ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා, ජාතික ආරක්ෂාව උපරිම අයුරින් තිබෙනවා යැයි පැවසුව ද ඇමෙරිකානු සබ්මැරීනයක් අප රටේ අනන්‍ය ආර්ථික කලාපයට පැමිණි බව රජය දැනුවත් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (06) පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීති විවාදයට එක්වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
ඉරාන නැව විනාශ කළේ ටෝපිටෝ ප්‍රහාරයකින්
''හදිසි නීතිය ක්‍රියාත්මක වන්නේ දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අයට සහන ලබා දීම වේගවත් කිරීමට මෙන්ම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා යි. හදිසි නීතිය පැනවූ අවස්ථාව වන්නේ ජාතික ආරක්ෂාව ඉහළ ම තත්ත්වයක තිබිය යුතු අවස්ථාවක්. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා ජාතික ආරක්ෂාව උපරිම අයුරින් තිබෙනවා කිව්වට ඇමෙරිකානු සබ්මැරීනයක් අප රටේ අනන්‍ය ආර්ථික කලාපයට ආවා කියල රජය දැනුවත් නැහැ. ඉරාන නැවකට ටෝපිටෝ ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමන තුරු ජාතික ආරක්ෂාව ඉහළ යැයි කියන රජය මේවා නොදැන සිටීම ගැටලුවක්. මෙවැනි සබ්මැරීන අප මුහුදු කලාපයේ සැරිසරන විට ඒවා සොයා බැලීමට අවශ්‍ය තාක්ෂණය අප රටට නැද්ද...? හදීසි නීතිය ක්‍රියාත්මක කර ජාතික ආරක්ෂාව උපරිම ලෙස පවතිනවා යැයි පවසන රජය මේ සිදුවීම් ගැන පවා හරියට විස්තරයක් ඉදිරිපත් කරේ නෑ. මේ තුළින් ජාතික ආරක්ෂාවට අත්වූ ඉරණම ගැන සිතාගත හැකි යි. දෙවැනි ඉරාන නෞකාවේ සිටි 208ක් බේරා ගැනීමට පෙර පළමු ඉරාන නැවේ සිට 130කට අප රටේ අනන්‍ය ආර්ථික කලාපයේ දී ජීවිත අහිමි වුණා.
ඉන්දියාවෙන් සහ රුසියාවෙන් තෙල් මිල දී ගන්න කටයුතු කරන්න
අප රටේ තානාපති කාර්යාල හරහා අනන්‍ය ආර්ථික කලාපය තහවුරු කරන්න ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය යි. හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය වහනවා යැයි විපක්ෂ කියද්දි එවැනි ගැටලුවක් නැති බවට විදේශ ඇමතිවරයා පැවසුවත් මේ වන විට එම සමුද්‍ර සන්ධිය වසා දමා තිබෙනවා. මේ නිසා තෙල් මිල දී ගැනීම තුළ බරපතළ ගැටලු රැසක් මතුව තිබෙනවා. මේ අවස්ථාවේ ඇමෙරිකාව ඉන්දියාවට රුසියාවෙන් තෙල් මිල දී ගැනීමට දින 30කට සම්බාධක නතර කර ඇති නිසා අප රටේත් නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට හා රුසියාවට යවා අප රටට අවශ්‍ය තෙල් නියමිත ආකාරයට ලබා ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.
යුද්ධය නිසා තෙල් ගෑස් බෙහෙත් මිල ඉහළ යාවි
හෝර්මූස් සමුද්‍ර සන්ධිය වැසුණු පසු සුබපැතුම් තුඩුව හරහා තෙල් ගෙන එම සති ගණනාවකින් ප්‍රමාද වී ඉන්ධන මිල ඉහළ යෑම සිදු වෙනවා. මේ වන විටත් තෙල් සඳහා යුධ අධිභාරයක් නිකුත් කර ඇති නිසා තෙල් හා ගෑස් මිල මෙන්ම බෙහෙත් හා ආහාර ආදියේ ද මිල ඉහළ යා හැකියි. මේ තත්ත්වයට රජය ලබා දෙන උත්තර පැහැදිලි නැහැ. මෙය සංචාරක කර්මාන්තයට බරපතළ බලපෑම් එල්ල වෙනවා. සිලෝන් ටී සන්නාමයට ද බලපෑම් සිදුවන නිසා මේ ගැන සෙවිය යුතු යි. මීට පෙර විපක්ෂය අනතුරු ඇගවීම් කරන විට රජය එය පිළිගත්තෙ නැහැ.
