V2025

පුවත්

ජනාධිපති කොමිසමේ නිර්දේශවලට එරෙහිව ශානි අභියාචනාධිකරණයට !

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් කරනු ලැබූ නිර්දේශයක් බලරහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

අදාළ පෙත්සම අද (21) ගොනුකර ඇති බව වාර්තා වෙයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා ඇතුළු පිරිසක් නම් කර ඇති බවත් දැනගන්නට ඇත.

ලංකාවට බත් දුන් පියා චීනෙක් : ජවිපෙ විජිතගෙන් අනාවරණයක් !

දැන් ජනතාවට කියන්න සිදුවී තිබෙන්නේ බත් දුන් පියා ෂී ජින් පි යා යන කතාව යැයි ජනතා විමුක්ති පෙරමු‍ණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමු‍ණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.

මේ වනවිට රටේ මුළු ණය රුපියල් ට්‍රිලියන 21ක් වී ඇති බවත් ඉන් වැඩිම ණය ගෙන ඇත්තේ වත්මන් ගෝටාබය රාජපක්ෂ පාලනය කළ පසුගිය වසර කිහිපයේදී බවත් එහිදී ඔහු පැවසීය.

අද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බවද ඔහු අවධාරණය කළේය.

ණය ගත්තේ නැතැයි ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළද කිව්වත් රුපියල් ට්‍රිලියන 08ක්ම ණය ලබාගෙන ඇත්තේ ගෝටාබය රාජපක්ෂ පාලන සමයේදී බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ෆේල් : චාන්ස් එක රනිල්ට !

පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ගේ දුර්වල ක්‍රියාකලාපය අද දිනයේ යලිත් තහවුරු වූ බව පාර්ලිමේන්තු NEXTV වාර්තාකරු සඳහන් කරයි.

වාර්තා කරන ආකාරයට එම සිදුවීම මෙසේයි.

දකුණු කොරියානු ජනරජයේ පාර්ලිමේන්තුවේ කතානායක පාර්ක් බියෝන්ග් සෙව් අද දිනයේ විශේෂ අමුත්තෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඇත.

එහිදී සම්ප්‍රධායානුකුලව සභාගර්භයට පැමිණි අවස්ථාවේදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් දකුණු කොරියානු කතානායක වරයා පිළිගත් අතර ,විපක්ෂය වෙනුවෙන් ඔහු පිළිගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභා ගර්භය තුල රැදී සිට නැත.

මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකද එම අවස්ථාවට සහභාගිව නැත.

ඒ හේතුවෙන් ,විපක්ෂය වෙනුවෙන් දකුණු කොරියානු කතානායකවරයා පිළිගෙන ඇත්තේ හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ විසිනි.

මේ අතර අද දිනයේද කල් තැබූ විවාදයේදී විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයන් උද්ගත වී තිබෙන අතර එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට විනාඩි 10 ක් රවුෆ් හකීම් මන්ත්‍රීවරයාට විනාඩි 9 ක් සහ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාට විනාඩි 5 ක කාලයක් වෙන් කර තිබු බවයි සඳහන් වන්නේ.

විපක්ෂයේ පක්ෂ නායකයිනට කාලය වෙන් කිරීමේදී විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සෙසු පක්ෂ වලට කුඩම්මාගේ සැලකිලි දක්වමින් හිතුවක්කාරී ලෙස හැසිරී ඇති බවටත් සෙසු පක්ෂ නායකයින් චෝදනා කරන බවත් වාර්තා වෙයි.

කල්තැබීමේ විවාදයේදී ආණ්ඩුවේ අසාර්ථකත්වය පිළිබඳව මතය සමාජගත කිරීමට තිබු අවස්ථාව විපක්ෂ නායක වරයාගේ සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ක්‍රියාකලාපය නිසා අහිමි වූ බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කතාබහක් මතුව ඇති බවත් වාර්තා වෙයි.

set

කලාකරුවන්ට නොමිලේ රක්ෂණාවරණයක්

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ ජීවිත රක්ෂණයක් ප්‍රදානය කිරීමට ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එහි සමාරාම්භක අවස්ථාව ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

සංකේතාත්මකව කලාකරුවන් 50 දෙනෙකු වෙනුවෙන් රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරිණ.

ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය www.heritage.gov.lk ලෙස අන්තර්ජාලයට එක් කිරීම ද සිදු කෙරුණේ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

අපහාස කළාට මැඩිල්ලේ හිමි අධිකරණයේදී : අලිසබ්‍රිගෙන් සමාව ගනියි !

අල්ධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රිට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා අධිකරණය හමුවේ දී ප්‍රකාශයක් කරමින් පොරොන්දුව තිබේ.

අධිකරණ පුවත් වාර්තා අනුව අපකීර්ති දායක ප්‍රකාශ කරමින් හා එම ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලාවල පළකරමින් සිය කීර්තිනාමයට හානි කළේ යැයි අධිකරණ ඇමැතිවරයා ගොනුකළ වන්දි නඩුවක් සමථයට පත් කරමින් පඤ්ඤාලෝක හිමියෝ එසේ පවසා ඇත.

අධිකරණ ඇමැතිවරයා හා පඤ්ඤාලෝක හිමියන් අතර ඇතිකරගත් සමථ කොන්දේසී ප්‍රකාරව මේ ප්‍රකාශය කළ බවත් වාර්තා වෙයි.

සිදුකර ඇති අපහාසයට රුපියල් කෝටි 150 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අධිකරණ ඇමැතිවරයා විසින් මේ නඩුව පසුගිය වසරේ මැයි 27 වැනි දින ගොනු කරන ලදි .වගඋත්තරකාර හිමියන් විසින් youtube ,ෆේස්බුක් හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාසය තහනම් කරන ලෙසත් සිදුකර ඇති අපහාසයට වන්දි අය කර දෙන ලෙසත් පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණි.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ ඊයේ (19) දින නඩුව කැඳවූ අතර දෙපාර්ශ්වය අතර ඇති කරගත් සමතයක් ප්‍රකාරව නඩුව අවසන් කරන බව නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේය.

දේශප්‍රේමය තවරාගත් රාජපක්ෂලා ජනතාවට රටක් නැති කළා - අනුර

දේශප්‍රේමීත්වය තවරාගත් රාජපක්ෂගේ හත් කට්ටුවේ ආණ්ඩුව සීරුවෙන් මාරුවෙන් රටේ දේපළ ටික විකුණමින් ජනතාවට රටක් නැති කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කළේය.

