V2025

පුවත්

පොහොර හිඟය : එප්පාවල නිෂ්පාදන කඩිනම් කරන්න තීන්දුවක් !

එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ත්‍රිත්ව සුපිරි පොහොර හා තනි සුපිරි පොහොර (TSP හා SSP) නිෂ්පාදනය කඩිනම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත .

වාර්තා වන ආකාරයට ඊයේ (17) එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව ඇත.

එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව වී හා අනිකුත් වගාවන් සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදනය ඉක්මනින්ම ආරම්භ කිරීම ඊට අනුව සිදුවනු ඇත .

පොස්පේට් නිධිය ආශ්‍රිතව මෙට්‍රික් ටොන් මිලියන 60ක පමණ පොස්පේට් පවතින පසුබිමක වාර්ෂිකව ත්‍රිත්ව සුපිරි පොහොර ආනයනය සඳහා රුපියල් බිලියන 06ක පමණ මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි .

ධම්මිකගේ අමාත්‍යංශයේ ලේකම් මෙන්න!

බැසිල් රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීම සමග පත්වීමට යෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සහ ඔහුට ලැබීමට නියමිත බව සැලකෙන අමාත්‍යංශය සඳහා ලේකම්වරයකු නම් කර ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත .

ඒ අනුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා ද පත්කර ඇත.

මෙයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබ තිබේ .

එසේම කාන්තා ළමා හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එන් බී හඳුන්හින්න ද අදාළ ගැසට් නිවේදනය විසින් නම් කර ඇත .

 

අරගලකරුවන් 09ක් අත්අඩංගුවට ගන්න : අධිකරණ නියෝගයක් !

සාමකාමී ගෝල්ෆේස් අරගල බිමට සහ මයිනා ගෝ ගමට එරෙහිව දියත් වූ පොදුජන පෙරමුණේ මිලේච්ජ ප්‍රහාරයට මාසයක් ගෙවුණු දිනයේ එනම්, පසුගිය ජූනි 9 වන දා කොළඹ පැවැති විරෝධතාවයන්ට සහ ඊට පසුදා එනම් ජූනි 10 වන දා පැවැති විරෝධතාවයන්ට සම්බන්ධ වූ අරගලකරුවන් 09 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අත් අඩංගුවට ගන්නා ලෙස නම් කළ සැකකරුවන් 09 දෙනා පහත දැක්වෙයි .

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ.

ළහිරු වීරසේකර.

රතිදු සේනාරත්න – රැට්ටා.

ජගත් මනුවර්ණ.

ධම්මික මුණසිංහ.

රත්කරව්වේ ජිනරතන හිමි.

එරංග ගුණසේකර.

ජෙහාන් අප්පුහාමි.

ගල්වැව සිරිධම්ම හිමි .

කුරුණෑගල පොලිසියේ පිස්තෝල කෙළියට : ජනතා විරෝධය ! (Video )

ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කරමින් පෝලිමේ සිටි මාස්පොත ජනතාවට අමානුෂික අන්දමින් කළ පොලිස් පහරදීමට එරෙහිව කුරුණෑගල පොලිසිට ඉදිරිපිට ඊයේ (17) විරෝධතාවක් පැවැත්විණ.

ඊයේ දිනයේදී එක්තරා පොලිස් නිලධාරියකු පිස්තෝලය පවා රැගෙන පුද්ගලයකුට පහර දුන් ආකාරයක් දැකගන්නට ලැබිණ.

එසේම ඉන්ධන පෝලිමේ සිටි කිහිපදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගන්නා ආකාරයත් ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් වාර්තා කර තිබිණ .

එසේම සමාජ මාධ්‍ය තුළත් පොලිසියේ හැසිරීම බරපතළ ලෙස විවේචනය වනු දකින්නට ලැබිණ .

ජනාධිපති යන්න ඕන : අගමැති කරන්න ඕන දේ : චම්පික පහදයි !

"ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම යා යුතුයි. අගමැතිතුමාගේ වගකීම තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවලා විධිමත් සැලසුමකට අනුව යන එක හා මේ තත්ත්වය පිළිබඳ ජනතාවට කරුණු පැහැදිලි කරලා දී විකල්ප ක්‍රියාමාර්ග වලට අපේ ජනතාව සාමූහිකව මෙහෙයවන එක. ඒකට දේශපාලකයාගේ ආදර්ශය ඉතාම අවශ්‍යයි." යැයි 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

වැඩපිළිවෙලක් නොමැතිව රට ගමන් කරන තත්ත්වය වහාම වෙනස් කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා විධිමත් සැලසුමකට අනුව ජනතාවට කරුණු පැහැදිලි කර දී විකල්ප ක්‍රියාමාර්ගවලට ජනතාව සාමූහිකව මෙහෙයවීම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා දේශපාලකයාගේ ආදර්ශය ඉතාම අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