තවත් නිව් ඩයමන්ඩ් එක්ස්ප්‍රස්පර්ල් සිදුවීමක් අප රටට අවශ්‍ය නැහැ.
ඉරාන නෞකාව විනාශ කිරීම නිසා සාගර පද්ධතියේ දූෂණයක් සිදු වෙමින් පවතිනවා. තල්මසුන් ඩොල්ෆින් වැනි සත්වයන්ට බාධා රැසක් සිදුවෙමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් තුළ ගිල්වූ නැවේ ඇති තෙල් සාගර මතුපිටට පැමිණිම නිසා විශාල සමුද්‍ර හානියක් සිදුවෙනවා. රජය මේ ගැන වහාම පරිසර ආරක්ෂණ අධිකාරිය පරිසර අමාත්‍යාංශය යොදවා මේ ගැටලුවට විසදුමක් ලබා දිය යුතු යි. තවත් නිව් ඩයමන්ඩ් එක්ස්ප්‍රස්පර්ල් සිදුවීමක් අප රටට අවශ්‍ය නැහැ.
මැදපෙරදිග සිටින මිලියනයක් අපේ රට විරුවන් ගැන බලන්න
මැදපෙරදිග කලාපයේ අප රටේ ශ්‍රමිකයන් මිලියනක ආසන්න පිරිසක් සිටිනවා. මේ ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බි. 8.2ක් පමණ වන නිසා මේ අයගේ රැකියා අහිමි වුවහොත් රට ගන්නා පියවර ඉදිරිපත් කළ යුතු යි. මෙය සාර්ව ආර්ථිකයට උද්ධමනයට හා ආර්ථික වර්ධනයට පවා බලපෑම් සිදුවනවා. මේ ජීවිත අවදානම අවම කරන්න රජය පියවර ගත යුතු යි. මේ සියල්ල සිදුවන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක වන විටයි.
දැන් රජයට ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ගන්න සිදු වෙලා
මේවා ගැන කතා කළ යුතු යි. අප රටේ අනන්‍ය ආර්ථික කලාපයේ ඇති නැවකට ප්‍රහාර එල්ල කිරීම මේවා උල්ලංඝනය කිරිමක් වුවත් රජය මෙයට විරුද්ධව වචනයක්වත් කතා කළේ නෑ. මේ ආව සබ්මැරීනය ගැනවත් රජය ප්‍රකාශයක් සිදු කළ යුතු යි. රජයට මේ ගැන කිසිදු දැනුමක් නැහැ. මේසයයි පුටුවයි ගෙන ආවොත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියපු රජයට අද ජාතික ආරක්ෂාවවත් සුරක්ෂා කර ගන්න නොහැකි වෙලා.
හදීසි නීතිය යටතේ ගෙන ආ ගල්අඟුරු නැව් 10ම බාලයි
හදිසි නීතිය ගෙන ආවේ විදුලි පද්ධතිය ආරක්ෂා කර ගැනීමට යැයි කියන රජය නැව් 10කින් බාල ගල්අඟුරු ගෙනවිත් තිබෙනවා. මේවායින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත වෙන්නෙ නැහැ. මේ නිසා හරියට විදුලියවත් නිෂ්පාදනය කරන්න නොහැකි යි. මේ බාල ගල්අඟුරු ගෙන ඇත්තේ හදිසි නීතිය තියෙන අප රටේ. මේ බාල ගල්අඟුරු නිසා විදුලි බිල පවා වැඩි කරන්න සිදු වෙනවා.''