ඔහු මේ චෝදනාව කළේ “ත්‍රිකුණාමලය තෙල් ටැංකි ජාතික සම්පත ඉන්දියාවට පාවාදීමේ ගිවිසුම හකුළා ගනු” යන සටන් පාඨය මුල් කරගෙන ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයට සහභාගි වෙමිනි.

මෙම උද්ඝෝෂණ පා ගමන ඊයේ (19දා) මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කර කොටුව දුම්රියපොළ දක්වා පැමිණි අතර ඊට පක්ෂ සාමාජිකයන්, වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාධරයන් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.

ජවිපෙ නායකයා එහිදී වැඩිදුරටත් මෙම අදහස් පළකළේය.

“ආණ්ඩුව ජනතාවගේ වටිනා සම්පත් එකිනෙක විකුණමින් තිබෙනවා. ආර්ථිකයේ නරක ප්‍රතිපත්ති ප්‍රතිඵලවලට අපි මුහුණ දෙමින් ඉන්නවා. ස්වාභාවික සම්පත් හා බලශක්ති ක්ෂේත්‍රයටත් ආණ්ඩුව අත තියලා. ඒවා විකුණමින් සිටිනවා. මෙගා වොට් 300ක විදුලි නිෂ්පාදනය කරන ඉතා වැදගත් කෙරවළපිටිය බලාගාරයටත් අත තියලා ඉවරයි. එහි ඉතා වැදගත් කොටස් ඇමෙරිකාවේ සිට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඇමෙරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ විසින් විකුණා දැමුවා. විදුලිබල මණ්ඩලයේ සේවකයන් අදටත් එම ගිවිසුමට එරෙහිව සටන් කරනවා. අපි ඊට උපරිම සහාය දෙන බව අවධාරණය කරනවා. ආණ්ඩුව වරාය භූමියේ අක්කර 13ක් චීන සමාගමට දෙන්න කැසකවමින් ඉන්නවා.

දේශප්‍රේමීත්වය තවරාගත් ආණ්ඩුවේ ඛනිජ තෙල් ඇමැති පසුගියදා (6දා) ඉන්දියානු සමාගම් එක්ක ගිවිසුම් අස්සන් කරනු ලැබුවා වැදගත්ම කොටස වන තෙල් ටැංකි සංකීර්ණය පවරා දීම සඳහා. ඒ වගේම වටිනා ගොඩනැඟිලි කිහිපයක් විකිණීමට ආණ්ඩුව සැලසුම් කරලයි තිබෙන්නේ. දේශප්‍රේමීත්වය තවරාගෙන තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. එහෙම දේශප්‍රේමය කරපින්න ගෙන ඇවිත් සීරුවට මාරුවට වරාය, බලාගාර, වටිනා ගොඩනැඟිලි, තෙල් ටැංකිවල ජනතාවට ඇති අයිතිය නැති කරලා. දැන් මේක රටක්ද. ජනතාවට වගකීමෙන් කියනවා අපි මේ සම්පත් ටික රැකගන්න සටනක් ගෙනියමු. ඒකට අපි සහාය දෙනවා. රාජපක්ෂගේ හත්කට්ටුව ආණ්ඩුවේ. මේ ගනුදෙනුවලට අපි ඉඩ නොතියන බවත් අපි අවධාරණයෙන් කියනවා. දේපළ විකුණගෙන කන මේ උත්සාහය නවත්තන්න පෙරට එන්න කියලා මම ජනතාවට ආරාධනා කරනවා.”

(මව්බිම)

කොරෝනා මරණ 15,255ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (19) තහවුරු කර ඇති බවය.

එම මරණ 12 අතරට අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,255කි.

මහවැලි ගඟේ වැලි ජාවාරම : රාජ්‍ය අනුග්‍රහයෙන් අඛණ්ඩව ! (Video )

මහවැලි ගගේ අනවසර වැලි ගොඩ දැමිම රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉතාමත් දරුණු ලෙස මෙි වන විට සිදුවෙිමින් පවතින බව පරිසරවේදින් පවසයි.

මනමිපිටිය, මඩංතෙටිටි ,නීලපොල වැනි ස්ථාන වල මෙිවන විට විශාල යන්ත්‍ර සුත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ වැලි කැණිමි සිදු කිරීම සමිබන්ධව පරිසර සංවිධාන භූ විද්‍යා හා පතල් කාර්‍යංශය හා පරිසර අමාත්‍ය වරයා විටින් විට දැනවත් කිරීමි කලද එම අනවසර වැලි ගොඩ දෑමිම නැවතීම වෙනුවට ජාතික පාරිසරික පනත කඩ කරමින් භු විද්‍යා හා පතල් කාර්‍යංශය මහා පරිමාණ සමාගමි සදහා වැලි බලපත්‍ර නිකුත් කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

පරිසරවේදි ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් නිකුත්කළ නිවේදනයක් අනුව මේ බව අනාවරණය කර ඇති අතර ඔහු අදාළ නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.

2021 සැප්තැමිබර් මස සිට දෙදහස් විසිදේකේ ජනවාරි මස වන විට වැලි බලපත්‍ර එක්දහස් තුන්සියයක් මහ වැලි ගගේ ත්‍රී කූණාමලයේ ප්‍රදේශයේ කිලෝමිටර් 27 ඇතුලත නිකුත් කර ඇත.

මහවැලි ගගේ අනවසර වැලි ගොඩ දැමිම සමිබන්ධව හා සාෆි නගර් ප්‍රදේශයේ වැලි ගොඩ දැමිම සමිබන්ධව පරිසර ඇමතිවරයාගේ මැදිහත්වීමෙින් නිකූත් කෙරුණ නිතිවිරෝධි වැලි බලප්‍රත්‍රය සමිබන්ධව පර්යේශණයක් කරන බවට මාධ්‍යයට පැවැසුවද එම පර්යේෂණය යට ගැසීමට භූ විද්‍යා හා පතල් කාර්්‍යංශයේ සභාපති වරයා කටයුතු කරමින් ඇත.

ඒ අතර දැනට වැලි බලපත්‍ර හිම කුඩා පරිමාණ වැලි ගොඩ දමන අයගේ වැලි බලපත්‍ර අහෝසි කරමින් ඒ වෙනුවට මහා පරිමාණ වැලි ගොඩ දැමිම වෙනුවෙන් මෙි වන විට ඇති අවස්ථා සමිබවධව භූ විද්‍යා හා පතල් කාර්්‍යංශය තුල පරික්ෂණයක් මෙහෙය වෙිමින් ඇත .