"ඉන්ධන අර්බුදය ඉතාම උග්‍රයි. ඉන්ධන නැහැ. කෙටි කාලීනව, එතනින් මෙතනින් ඩොලර් මිලියන පන්සීයක, දෙසීයක තෙල් අරගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. රටේ ලියාපදිංචි වාහන පනස් හතර ලක්ෂයක් තිබෙනවා. මේවායින් අත්‍යවශ්‍ය සේවා ඉටුකරන වාහන තියෙනවා. ගොවිබිමේ ට්‍රැක්ටරයට ඉන්ධන නැහැ. සමහර ප්‍රදේශවල ගොයම් කපනවා, ඉන්ධන නැහැ. එළවළු ටික ගෙනියන්න ලොරියට ඩීසල් නෑ. පොල් ටික ගෙනියන්න, ඩීසල් ටික නෑ. වී ටික ගෙනියන්න ක්‍රමයක් නෑ. ධීවරයාට මාළු ටික අල්ලන්න ඩීසල් නෑ. නිෂ්පාදනයට අතිශයින්ම බලපාන ආහාර නිෂ්පාදනයට අතිශයින්ම බලපාන ක්ෂේත්‍ර අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් කර්මාන්ත, රටට අත්‍යවශ්‍යම ඩොලර් උපයන කර්මාන්ත පවා ඉන්ධන අර්බුදය නිසා ඇණ හිටලා තියෙනවා.

හැමෝම සැනසවන එක වෙනුවට අත්‍යවශ්‍ය තත්ත්වයන් පවත්වාගෙන යමින් ජනතාවට ඇත්ත කියලා ඉදිරියට යන එක තමයි ආණ්ඩුවට තියෙන හොඳම විකල්පය. නැත්නම් රට ආර්ථික අතින් මහා අසහනකාරී තත්වයකට ඇවිල්ලා සමාජමය වශයෙනුත් විශාල පිපිරීමකට ලක්වෙන්න පුළුවන් මේ ඉදිරි දින නැත්නම් සති කිහිපය ඇතුලේ.

ඒකට වැඩපිළිවෙලක්, වැඩසටහනක් හදාගෙන කරන්න ඕන. මේක සර්ව පාක්ෂිකව කරන්න ඕන. ජනාධිපතිතුමා බලයේ එල්ලී ඉඳින්න දරන උත්සාහය රාජපක්ෂවරු තිරෙන් පිටිපස්සේ ඉඳන් ආණ්ඩුව මෙහෙයවන්න දරන උත්සාහය, ඒ වගේම වැඩපිළිවෙලක්, වැඩසටහනක් නොමැතිව යන මේ තත්ත්වය වහාම වෙනස් කරගත යුතුයි. නැත්නම් මහා ඛේදවාචකයකින් මේ රටේ ඊළඟ දින, සති කිහිපයේ, තීරණය වෙන්න පුළුවන්. අදටත් රටෙන් බාගයක් වැඩ නැහැ. රටෙන් බාගයක් නතර වෙනවා. මේ රට සම්පූර්ණයෙන්ම නතර වෙන්නත් ඉඩ තියෙනවා මේ විදියට අපි මේක පාලනයකින් තොරව ගෙනියද්දි. "

 

ඉන්ධන හිඟය : කොළඹ නගර සීමාවේ පාසල් වහයි !

කොළඹ නගර සීමාව තුළ පිහිටි රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් එළඹෙන සතිය තුල වසා දැමීමට තීරණය කර තිබේ.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇති වී තිබෙන ප්‍රවාහන අසීරුතා මත මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

ප‍්‍රවාහන ගැටළු නැති සියලුම ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බවද ඔහු පැවසීය.

එමෙන්ම නාගරික තදාසන්න පාසල් ද එම සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමටද තීරණය කර තිබේ.

කිසිවෙක් කුසගින්නේ තැබීම මගේ ප්‍රතිපත්තිය නෙවෙයි - අගමැති රනිල්

ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

අද (17) ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි.

මෙහිදි විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් අගමැතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල , ආචාර්ය හර්ෂද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතන වල නියෝජිතයින් ඊට එක් කරන ලෙසත් අගමැතිවරයා දන්වා සිටියේය. මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02 ක් තුළ තමාට අවශ්‍ය බවත්, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පෞද්ගලික අංශයටත් බෙදා භාර දිය යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. මේ සඳහා උපාධිධාරී පත්වීම් ලැබ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින උපාධිධාරීන් ද එක් කර ගැනීමට යෝජනා විය.
ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන, ගෑස් සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය දෙන ලෙස අගමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ආහාර සුරක්ෂිතතාවය යන කාරණයේදී විශේෂයෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයින් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද අවධාරණය කෙරිණි.

