩට අද එකතු කළ මිනිසුන් ප්‍රමාණය ඔවුන්ගේ ජයකි. ආණ්ඩුවත් එහි ඇතැම් අනුගාමිකයන් නුගේගොඩ රැලියේ සාර්ථක අසාර්ථක බව විනිශ්චය කරන්නේ 2015 මහින්ද සුළඟ රැලිය හා ජාතික ජන බලවේගය එහි පැවැත්වූ රැලියට සාපේක්ෂවයි.

මේ රැලියේ සාර්ථක අසාර්ථකත්වය විනිශ්චය කළ යුත්තේ වසරක කාලයක් තුළ විපක්ෂයේ දේශපාලන ඒකරාශි වීම්වල සාර්ථක අසාර්ථකභාවය මත මිස අතීත දේශපාලන ඒකරාශි වීම් සමග නොවේ. අතීත දේශපාලන රැලි සමග මෙම රැලිය සංවිධානය කරන්නේ දේශපාලන අමනයින් සහ මෝඩයින් ය. අතීත රැලි සමග සංසන්දනය කර ඕනෑනම් දේශපාලන ස්වයං වින්දනයක් ගැනීමට මාලිමාවන්ට හැකි ය. කවදා හෝ තමන් වෙත කඩා පනිනකම් එය දේශපාලන සූරතාන්තයක් වනු ඇත.


sasas 1

ආණ්ඩුවේ වඳුරු හමුදාව


මේ රැලියට සෙනඟ ගෙනාවේ ඒකාබද්ධය වුවත් සෙනඟ එකතු කර දුන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යි. තව ද ඒ සෙනඟ එකතු කර දීමට සෑහෙන දායකත්වයක් ලබාදුන්නේ ආණ්ඩුවට එරෙහි සාධාරණ සාධනීය විවේචන කරන්නවුන් පොහොට්ටුවන් හා කලින් බයියන් ලෙස සිටි අය ලෙස හංවඩු ගසමින් සමාජ මාධ්‍යයේත් ඉන් පිටතදීත් ආණ්ඩුව කෙරෙහි කළකිරවන ජාතික ජන බලවේගය ආගමික දර්ශනයක් කරගෙන, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එහි ශ්‍රාස්තුවරයා ලෙස සලකා වන්දනාමාන කරන වහලුන් ය. විපක්ෂයේ නාමකරණයෙන් නම් ඩෝබින්‍ ය. ආණ්ඩුව මුලින්ම රැකගත යුත්තේ විපක්ෂයෙන් නොව කඩුව අරන් සිතු සිතු දෙසට වනන ආණ්ඩුවේ වඳුරු හමුදාවන්ගෙන්ය.


image 834191714d

ආණ්ඩුවේ අසමත්භාවය

 

සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ, නාමල් කරුණාරත්න, නලින් හේවගේ, ටී. බී සරත්, චතුරංග අබේසිංහ, බිමල් රත්නායක, ලක්මාලි හේමචන්ද්‍ර, නිලන්ති කොට්ටහච්චි, අසෝක රන්වල යනාදි නම කී හා නොකී ආණ්ඩුවේ ළදරු වලිප්පුකාරයින් ආණ්ඩුව විහිළුවක් බවට පත්කර ඇත. ඔවුන්ගේ කියුම් කෙරුම් ඡන්දය දුන් ජනතාව කළකිරවන අතරේ ආණ්ඩුවට ගැසීමට විපක්ෂයට ආයුධ ලබාදුන්නේ මේ ආකාරයේ ඔළමොට්ටලයන් ය. ආණ්ඩුව පත්වී වසරකට වැඩිය. 2/3 ක් තියාගෙන තවමත් ආච්චිට හාල් ගරයි. වංචාව, දූෂණය හා අපරාධකාරයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිසංස්කරණ තවම ගෙන නැත. එහෙම කළා නම් අද ස්ටේජ් නගින බහුතරයක් ඉන්නේ හිරගෙවල්වල ය. අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර දිනෙන් දින නඩු ඇසීමට හැකිවන පරිදි අධිකරණ පිහිටුවීමට විනිසුරුවරුවන් බඳවා ගැනීමට ආණ්ඩුව මේ දක්වා අසමත් වී ඇත.




ජනතාව තවමත් ආණ්ඩුව සමග ඉන්නේ ඇයි...?

ආර්ථික ස්ථායිකරණය යනාදි කාරණා සාමාන්‍ය ජනතාවට අදාළ නැත. ඒවායින් ජනතාව දිගින් දිගටම ආණ්ඩුව සමඟ රඳවා ගත නොහැකි ය. ඡන්දදායකයාට ආර්ථිකය දැනෙන්නේ කන්න බොන්න නැතුව, විදුලිය, ගැස් නැතුව, ඉන්ධන නැතුව පෝලිම්වල ඉන්නකොට පමණි. ඒ නිසා ඡන්දය දුන් ජනතාව ආණ්ඩුව වෙත රඳවා ගැනීමටත්, විපක්ෂය වෙත ජනතාව ඒකරාශි වීම වළක්වා ගැනීමටත් ඊට වඩා දැනෙන ආකර්ෂණීය ප්‍රතිසංස්කරණ කළ යුතු ය. ආණ්ඩුව කෙරෙහි ජනතාව තවමත් විශ්වාසය තබාගෙන ඉන්නෙ යම් මට්ටමකින් දේශපාලන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සාධනීය ක්‍රියාකාරිත්වය සහ විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි මෙහෙයුම් නිසා ය. එසේ නොවන්නට ජනතාව ආණ්ඩුවෙන් ඈත්වී ගොඩක් කල් ය.



 124921201 gettyimages 1240725168
විපක්ෂයට වැරැදුණු තැන

කූඹියාට හුජ්ජ බිංදුවත් ගඟකි. ඒ අර්ථයෙන් 21 රැළිය විපක්ෂය තෘප්තිමත් කරන්නකි. ඔවුන් එය අති සාර්ථක ලෙස දැකීම සාධාරණ ය. කෙළවිලා ප්‍රාදේශීය සභා ලිස්ට් එකට දාගන්නවත් උන් සිටිය නැති උන්ට මේ රැළිය ගෝල්පේස් පිරවූවා සේ දැනීම සාධාරණ ය. තව ද ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ සර්වජන බලය යනාදි පක්ෂ මෙයට සහභාගි වී නැත. නමුත් මෙය කලකිරී මුළුගැන්වී සිටි ආණ්ඩු විරෝධීන්ට උත්තේජනයකි.

විපක්ෂයට අනුව මෙම රැළිය සාර්ථක වුවත් මෙම රැළිය ආණ්ඩුවටත් ආශිර්වාදයකි. තවත් අවුරුදු හතරක් ඉතිරිව ඇත. ඒ නිසා ආරම්භයේ දී ම නිවැරැදි වීමටත්, රට තුළ සිදුකළ යුතු දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික සහ නෛතික ප්‍රතිසංස්කරණ නොපමාව කිරීමට ඔවුන්ට කරනා මග පෙන්වීමකි; නැත්නම් අනතුරු ඇඟවීමකි. එසේ බැලුවොත් විපක්ෂය කර ඇත්තේ මෝඩ වැඩකි. මන්ද මේ රැළිය හරහා අවශ්‍ය ප්‍රතිසංස්කරණය කළහොත් ආයෙත් රැලි තියන්නට විපක්ෂයක් ඉතිරි නොවන බැවිනි.

 

 


(සටහන - Chathuranga Amarathunga)

උපුටා ගැනීම - Chathuranga Amarathunga ගේ ෆේස්බුක් පිටුවෙන්
 November 21

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න