25 පස්සේ අඛණ්ඩ විදුලි සැපයුමක් - ලොකුගේ : පැය 5-6 ක කප්පාදුවක් - විදුලි ඉංජිනේරුවන් !

ඉන්ධන නැති වුවද එළඹෙන 25 වැනිදායින් පසුව විදුලිය විසන්ධි කිරීමකින් තොරව ලබා දීමට හැකියාව ඇතැයි විදුලි බල ඇමති ගාමිණි ලොකුගේ සඳහන් කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත‍්‍රයද විදුලි ජනන කටයුතු 25 වනදා වන විට ආරම්භකිරීමට හැකිවනු ඇති බවයි.

එම ජනන යන්ත්‍රය මේ වන විට නඩත්තු කටයුත්තක් සිදුකරමින් ඇති බවද හේතුවෙන් දැනට දැනට දිනකට දැවි තෙල් 1500ක් පමණ අවශ්‍ය වන බව ද වන ඔහු පවසයි.

නමුත් තෙල් සංස්ථාව ද අර්බුදයට පත්ව තිබෙන නිසා යම් ගැටලුකාරී තත්වයක් මතු වී ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මෙම විසිපස් වන දා දක්වා ද කිසිදු විසන්ධි කිරීමකින් තොරව විදුලිය ලබාදීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

පැය 5-6 ක විදුලි කප්පාදුවක් - ඉංජිනේරු සංගමය !

කෙසේ වුවත් අමාත්‍යවරයා පවසන දෙයට සාපුරා වෙනස් අදහසක් ලංකා විදුලි ඉංජිනේරු සංගමය දක්වා ඇත.

රූපවාහිනී නාලිකාවක් වෙත අදහස් දක්වමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසන්නේ ජල විදුලි බලාගාරවල විදුලි ජල ධාරිතාව තවදුරටත් පහළට බැස්සහොත් පැය පහ හය විදුලි කප්පාදුවකට යාමට සිදුවුනු ඇති බවයි.

මැයි මාසය පසුවන තෙක් ජල විදුලි උත්පාදනය ප‍්‍රමාණවත් ලෙස ඉහළ නොගිය හොත් එතරම් කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක සිදුවෙනු ඇතැයි සංගමයේ සභාපති සෞම්‍ය කුමාර කියා සිටී.

අද වන විට ලංකාවේ ඉල්ලුමට සරිලන විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් බලාගාර පහසුකම් නැතැයිද හෙතෙම කියා සිටියේය.

මෙවන් අවස්ථාවලදී හදිසි මිලදී ගැනීම් සදහා විදුලිය ලබාදීමට ව්‍යාපාර කරන වෙනම කණ්ඩායමක් සිටිනා බවත් ඔවුන් බිලියන ගණන් මුදල් උපයන බවත් ඔහු පැවසීය.

පොල්තෙල්වලට පාම්තෙල් කලවම්කර විකිණීමේ සූදානමක් !

පාම්තෙල් සදහා ආයනික බදු අඩුකරගෙන පොල්තෙල්වලට පාම්තෙල් කවලම් කර විකිණිමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙයි.

ඒ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත්කළ නිවේදනයක් හරහා ය.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

 පාම්තෙල් සදහා ආයනික බදු අඩුකරගෙන පොල්තෙල්වලට පාම්තෙල් කවලම් කර විකිණිමේ සූදානමක්.

රජය විසින් පාම්තෙල් සදහා වන ආනයනික බදු අඩු කල සෑම අවස්ථාවකදීම මෙරට කූට ව්‍යාපාරිකයින් විසින් සිදු කරන ලද්දේ පොල්තෙල් සදහා පාම්තෙල් කවලම් කර අලෙවි කරන ජාවාරමකි. එම ජාවාරම නැවැත්වීම සදහා රජය විසින් විසින් විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. එහිදී ගත් එක් ක්‍රියාමාර්ගයක් වූයේ පාම්තෙල් සදහා ආනයනික බදු බැඩි කිරීම වන අතර ඒ අනුව තම නිෂ්පාදන සදහා පාම් තෙල් අවශ්‍ය නිෂ්චිත කර්මාන්ත පමණක් මෙරටට පාම් තෙල් ආනයනය කරන ලදී.

ආනයනික පාම්තෙල් සදහා ආනයන බදු අඩු කර ගැනීම සදහා කූට ව්‍යාපාරිකයින් පිරිසක් මේවන විට උත්සහ කරමින් සිටින බවට තොරතුරු අපවෙත ලැබී ඇත. එම පිරිස උත්සහ කරමින් සිටින්නේ පොල් තෙල් මිල ඉහළ යන මේ අවස්ථාවේ පොල් තෙල් සදහා පාම්තෙල් කවලම් කර අලෙවි කිරීමේ ජාවාරම නැවැත ක්‍රියාත්මක කර අධික ලාභ ලබා ගැනීමට වන අතර එම ජාවාරම නැවත ක්‍රියාත්මක වුවහොත් මෙරට පාරිභෝගිකයින්ගේ ජීවිත අනතුරට පත්වන බැවින් පාම්තෙල් සදහා ආනයනික බදු අඩු නොකරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

පොල්තෙල් සදහා පාම් තෙල් කවලම් කර අලෙවි කිරීම මෙරට විශාල ජාවාරමක් වූ අතර එම ජාවාරම නතර කිරීම සදහා රජයට දැඩි උත්සහයක් ගැනීමට සිදුවිය. එසේ තිබියදී නැවතත් එම ජාවාරම ක්‍රියාත්මකවීමෙන් මෙරට පාරිභෝගිකයින් පමණක් නොව රජයද අපහසුතාවයට පත්වීම වැලැක්විය නොහැක. එම නිසා රජය ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු පිළිබදව සිතා නොව මෙරට සමස්ත පාරිභෝගිකයින් පිළිබදව සිතා තීරණගත යුතු බව අප අවධාරණය කරමු.

 මීට විශ්වාසී,

 රංජිත් විතානගේ - සභාපති

 

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ඩොලර් අර්බුදය 2029 තෙක් : ඇමති බන්දුලගෙන් අනාවරණයක් !

අද වන විට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 වසර වන තෙක් පවතිනු ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

අද ආණ්ඩුව වෙනස් වුවද 2025 වෙනස් වුවද එම තත්වය වෙනස් නොවනු ඇති බවත් හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කරමින් ඇමතිවරයා මේ බව කියා සිටි අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපේ රටේ මේ වන විට ප්‍රධාන අර්බුදයන් 3ක් තිබෙනවා. එකක් තමයි විදේශ විනිමය පිළිබඳ (ඩොලර්) අර්බුදය. දෙවැනි එක රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය. තුන ආර්ථිකය කඩා වැටිලා එතනින් ගොඩ ඒමේ අර්බුදය. ජනාධිපතිවරයාගේ කතාවේ බොහොම පැහැදිලිව මෙකී අර්බුද සඳහා ජාතික වශයෙන් මේ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳ පැහැදිලි කිරීමක් කළ බව මම සඳහන් කරන්න ඕනී.

මේ විදේශ විනිමය අර්බුදය අද ඊයේ ඇති වූ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ නිදහස ලැබුනු දවසේ සිට කවුරු ආණ්ඩු කළත් ලංකාවට භාණ්ඩ ආනයනය කරන්න යන වියදම වැඩිවන වියදමට සාපේක්ෂව අපි ආදායම් වැඩි කරගත්තේ නැහැ. 1977න් පසු ලංකාවේ තිබුණේ වෙළද හිඟයක්. හැමදාම අපි කරලා තිබෙන්නේ මේ රටේ නිෂ්පාදනය කිරීමට වැඩියෙන් පිටින් ගෙනල්ලා පරිභෝජනය කරලා තිබෙනවා.

මේක තමයි ප්‍රශ්නයේ ඇත්ත කතාව. කාට හරි බැන බැන ඉන්නවාට වැඩිය මේ තිබෙන ගැඹුරැ ප්‍රශ්නය පිළිබඳ අවබෝද කර නොගෙන ඒ අවස්ථාවේ ඇති වන වාසිදායක තත්ත්වය තුලදී විදේශ විනිමයෙන් බඩ පිනුම් ගැසීමත්, දුෂ්කරතාවයන්හීදී කාට හරි ඇගිල්ල දිගු කිරීමත් තමයි සිදු කරලා තිබෙන්නේ.

2029 වෙනකන් මේ අර්බුදයට මේ රට මුහුන දෙන්න ඕනී. ඒකයි මේ ගැටලුව ජාතික අර්බුදයක් කියලා කියන්නේ. මෙහෙම ස්වෛරීත්ව බැදුම්කර නිකුත් කරලා ලංකා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුව වගේ මෙලෙස ණය අරගෙන නෑ.

මේක ගෙනියන්න බැරිවුනු තැන මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් කියන මේ රටේ කොටසක් ඇමරිකා එක්සත් ජනපදයට පාවා දෙන ගිවිසුම අත්සන් කරන්න ලෑස්ති වුනා. අද බංග්ලාදේශයෙන් 250ක් ගන්නවා කියන කට්ටිය ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480ක් සඳහා තමයි මුලු රටම පාවාදෙන එම්.සී.සී ගිවිසුම අත්සන් කරන්න ගියේ. ඒ තරමටම වැටිලා තිබුණේ.”

මට පේන්නේ එතුමා වෙන රටක : රාජාසන කතාවට අනුරගෙන් ප්‍රතිචාර !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් කළ ප්‍රකාශය තුළින් පෙන්නුම් කරන්නේ එතුමා තවමත් වෙනත් රටක ජීවත් වන ආකාරයක් බව, ජනතා විමුක්ති පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනතාව මේ මොහොතේ මුහුණ දී ඇති විශාල ගැටලු ගණනාවක් තිබීම පිළිබඳව ඔහුට අවබෝධයක් නොමැති බව ඒ කතාවෙන් මැනවින් ඔප්පු වන අතර ඔහු ඉදිරිපත් කරන ලද විසඳුම් හා යෝජනා රට මුහුණ දී තිබෙන ගැටලුවලට, අර්බුදවලට පිළිතුරු සොයනවා වෙනුවට ඔහු ජීවත් වූ වෙන රටක ජනතා ගැටලු සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කළ බවක් පෙන්නුම් කරන බවද මන්ත්‍රිවරයා ‘මව්බිමට’ කීය.

එමෙන්ම වත්මන් පාලනයෙන් අවුරුදු දෙකකට වැඩි කලක් ගතවී තිබෙද්දී එහි අරාජික භාවය හා අසාර්ථක භාවය පිළිබඳව නිහතමානීව ආපසු හැරී බලනවා වෙනුවට “මම තමයි හොඳටම කළේ” කියන පුරාජේරුව තුළ ඔහු ජීවත් වන බව පෙන්නුම් කරන්නේ යැයි ද දිසානායක මහතා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව වසා දැමුවේ ඇයි යන්නට පිළිතුරු සපයනවා වෙනුවට රට හා ජනතාව මුහුණ දී තිබෙන අර්බුද හා ඒවා තම පාලන කාලය තුළ තීව්‍ර වූ අයුරු ගැන ආපසු හැරී බැලීමක් කරනවා වෙනුවට, පහුගිය කාලය පුරාම තැන තැන නන්දොඩවමින් කළ අඳෝනාවක් පමණක් ඊයේ පාර්ලිමේන්තුවේදී අසන්නට ලැබුණු බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

-අනුරාධා හේරත් (මව්බිම)

PB යයි - ගාමිණී එයි !

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධුරයේ ගාමිණී සේදර සෙනරත් අද (19) පෙරවරුවේ වැඩ භාර ගත්තේය.

ගාමිණී සෙනරත් මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම්ධුරය දරනු ලැබුවේය.

ඔහුගෙන් පුරප්පාඩුවන අග්‍රාමාත්‍ය ලේකම්ධුරයට වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක පත්කිරීමට නියමිත අතර ඔහු හෙට (ජනවාරි 20) දිනයේ නව ධුරයේ වැඩ භාර ගනු ඇත.

ගාමිණී සේදර සෙනරත් කියන්නේ කවුද?

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිධුරය දැරූ සමයේ ඔහුගේ කාර්යයාලයේ සිට ආර්ථික උපායමාර්ගික කරුණු සියල්ල පාලනය කළේ ගාමිණී සේදර සෙනරත් ය.

ඔහු හිටපු ජනාධිපතිවරයාගේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්යයමණ්ඩල ප්‍රධානියා මෙන්ම මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සහ ලිට්‍රෝ ගෑස් යන ආයතනවල සභාපතිවරයා ද විය.

එම කාලසීමාව තුළ රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම පාහේ ඔහුගේ පාලනයට නතුව තිබුණි.