එමෙන්ම, කලාපීය වශයෙන් තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයක් සඳහා මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලස්මක අවශ්‍යතාවය අවධාරණය කළ අගමැතිවරයා එය කඩිනමින් සකස් කළ යුතු බවට පවසා සිටියේ ය

මෙම සාකච්ඡාව සඳහා මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු , රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සමඟ හිටපු අමාත්‍ය සාගල රත්නායක, තිස්ස අත්තනායක, පාඨලී චම්පික,මනෝ ගනේෂන්, දිගම්බරන්, රිෂාඩ් බදුර්දීන් යන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නවීන් දිසානායක, සමන් රත්නප්‍රිය යන හිටපු මන්ත්‍රීවරුන් සහ සෙන්දිල් තොන්ඩමන්  ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහභාගි විය.

IMG 20220617 WA0004

ජනතාවගේ පෝෂණය ගැන: දීප ව්‍යාප්ත සමීක්ෂණයක් !

රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කළ බව බොරැල්ල වෛද්‍ය පර්‍යේෂණ ආයතනය පවසයි .

ඒඅනුව දීපව්‍යාප්තව මෙම සමීක්ෂණය සිදුකරන බව බොරැල්ල වෛද්‍ය පර්‍යේෂණ ආයතනයේ පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කරයි.

මෙරට ආර්ථික අර්බුදයත් සමග හටගත් ආහාර අර්බුදය හේතුවෙන් ජනාතවගේ පෝෂණ තත්ත්වයේ පහළ යාම පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීම මෙහි අරමුණ බව ඇය ප්‍රකාශ කර ඇත .

පසුගිය දෙසැම්බර් මාසයේ කළ සමීක්ෂණයකදී මෙරට ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ පෝෂණ මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් ඇති බව හෙළිදරව් වූ බවත් වාර්තා වෙයි .

 

රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම සීමා කිරීමේ චක්‍රලේඛයක්

ලබන සඳුදා (20) සිට සති 02ක් රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

42018b68 1

31c910ec 2

සිකුරාදා රජයේ කාර්යාල වහලා : චක්‍රලේඛය නිකුත්කරලා !

අද (17) සිට මාස 03ක කාලයක් සඳහා රජයේ කාර්යාල වැසීමට අදාළ චක්‍රලේඛයක් නිකුත්කර ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින්, සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේකය නිකුත්කර ඇත .

ඒ අනුව ඉන්ධන අර්බුදයත් සමග ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලු හේතුවෙන් සෑම සිකුරාදා දිනකම නිවසේ සිට කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට රාජ්‍ය සේවකයින්ට අවස්ථාව හිමිව තිබේ.

එහෙත්, අත්‍යවශ්‍ය සේවා සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකු විසින් සිකුරාදා විවෘතව තැබිය යුතු බවට තීරණය කළ ආයතනවලට එම චක්‍රලේඛය අදාළ නොවන බවත් වාර්තා වෙයි .

වසා තැබෙන කාලසීමාව තුළ නිලධාරීන් කැඳවීම ද සීමා කර පිරිවැය අඩුකරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්දී ඇති බවත් වාර්තා වෙයි .

සිකුරාදා වසා තබන කාර්යාලවල නිලධාරීන් එම දිනයේදී හෝ ඉන් පසු එළඹෙන සෙනසුරාදා හෝ ඉරිදා දිනවල අතිකාල පදනමින් හෝ නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් සේවයේ නොයෙදවිය යුතු බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන් ය.

ඊට අමතරව නිවසේ සිට රාජකාරී කිරීමට යොදවා ඇති නිලධාරීන් ද අතිකාල පදනමින් හෝ නිවාඩු දිනවල වැටුප් ගෙවීමේ පදනමින් සෙනසුරාදා, ඉරිදා හෝ නිවාඩු දිනවල සේවයේ නොයෙදිය යුතුය.

සතියේ වැඩ කරන දින පහ තුළට සිකුරාදා නොවන රජයේ නිවාඩු දිනයක් හෝ දින කිහිපයක් යෙදුණහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය වැඩ කරන දිනයක් සේ සළකා කාර්යාල විවෘත කළ යුතු ය.

නව චක්‍රලේඛයත් සමග රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සීමා කිරීම සම්බන්ධයෙන් මැයි 5 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කෙරෙනු ඇති.

මේ අතර අත්‍යවශ්‍ය , අවම සේවක පිරිසක් කැදවා අධිකරණ කටයුතු සතියේ දින පහ තුළ සාමාන්‍ය පරිදි සිදු කිරිමට අවශ්‍ය පියවර ගන්නැයි අධිකරණ සේවා කොමිසන් සභාව උපදෙස් දී තිබේ.

