මම මේ තාක් කියවා තිබෙන සිංහල නවකතා අතරින්, කියවන්නට මඳක් අභියෝගයක් වුණු කතාවක් ලෙස වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් හඳුන්වන්නට පුළුවන්. මෙහි ලේඛිකාව වන නදී වාසලමුදලිආරච්චි ගේ මම ප්‍රථමයෙන්ම කියවූ සාහිත්‍ය කෘතියද මෙය යි.
ස්ත්‍රී කථකාවක භාවිතා කිරීම
අපි බොහෝ වෙලාවට පුරුදුව සිටින්නේ මඳක් ලේසියෙන් වටහාගත හැකි සහ හිතට ලොකු වෙහෙසක් නොගෙනෙන පොත පත කියවීමටයි. එකිනෙකාගේ රස වින්දනය විවිධාකාර නිසා එයට ද දොසක් නගන්නට බැරිය. නමුත් අප බහුතරයක් පාඨකයන්ගේ එම සුපුරුදු කියවීමේ රටාව අභියෝගයට ලක් කිරීමට, නදී වාසලමුදලිආරච්චි මෙම කෘතිය හරහා ගත් වෑයම සැබවින්ම ඇගයිය යුතු යි.
එපමණක් නොවේ. ලංකාවේ සමාජ දේශපාලනික පැතිකඩවල් සම්බන්ධයෙන් ඉස්මතු වුණු දාර්ශනිකත්වය තුළ, ස්ත්‍රී දෘෂ්ටි කෝණ භාවිතාවට ලක්ව ඇත්තේ ද ඉතා ම අවම ප්‍රමාණයකින්. එම නිසා වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් තුළ ඉහත පැතිකඩෙන් ද ස්ත්‍රී කථකාවක භාවිතා කිරීම ද මේ නවකතාව කියවීම වෙනස් වූ අත්දැකීමක් බවට පත් කරනවා.
විවිධ දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය
අවංකවම කිවහොත් මෙහි මුල්ම පරිච්ඡේදය පාඨකයෙකු වශයෙන් මාව ද දැඩිව පරික්ෂාවට ලක් කරා. මෙහි භාවිත කර ඇති භාෂා ශෛලයේ තිබෙන සංකීර්ණ බව නිසා ඉවසීමෙන් සහ ප්‍රවේශමෙන් කියවීම නම් අත්‍යවශ්‍යයි. ඇතැම් විට නීරස බවකුත් දැනෙන්නට පුළුවන්. නමුත් දෙවෙනි පරිච්ඡේදයේ සිට කතාව බොහොම රසවත් තැනකට රැගෙන එනවා. එතැන් පටන් නම් මෙය කියවීමට ඇති වූයේ කුතුහලයක් පමණි.
කතාව දිව යන්නේ 1948 වසරේ සිට 2015 දක්වා. ශ්‍රී ලාංකීය දේශපාලනය විවිධ වූ හැරවීම් කිහිපයකට ලක්වූ කාල පරිච්ඡේද පෙළක්ම මෙම නවකතාව හසු කර ගන්නවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය යටත් විජිත සමය සහ පශ්චාත් යටත් විජිත සමයේ ඇති හුවමාරු අවදිය සමග ඇති වන විවිද වූ සමාජ දේශපාලනික පෙරලීන් තුලින් මෙය ආරම්භ වනවා. මේ කතාව කීමට ඇය ප්‍රබන්ද කරන්නේ ද සේරම් පවුලයි. සේරම් පවුල යනු ඉංග්‍රීසි පන්නයට හැදුනු වැඩුණු සහ තම වංශවත් බව ප්‍රදර්ශනය කරන දේශපාලනික පසුබිමක් තිබෙන පවුලක්.
සේරම් පවුලේ විනාශය
1948 දී ඉංග්‍රීසි පාලනයෙන් නිදහස් වන ශ්‍රී ලංකාව තුල, ද සේරම් පවුල වැනි ඉංග්‍රීසින්ගෙන් අනුග්‍රහයක් ලැබූ පවුල්වලට සිද්ද වූයේ කුමක්ද?. ඉන් පසුව පශ්චාත් යටත් විජිත යුගයට පය තැබීමත් සමග මෙම පසුබිම් තිබෙන පවුල් සමාජීය සහ දේශපාලනික වශයෙන් අනුගත වූයේ/නොවූයේ කුමන ආකාරයටද යන්න වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් තුළ ඇතුළත් වනවා. වුල්ෆන්ඩාල් වීදියේ වෙසෙන ද සේරම් පවුල විනාශකාරිත්වය කරා ක්‍රම ක්‍රමයෙන් පිය නගන පවුලක්. එම විනාශකාරිත්වයේ සෙවණැලි කතාව ආරම්භයේම විවිධ අවස්ථාවල ඉස්මතු වනවා. ද සේරම් පවුලේ විනාශය සහ තවත් වශයෙන් කිවහොත් ශාපය, ලාංකීය දේශපාලනයේ ඇති බල අරගලයේ විනාශකාරී/ශාපලත් බවට ද යාකිරීම කතුවරිය ප්‍රභලව ඉදිරිපත් කර තිබෙනවා.
ලාංකීය දේශපාලන භූමිය නිර්වචනය කිරීමට යොදාගත් නිවැරදි ම සංකේතය
මෙම කතාවේ තිබෙන සමාජ දේශපාලනික පසුබිම විග්‍රහ කිරීමට ද සේරම් පවුලේ කතාව ද ඇතුළත් කිරීම, ලාංකීය දේශපාලන භූමිය නිර්වචනය කිරීමට යොදාගත් නිවැරදි ම සංකේතයක්. නවකතාවට මුල් වන 1948 සිට 2015 කාල සීමාව දක්වාම ලාංකීය දේශපාලනයේ බල අධිකාරිය විසිරී තිබුණේ පවුල තුළයි. එය පවුලෙන් පවුලට කාලෙන් කාලෙට හුවමාරු වුණු බල අධිකාරියක්. එහි ප්‍රතිපලය වූයේ ඥාති සංග්‍රහයන්ට ප්‍රමුඛත්වය දෙමින් මෙම දේශපාලනික බලය දැඩි ලෙස අවභාවිතයට ලක්වීමයි.
අපට පොත මූලිකව කියවා ගෙන යද්දී හැඟෙන්නේ ද සේරම් පවුල වැනි වංශවත් ඉහළ සමාජය නියෝජන කරන පවුල් තුලින් පමණක්ම මේ විනාශකාරී චක්‍රය පවත්වාගෙන ගිය වග. නමුත් එය එසේ නොවන වග KC වැනි එම ඉහල ආර්ථික සමාජය නියෝජනය නොකළ චරිත හරහා ද පෙන්නුම් කරනවා.
දේශපාලනික ගනුදෙනු තුළ ස්ත්‍රී භාවිතය
මම ආරම්භයේ දී සඳහන් කළා සේම මෙය ස්ත්‍රී දෘෂ්ටි කෝණයකින් ලියවුනු කතාවක්. මෙහි පුරුෂ චරිත වෙනුවෙන්ද සාධාරණ අවකාශයක් තිබුනත්, කතාවේ පසුබිමට මූලික වන්නේ වුල්ෆන්ඩාල්හි ජීවත් වුණු ගැහැනුන් දහනව දෙනෙකුගේ කතාව. එම දහනව දෙනාව ම මෙහි එක සමාන බරකින් නියෝජනය නොවුනත්, ඉන් චරිත කිහිපයක් ම මෙහි ප්‍රධාන පෙරමුණ ගන්නවා. සොෆියා ගානට් ද සේරම් මෙහි ප්‍රභලව ඉස්මතු වන චරිතය වන අතර ඉලන්ගකෝන් ආර්යාව, රූබී හෙලේනා දිසානායක සහ සුඛි දීපනා ද සේරම් මෙහි කැපී පෙනුණ චරිත ය. පිරිමින්ගේ විනාශකාරිත්වය ඉදිරියේ වුල්ෆන්ඩාල්හි විසූ කාන්තාවන්ට එය බලපෑවේ කෙලෙසද යන්න මෙම චරිත තුළින් විග්‍රහ වනවා. විශේෂයෙන් ම දේශපාලනික ගනුදෙනු තුළ ස්ත්‍රීන් ද භාවිතා වුනු ආකාරය නවකතාවේ විවිද තැන් වල ඉස්මතු වුණු.
දේශපාලන ඉතිහාසය පිළිබඳ නැවත කියවීමක්
වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් තුළ අපේ සාහිත්‍ය ඉතිහාසයේ අත නොතබපු පැතිකඩක් ඉදිරිපත් කිරීමට, මෙහි කතුරිය ගත් වෑයම සැබවින්ම අගය කළ යුතුයි. එය නිර්භීත වෑයමක් ලෙස ද සඳහන් කරන්නට කැමතියි. මෙම නවකතාවේ වාර්තාමය ස්වරූපයකුත් දකින්නට ලැබුණා. විශේෂයෙන්ම ලාංකීය දේශපාලනික ඉතිහාසය තුළ සිදුවූ වැදගත් සහ කම්පනය කළ සිදුවීම් වාර්තාගත ස්වරයකින් මෙම කතාවේ ඇතුළත් වනවා. එයින් පාඨකයාට අපගේ දේශපාලනික ඉතිහාසය පිළිබඳ නැවත කියවීමක් කිරීමට පෙළඹවීමක් ඇති කරවනසුලු ය.
මගේ මතය අනුව වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් "ahead of it's time" පන්නයේ නවකතාවක්. මෙය වෙනුවෙන් මීට වඩා සංවාදාත්මක කියවීමක් කාලයත් සමග සිදු වන්නට පුළුවන්. එම නිසා මෙය කියවීමට අභියෝගාත්මක කෘතියක් වූවත්, පාඨකයෙකු වශයෙන් නැවුම් බවක් අත්විඳපු කෘතියක් ලෙස නම් කරන්නට පුළුවන්.
(රමිත විමුක්ති)
උපුටා ගැනීම විදර්ශන පාඨක ජාලය Face book පිටුවෙන්