2015 ආණ්ඩු පෙරළියත් සමග ඔහුට චෝදනා රැසක් එල්ලවූ අතර බොහෝ සිවිල් සංවිධාන සහ දූෂණ විරෝධී ක්‍රියාකාරීහු ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට පැමිණිලි කළහ.

ඔහුට එල්ල වූ චෝදනා මොනවා ද?

ගාමිණී සෙනරත්ට එරෙහිව එල්ලවූ ප්‍රධාන චෝදනාවක් වූයේ රාජ්‍ය මුදල් අවභාවිතය යි.

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඔහු ඇතුළු දෙදෙනෙකුට එරෙහිව චෝදනා එල්ලවිය.

කෙසේ වෙතත්, පසුව විශේෂ මහාධිකරණය විසින් ගාමිණී සෙනරත් නිදොස්කොට නිදහස් කරන ලදී.

යළි අගමැති ලේකම් ධුරයට පත්වෙයි

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ගාමිණි සේදර සෙනරත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 21 ජනපති ධූරයට පත්වීමෙන් පසු පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස පත් කෙරිණි. 2020 අගෝස්තු පැවති මහමැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු ඔහු නැවතත් අග්‍රාමාත්‍ය ලේකම්ධුරයට පත්විය.

ගාමිණී සෙනරත් 1984 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය.

කොළඹ විශ්වවිද්‍යාලයයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් ඩිප්ලෝමාව හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක් හදාරා තිබේ.

  • 1984 - 1985 කාලය තුළ පදවි ශ්‍රී පුර සහකාර ප්‍රාදේශීය ලේකම්
  • 1985 - 2002 ආගමන විගමන දෙපර්තමේන්තුවේ සහකාර පාලක, ජ්‍යෙෂ්ඨ සහකාර පාලක, නියෝජ්‍ය පාලක
  • 2002 - 2003 ප්‍රවාහන , මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සිවිල් ගුවන් සේවා)
  • 2004 - 2005 අග්‍රමාත්‍ය අතිරේක ලේකම්
  • 2005 - 2015 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති අතිරේක ලේකම්
    මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ඔහු ජනාධිපති කාර්යයමණ්ඩල ප්‍රධානී ධුරයට අමතරව, රාජ්‍ය ව්‍යවසායන් රැසක සභාපතීත්තවය දැරුවේය.
  • සීමාසහිත ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති
  • සීමාසහිත ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පෞද්) සමාගමේ සභාපති
  • සීමාසහිත කැන්විල් හෝල්ඩිංස් (පෞද්) සමාගම් සමූහයේ සභාපති
  • මහජන බැංකුව
  • ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
  • පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති
  • හෙලංකා හොටෙල් සහ ස්පා සමාගම
  • සිනොලන්කා හොටෙල් සහ ස්පා සමාගම
  • කැනොවින් හොටෙල් සහ ස්පා සමාගම

ඉල්ලා අස්වූ පී.බී.

ජනාධිපති ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වූ වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පුංචි බණ්ඩා ජයසුන්දර(පී. බී. ජයසුන්දර) මහ බැංකුකරුවෙකු සහ ජ්‍යේෂ්ඨ රාජ්‍ය සේවකයෙකු ලෙස වසර 40කට අධික කාලයක් විවිධ අත්දැකීම් ලබා ඇති අයෙකි.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ප්‍රතිපත්ති සංවර්ධන සහ සැලසුම්, සංවර්ධන සහාය සහ ව්‍යාපෘති මූල්‍ය සාකච්ඡා යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින්, 1999-2014 කාලය තුළ ඔහු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාරයේ ලේකම් ලෙස කටයුතු කළේ ය.

ආචාර්ය ජයසුන්දර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස (1997-2002) ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, වැවිලි, ඛනිජ තෙල් සහ ගෑස්, රක්ෂණ සහ නිෂ්පාදන ව්‍යවසායන් කිහිපයක්ම පුද්ගලීකරණය කිරීමට නායකත්වය දුන්නේ ය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකු වන පී. බී. ජයසුන්දර 1973 දී ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා, 1980 දී විලියම්ස් විද්‍යාලයයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, 1984 දී බොස්ටන් විශ්වවිද්‍යාලයයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගත්තේ ය.

ඔහු 1974 දී ශ්‍රී ලංකා මහ බැංකුවට ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සම්බන්ධ වූ අතර, පසුව එක්සත් ජනපදයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබීමෙන් පසු 1980 දශකයේ දී ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස උසස් කරන ලදී.

ආර්ථික ඝාතකයෙක්...?

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටම රටේ ආර්ථික ප්‍රතිපත්ති සැකසීමට මුල්වූ ආචාර්ය පී. බී. ජයසුන්දරගේ ක්‍රියාකලාපය විටින් විට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ගේ විවේචනයට ලක්විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය දැරූ කාලසීමාව තුළ අමාත්‍ය විමල් වීරවංශ වරක් පී. බී. ජයසුන්දර හඳුන්වාදෙනු ලැබූයේ "ආර්ථික ඝාතකයෙකු" ලෙස ය.

මහින්ද රාජපක්ෂ රජය පිරිහීමට ප්‍රධාන හේතුව ලෙස ද විමල් වීරවංශ විසින් එවකට පී. බී. ජයසුන්දරට එරෙහිව ප්‍රසිද්ධියේම චෝදනා එල්ල කරනු ලැබීය.

ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් නඩුව: රාජ්‍ය ආයතනයක තනතුරක් දැරීමට නුසුදුස්සෙකු වෙයි.

ලාභ ලබන, ණය බරින් තොර වූ, බදුගෙවන සමාගමක් වූ, සම්පූර්ණයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්ව තිබූ සමාගමක් වන ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් (LMSL)හි කොටස් 2002 වසරේදී ජොන් කීල්ස් හෝල්ඩින් සමාගමට විකිණිමේ ක්‍රියාව, අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව විනිවිද භාවයකින් තොරව, ජෝන් කීල්ස් සමාගමට පක්ෂපාතීව සිදුකළ බව ආචාර්ය පී.බී ජයසුන්දරට චෝදනා එල්ල විය.

ඒ, වත්මන් අමාත්‍ය වාසුදේව නානායක්කාර එවකට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හෙවත් පර්ක් ආයතනයේ සභාපති වශයෙන් එවකට කටයුතු කරමින් සිටියේ පී.බී ජයසුන්දරයි.

නඩුවේ 08 වැනි විත්තිකාර පී.බී ජයසුන්දර අදාළ ගනුදෙනුවේදී මහජන යහපතට පටහැනිව ක්‍රියාකරමින් නීතිවිරෝධීව ජෝන් කීල්ස් හොල්ඩින් සමාගමට වාසි ලබා දීම සඳහා දුස්සන්ධාන ගතවූ බවට තහවුරු වීම හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 5ක වන්ධියක් ගෙවීමටද අධිකරණය ඔහුට නියෝග කළේය.

2008 ජූලි මාසයේදී හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් ලබා දුන් ලංකා මැරයින් සර්විසස් ලිමිටඩ් තීන්දුවේ දී, ආචාර්ය ජයසුන්දර ඔහුගේ අධිකාරියට ඉහළින් ක්‍රියා කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවත්, රාජ්‍ය නිලතල දැරීමෙන් නුසුදුස්සෙකු වූ බවටත් නිගමනය කරන ලදි.

අනතුරුව පී.බී ජයසුන්දර භාණ්ඩාගාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු අධිකරණයෙන් සමාව ද ඉල්ලා 2008 ඔක්තෝම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයකින් දක්වා තිබුනේ ඉදිරියේදී රාජ්‍ය අයතනයක තනතුරක් නොදරන බවටයි.

ඉන් වසරකට ආසන්නව තිබියදී යළි භාණ්ඩාගාර ලේකම් ධුරයේ කටයුතු කිරීමට තමාට අවසර දෙන ලෙස ආචාර්ය ජයසුන්දර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2009 වසරේ සැප්තැම්බර් මාසයේදී ආචාර්ය පී.බී ජයසුන්දරට 7 දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 6-1 ක තීන්දුවක් මගින් රාජ්‍ය සේවයේ පත්වීමක් භාර නොගැනීමේ තමාගේම පොරොන්දුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දීමෙන් පසු ජයසුන්දර නැවත රාජ්‍ය සේවයට එක්විය.

තමා රාජ්‍ය සේවයේ නොයෙදෙන බවට මීට පෙර ගොනු කර තිබූ දිවුරුම් ප්‍රකාශයක් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ආචාර්ය පී.බී ජයසුන්දර ඉල්ලා තිබිණි.

ලංකා මැරිටයිම් සර්විසස් ලිමිටඩ් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ලේ සිටි විනිසුරු ශිරාණි තිලකවර්ධන පමණක් ඊට විරුද්ධ විය.

එවකට අගවිනිසුරු අශෝක ද සිල්වා සහ ශිරාණි ඒ බණ්ඩාරනායක, සලීම් මර්සූෆ්, ජගත් බාලපටබැඳි, කේ.ශ්‍රීපවන් සහ පී.ඒ.රත්නායක යන විනිසුරුවරුන් තීන්දුව අනුමත කළහ.

ආණ්ඩු තුනක තනතුරු දැරූ ප්‍රබල පුද්ගලයකු වූ හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා 'ජාතික අභිලාෂය' මත යළි එම තනතුරට පත් කිරීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂට අවශ්‍ය බැවින් දිවුරුම් ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ජාතියේ අවශ්‍යතා වෙනුවෙන් තමාගේ සේවය අවශ්‍ය බැවින් භාණ්ඩාගාර ලේකම් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් යන තනතුරු තමා භාර ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය බව ඔහු එහිදී අධිකරණයට දන්වා සිටින ලදි.

BBC

 

කොරෝනා මරණ 15,243ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 12ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,243ක් දක්වා ඉහළගොස් ඇත.

සපුගස්කන්ද - කැළණිතිස්ස වැඩ නෑ : ලොකුගේ ලොකු බූට් එකක් කාලා !

ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවීමත් සමග විදුලිබල අමාත්‍යංශය IOC සමාගමෙන් ඉන්ධන ලබගැනීමට දැරූ උත්සාහය එම සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

මේ බව lanka truth වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

විදුලිබල අමාත්‍යංශයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් IOC සමාගම සඳහන් කර ඇත්තේ ඉන්ධන මිල දී ගැනීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදෙන විනිමය අර්බුදයට තමන් ද මුහුණ දෙන බවත් ණයවර ලිපි විවෘත කිරිමේ අපහසුතාවන් තෙල් මිලදී ගැනීමට බාධාවක් වී ඇති බවයි. එසේම මේ මොහොතේ සිය ප‍්‍රමුඛතාවය වී ඇත්තේ තම බෙදුම්කරුවන්ගේ පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීම බවයි.

විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මීට පෙර මාධ්‍ය වෙත පවසා සිටියේ IOC සමාගම සමග සාකාච්ඡා කර ජනවාරි 22වැනි දින දක්වා විදුලිබල මණ්ඩලයේ බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට කටයුතු කරන බවයි.

මේ වනවිට කොළඹ වරායේ ඇති ඉන්ධන නැවකින් ඉන්ධන නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සාකච්ඡා වෙමින් ඇති බවත් එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත.

එසේම ඉන්ධන අර්බුදය හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියා විරහිත තිබේ.

සපුගස්කන්ද සහ කැළණි තිස්ස වැඩ නවතියි !

මේ අතර විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද සහ කැළණිතිස්ස යන බලාගාර දෙකෙහි විදුලිය ජනනය කිරීම ඊයේ (18) පස්වරුවේ සිට නතර වී ඇති බව වාර්තා වේ.

මෙම බලාගාර දෙක මගින් මෙරට විදුලිබල පද්ධතියට මෙගාවොට් සියයකට වැඩි ධාරිතාවක් එක්කරනු ලබන බව පැවසේ. බලාගාර දෙක අක්‍රීය වීමත් සමඟ දෛනික විදුලි සැපයුම් සැපිරීමේ ගැටලුවක් මතුව ඇති බවත් එම නිසා වරින් වර ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් විදුලිබල ආරංචි මාර්ග පවසයි.

සපුගස්කන්ද බලාගාරය දැවි තෙල් භාවිතයෙන් සහ කැළණිතිස්ස බලාගාරය ඩීසල් භාවිතයෙන් විදුලිය ජනනය කරනු ලබන අතර විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් තොග ලබා දීම සඳහා තෙල් සංස්ථාව එකඟතාවය පළ කර ඇති අතර ඒවා ලැබුණු වහාම මෙම බලාගාර යළි පණ ගැන්වීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව පැවසේ.

(මූලාශ්‍රය lanka truth )

මසා 05 කට : ලංකාවට චීන හාල් කැවෙයි !

එක කන්නයෙන් කෘෂිකර්මාන්තය කාබනික කිරීම හේතුවෙන් මෙරට වී ගොවිතැනට දෙවියන් ගේ හාල් කැවුණු බවට ගොවීන් මැසිවිලි නගන විට මාස 05 ක් පුරාවට චීනයෙන් හාල් කැවීමේ පුවතක් වාර්තා වෙයි.

 ඒ චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබම නිසාය.

කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඊයේ (18) ප්‍රකාශ කර තිබේ. ඒ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද තහවුරු කර ඇති බවත් වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට , චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන නිසා මෙම තොගය නොමිලේ ලබා දෙන ලෙස බෙදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අනුව මෙම ප‍්‍රධානය හිමිවෙයි.

ශ‍්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා රටටම ප්‍රමාණවත් බව ආණ්ඩු හිතවාදීන් පවසයි.

මේ වන විට දේශීය සහල් කිලෝවක් රුපියල් 180 .00 කට ආසන්නව පවතී. ආණ්ඩුව ආනයනික සහල් හරහා මිල ඉහළ යාම පාලනය කරන්න උත්සාහ කරන අතර මෙම චීන සහල් හරහා මාස කිහිපයක් දේශීය වෙළඳ පොළ තුළ සහල් මිල පාලනය වනු ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඔවුන් පවසන්නේ මෙය ආණ්ඩුව ලබන ජයග්‍රහණයක් ලෙසයි.

පැය දෙකේ ලිත්‍රෝ සභාපති රේණුක : මිල්කෝ සභාපති ධූරයට !

පැය දෙකකට ආසන්න කාලයක් සඳහා පමණක් ලිත්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්ව ජනාධිපති නියමයෙන් ධූරය අහිමි වූ පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මිල්කෝ ආයතනයේ සභාපති ලෙස පත්කර ඇත.

ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලීඩ් නිව්ස් වෙබ් අඩවිය මේ පුවත වාර්තා කරන අතර මේ වන විටත් අදාළ ලිපිය නිකුත් කර ඇති අතර රේණුක පෙරේරා අදාළ සභාපති ධූරය භාරගැනීම සඳහා මෙතෙක් තීන්දුවක් ගෙන නැති බවත් එම පුවතේ සඳහන් වෙයි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

කෙසේ වුව ද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් රේණුක පෙරේරා මිල්කො සභාපති ධූරයට පත්කර ගැනීමට දැඩි උත්සාහක නිරත වන බව වාර්තා වෙයි.

රේණුක පෙරේරා මෑතකදී පැය කිහිපයකට ලිට්‍රො සමාගමේ සභාපති ධූරය සඳහා පත් වූ අතර පසුව ඒය අවලංගු විය.

SLT / MOBITEL ලොක්කො පුටු රැක ගැනීමේ මෙහෙයුමක 

එළ‌ඹෙන 2022 වර්ෂයේ දී වයස අවුරුදු 55න් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ සුදුසුකම් සපුරන SLT/MOBITEL ආයතන ජාලයේ ඉහල පුටු හොබවන්නනන් කිහිප දෙනෙක්ම තවත් වසරක හෝ වසර කිහිපයක සේවා දිගු කාලයක් ලබා ගැනීමේ තරගයට අවතීර්ණ වී ඇති බැව් ශ්‍රී ලංකා ටෙලිකොම් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මොවුන් මුලින්ම පසුගිය වසරේ රජය විසින් ප්‍රකාශිත රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම කාලය 65 දක්වා දීර්ඝ කිරීමේ කැබිනට් පත්‍රිකාවේ නිර්දේශ හුවාදක්වමින් තම සේවා දිගුව ලබා ගැනීමේ උත්සහයක නිරත වූවද අධ්‍යක්ෂ මණ්ඩලය දූරදර්ශි තීරණයක් නිසා එම උත්සහය වැළකී ගොස් තිබුණි.

එම උත්සහය ව්‍යවර්ත වීමෙන් අනතුරුව මොවුන් වෙන වෙන අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් වෙත දේශපාලනික බලපෑම් කරන්නද පඩුරු පාක්කුඩම් සහිතව ඔවුන්ගේ නිවෙස් කරා යමින්ද තම සේවා දිගුව ලබා ගැනීමේ අඛණ්ඩ උත්සහායක නියැලෙන බැව් වාර්තා වී තිබේ.

 වරප්‍රසාද සහිත උපදේශක තනතුරු :

 තවද තම සේවා දිගුවන් ලබාගැනීමට නොහැකි නම් එම ආයතන වලට අදාලව විවිධ වරප්‍රසාද සහිත උපදේශක තනතුරු ලබා ගැනීමටද සමහරුන් උත්සහ දරමින් සිටී.

 SLT/MOBITEL ආයතන වල පැරණි සම්ප්‍රදායක් බදු මෙම උපදේශක තනතුරු හෝ සේවා දිගු අති අසාර්ථක ක්‍රියාදාමයක් බවත් එයින් ආයතනයේ තරුණ හැකියාවන් නිසි කලදි නිසි ප්‍රයෝජනයට නොගෙන අපතේ යැවෙන බවත් SLT/MOBITEL වෘත්තිය සමිතිය පවසති.

මෙසේ කෙටි කලකට සේවා දිගු හෝ උපදේශක තනතුරු ලබා ගන්නනන්ගේ එකම අරමුණ ඔවුන්ගේ වරප්‍රසාද මුවාවෙන් විවිධ ව්‍යාපෘති සදහා තැරැව්කරුවන්ට ලබාදෙන උදව් හෝ අභ්‍යන්තර තොරතුරු මාර්ගයෙන් මුදල් ඉපයීම බැව් වෘත්තිය සමිති ක්‍රියාකාරීන් අප හා පැවසුහ.

නමුදු ඉදිරි දැක්මක් ඇති නව සභාපතිවරයා මෙම සම්ප්‍රදායික උගුලට හසු නොවී නව තරුණ ජවයට එම අවස්ථාවන් ලබා දී ආයතනයේ ප්‍රගතියට මාවත විවිර කරනු ඇති බැව් ඔවුන්ගේ විශ්වාසයයි.

 PEO TV මුල් පිටුව තරගයට

 මේ අතර ලංකාවේ එකම IP TV රූපවාහිනී විකාශන ජාලය වන PEO TV ආයතනයේ ප්‍රධාන විධායක පුටුවද මේ වසරේ හිස් වීමට නියමිත වී තිබුණද වත්මන් ප්‍රධාන විධායක නිලධාරියාද තම සේවා දිගුව හෝ උපදේශක තනතුරක් ලබා ගැනීමේ තරගයට එක් වී ඇති බැව් Vision com ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නට යෙදිණි.

කොපර් (Copper) හා ෆයිබර් (Fibre) ජාල මගින් ස්ථායි රූපවාහිනි සේවයක් ලබා දීමේ හැකියාව සහිත එකම IP TV ජාලය තමන් සතුව තිබියදීත් පසුගිය අවුරුදු තුන පුරාවට ම සක්‍රීය ග්‍රාහකයන්ගේ කිසිම වර්ධනයක් පෙන්වීමට අසමත් වීම ඔහුගේ පාලනයේ අසාර්ථක බවට සාක්ෂි බැව් ඔවුන් පවසන්නට යෙදිණි.

මේ කාලය තුළ PEO TV සේවාවේ ප්‍රධාන තරගකරු වූ Diolog Tv මගින් සිය ග්‍රාහක සම්බන්ධතාවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්වා දී තිබිණි. ග්‍රාහක වර්ධනයක් සිදු නොවුනද IP TV සම්බන්ධතාව ලබා දීමට මිලදී ගත යුතු STB උපාංග පසුගිය වසර කිහිපය මුළුල්ලේම මිලදී ගෙන ඇති අතර එයින් දැනට ක්‍රියාකාරි මට්ටමේ පවතින STB ප්‍රමාණය හැරුණු කොට තවත් STB තවත් උපාංග අවම 250,000 ක් පමණ මේ වන විට අස්ථානගත වී ඇති බවත් එමගින් PEO TV ආයතනයට අවම ඩොලර් මිලියන අටකට අධික අලාභයක් සිදු වී ඇති බැව් PEO TV අභ්‍යන්තර ආරංචි මාර්ග විසින් සදහන් කරයි.

 IP TV විකාශන පද්ධතියක් මිලදී ගැනීමට හදිසි ටෙන්ඩර් :

 මේ අතර සක්‍රියව පවතින IP TV විකාශන පද්ධතියක් පවතිද්දී සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යවමින් තවත් IP TV විකාශන පද්ධතියක් මිලදී ගැනීම සදහා හදිස්සියේ ටෙන්ඩර් කැදවා තම විශ්‍රාම දිනයට කලින් තාක්ෂණික ඇගයීම් ලහි ලහියේ නිම කිරීමේ උත්සායහක්ද මේ අතර PIOTV ආයතනය තුලින් වාර්තා වෙයි.

රට ඉතා උග්‍ර ඩොලර් හිගයක පවතින මොහොතක තවත් IP TV විකාශන පද්ධතියක් ඩොලර් මිලියන ගණනක් වැයකර විදේශ සමාගමකින් ගැනීමට සැරසීම හා එය ඉටුකර ගත නොහැකි වුවහොත් සේවා දිගුවකට හෝ ඒ සඳහා තම අනුගාමිකයින් මෙහෙයවමින් බලපෑම් කළ හැකි උපදේශක තනතුරකට අර ඇදීම් පිටුපස තවත් ටෙන්ඩර් මගඩියක සෙවණැළි වැටී ඇති බැව් SLT mobitel වෘත්තීය සමිති සඳහන් කරන්නට යෙදුනි.

මීට අමතරව තව ඩොලර් මිලියන ගණනක ටෙන්ඩර් සාර්ථක කරගත හොත් තවත් ලක්ෂ 5කට අධික පියෝ ටීවී ග්‍රාහකයින් නව අයි පී ටීවී විකාශන පද්ධතියට සංක්‍රමණය කරවීමට අවශ්‍ය නව STB උපාංග සඳහා අනාගතයේ STL mobitel ආයතනයට අවම ඩොලර් මිලියන විස්සකට අධික අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවනු ඇති අතර ටෙන්ඩර් අනුමැතියෙදී එම අනාගත විශාල පිරිවැය පිළිබඳ සභාපතිවරයා හෝ අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස නිසි ලෙස දැනුවත් කර ඇතිද යන්න සැක සහිත බැව් ඔවුන් පවසති.

 London හි සමාගමක් සමග නැවත නඩු මගට:

මීට වසර කිහිපයකට පෙර ද SLT ආයතනය සඳහා IPTV සේවා මුලින්ම සැපයූ දේශීය සමාගමක් සමග නඩු මගට යාමෙන් ආයතනයට doller මිලියන 4කට අධික මුදලක් වන්දි වශයෙන් ගෙවීමට සිදු වූ අතර මෙවරද මෙම ටෙන්ඩරය සාර්ථක කර ගැනීම සඳහා වත්මන් සේවා සපයන London හි සමාගමක් සමග නැවත නඩු මගට යාමේ උත්සාහයක් ඇති බව ද වාර්තා වේ.

මේ වන විටත් ජනාධිපති නීතිඥවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ කිහිප දෙනෙකුගේ නිවෙස් වලට පවා යමින් තම සේවා දිගුව සඳහා උත්සාහ දරණ මොහු අසාර්ථක වුවහොත් PEOTV මගින් විවිධ පහසුකම් නොමිලේම ලබා දී ඇති ලංකාවේ ප්‍රධාන බෞද්ධ නාලිකාවක ප්‍රධාන විධයාක ධූරය තමන්ට ලබා ගැනිමට එම නාලිකාව සමග සාකචඡා වට කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

දැනට අවුරුදු තුනක් මුළුල්ලේ ඉතා මන්දගාමීව සිදු වන අලෙවි ප්‍රවර්ධනය සාර්ථක කර SL/MOBITEL ආයතනය පමණක්ම සතු Finre හා Copper ස්ථායි සන්නිවේදන ජාලය මගින් PEOTV ආයතනය ලංකාවේ අංක එකේ රූපවාහිනී විකාශන ජාලය බවට පත් කිරීමට නම් තාක්ෂණිාක නිලධාරීන් නොව ප්‍රාදේශීය ආලෙවි කළමණාකරණය පිළිබඳ මනා වැටහීමක්, අත්දැකීමක් ඇති තරුණ ජවයක් මේ මුල් පුටුවට යෙදවිය යුතු බැව් SLT/MOMITEL වෘත්තීය සමිති හා PEO TV විසින් සභාපතිවරයාට පෙන්වාදී ඇත.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

Page 379 of 463