ඒ, සියලු මහාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ නිලධාරින්, කම්කරු විනිශ්චාධිකාර සභාපතිවරුන් සහ රෙජිස්ට්‍රාර් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරමින් ය.

- මූලාශ්‍රය news 1st

21 සංශෝධනය 20 කැබිනට් එකට : ජනාධිපති ඇතුළු සියලු දෙනා එකඟයි !

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති සංශෝධන ඇතුළත් කෙටුම්පත මේ වන විට සම්පූර්ණ බවත් ඊට අදාළ අවසන් සාකච්ඡාව ඊයේ (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවැත්වූ බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා ඇත .

ඒ අනුව එළැඹෙන සඳුදා ( 20) අදාළ කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත යොමුකර සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

අදාළ සාකච්ඡාව පක්ෂ නායකයන්, පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති සමග පවත්වා ඇති බවත් එහිදී ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු අවසන් කෙටුම්පත සඳහා ඇතුළත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත .

කෙසේ වුවත් අමාත්‍යවරයා පවසා ඇත්තේ අදාළ කෙටුම්පත තුළ ජනමතවිචාරණයක් වෙත යොමුවන කිසිවක් ඇතුළත් කර නොමැති බවයි. ඒ එවැනි කරුණු ඇතුළත් කළහොත් 21වන සංශෝධනය සම්මත කිරීම තවදුරටත් පමාවන නිසා බවත් අමාත්‍යවරයා පවසා ඇත .

කෙසේ වුවත් මේ වන විට 4 වතාවක් 21 වන ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත යොමුකර ඇති නමුත් ඒ කිසිම අවස්ථාවක ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූයේ නැත. ඒ ආණ්ඩුවේ පාර්ශ්ව ඊට අදාළ විවිධ සංශෝධන සහ තාක්ෂණික ගැටලු ඉදිරිපත් කිරීම නිසාය .

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ , එළැඹෙන සඳුදා 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිවනු ඇති බවත් , කඩිනමින් එය සම්මත කිරීමට හැකියාව ඇති බවය.

කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීති ලිහිල් කරන්න - ජනාධිපති

කර්මාන්ත සංවර්ධනයට බාධා වන නීතිරීති ලිහිල් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (16) අදාළ නිලධාරීන් ට උපදෙස් නිකුත්කර ඇති බව වාර්තා වෙයි .

ජනාධිපති මෙසේ උපදෙස් නිකුත්කර ඇත්තේ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවැත්වූ අවස්ථාවේදීය.

විදේශ විනිමය කඩිනමින් උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉඩප්‍රස්ථා පුළුල් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසූ බවත් වාර්තා වෙයි .

කර්මාන්ත සඳහා අනුමැතිය ලබා ලබාදෙන සියලුම ආයතන එකම මේසයක සිට ගැටළු විසඳීමට පියවර නොගතහොත් ආයෝජකයන් දිනාගත නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී වැඩිදුරටත් පැවසූ බවත් වාර්තා වෙයි .

ඇමති නොකියා ඇවිත් : වරායේ අරුම පුදුම කජු කෑමක් හෙළිවෙයි !

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් අඩක්ම පාහේ වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අනාවරණය කරගෙන ඇත.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදී බවත් වාර්තා වෙයි .

ඒ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙස අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට ඊයේ ( 16) උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි .

එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.

එසේම කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇති බවත් වාර්තා වෙයි .

කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවී ඇති බවත් දැනගන්නට ඇත .

එහෙත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයින් පවසා ඇති අතර එහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ , අදාළ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙසයි.

වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බවත් වෘත්තීය සමිති නියෝජිතය අමාත්‍යවරයාට පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ඇමතිවරයා පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කර ඇත්තේ ඒ අනුවය.

වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බවත් සේවකයින් පවසා ඇති අතර ඒ සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමුකළ බවත් වාර්තා වෙයි .

මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශයේ ලේකම් පී ඩී එස් රුවන්චන්ද්‍ර , වරාය අධිකාරි උප සභාපති ගයාන් අලගියවත්තගේ සහ වරාය මුළුතැන්ගේ කළමනාකරු ජේ.ඩී ඩයස් යන ඇතුළු පිරිසක්ද එක්ව ඇති බවත් වාර්තා වෙයි .

දේශබන්දුගේ වැඩේ දුරදිග යයි : මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට නොතීසි !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි ට ඊයේ (15) නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වෙයි .

ඒ ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බාධාවක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබදව නිතිපතිවරයා විසින් නිර්දේශයන් දෙකක් ලබාදