වරප්‍රසාද ප්‍රතික්ෂේප කළ අභිමානය; තීරුබදු වාහන සංස්කෘතියට අභියෝග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය

වරප්‍රසාද ප්‍රතික්ෂේප කළ අභිමානය; තීරුබදු වාහන සංස්කෘතියට අභියෝග කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය දෙස හැරී බලන විට, බලය සහ වරප්‍රසාද හඹා යන දේශපාලන සංස්කෘතියක් තුළ, ප්‍රතිපත්තිගරුක බවින් නොසැලී සිටි නායකත්වයන් හමුවන්නේ ඉතා කලාතුරකිනි. ඒ අතරින්, පරම්පරාගත දේශපාලන උරුමයකට වඩා මහජන සේවය පෙරදැරි කරගත් තාරුණ්‍යයේ අභිමානය රැගෙන ආ, ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය ගේ දේශපාලන ආගමනය සැබවින්ම සුවිශේෂී වේ.

එතුමිය මහා ඇමතිවරියක ලෙස දේශපාලනයට පය තබන විටත්, ඇය තුළ වූයේ පෞද්ගලික වරප්‍රසාදවලට වඩා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ගැන වූ නොසැලෙන විශ්වාසය යි. දේශපාලනය යනු වරප්‍රසාද ලැබීමට නොව, ජනතාවට සේවය කිරීමට මගක් බව පසක් කළ ඇය, තමන්ට හිමි විය හැකි බොහෝ පහසුකම් සිනාසෙමින් ප්‍රතික්ෂේප කළා ය.

දෑත් පිරිසිදු දේශපාලනඥයෙකු ගේ ජීවමාන සාක්ෂිය

ලංකාවේ දේශපාලන ක්‍රමය තුළ 'තීරුබදු රහිත වාහන බලපත්‍ර' ක්‍රමය හඳුන්වා දුන්නේ මහජන නියෝජිතයින් ගේ පහසුව උදෙසා වුවත්, කාලයා ගේ ඇවෑමෙන් එය රජයට විශාල මූල්‍යමය බරක් විය. සාමාන්‍ය ජනයාට වාහනයක් ගැනීම සිහිනයක් වෙද්දී, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ නියෝජිතයින් තම බලපත්‍රය කෝටි ගණනකට විකුණා පෞද්ගලික ලාභ ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත් විය. නමුත් චන්ද්‍රිකා මැතිණිය ගේ ස්ථාවරය මීට හාත්පසින්ම වෙනස් විය. මහා ඇමති, අගමැති සහ විධායක ජනාධිපති ලෙස ඉහළ ම තනතුරු හෙබවූවත්, එතුමිය කිසිදු දිනක එකම එක වාහන බලපත්‍රයක්වත් ලබා නොගත්තා ය. මුදලට වඩා රට ගැන සිතීම හා තමන්ට හිමි බලපත්‍රය විකුණා මුදල් සෙවීමට ඕනෑතරම් අවස්ථා තිබියදීත්, ඇය රාජ්‍ය වාහනවලින් පමණක් සෑහීමට පත් වූයේ රටේ බදු මුදල් ආරක්ෂා කිරීමේ අරමුණෙනි. පිරිසිදු දේශපාලනය එතුමිය තීරුබදු වාහන සංස්කෘතියට අභියෝග කළ, දෑත් පිරිසිදු දේශපාලනඥයෙකු ගේ ජීවමාන සාක්ෂියක් බඳුය.

අදටත් වලංගු ඒ උතුම් ආදර්ශය

පාලකයින් සුඛෝපභෝගී වාහන පසුපස හඹා යන යුගයක, නීතියට අනුව තමන්ට හිමි වරප්‍රසාදය පවා රටේ ආර්ථිකය වෙනුවෙන් කැප කළ ඇයගේ නිහඬ මෙහෙවර අතිශය ප්‍රශංසනීය යි. පරම්පරාගත දේශපාලන පවුලකින් ආවද, සාමාන්‍ය ජනතාව ගේ බදු මුදලින් නඩත්තු වන වරප්‍රසාද ප්‍රතික්ෂේප කිරීමේ නිහතමානීකම ඇය සතු විය.

"අලෙවි නොකළ ප්‍රතිපත්ති සහ පාවා නොදුන් මහජන විශ්වාසය - විශ්‍රාමික දිවියේ සැබෑ සතුටයි."

අද පවතින ආර්ථික අර්බුදය හමුවේ, එදා ඇය තැබූ ඒ ආදර්ශය වර්තමාන පාලකයන්ටද මහඟු පාඩමකි. දේශපාලනයෙන් පසු ලබන සැබෑ විශ්‍රාමික සුවය රැඳී ඇත්තේ තමන් කළ නිවැරදි කැපකිරීම් මත බව ඇය ලොවටම පෙන්වා දී ඇත. වරප්‍රසාද පසුපස නොගිය නිසා ම, ඕනෑම කාලයක හිස කෙළින් තබාගෙන ජනතාව ඉදිරියට යා හැකි අභිමානවත් නායිකාවක ලෙස ඇය සැමදා ගෞරවයට පාත්‍ර වනු ඇත.

සාගර සුරේන් එදිරිවීර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න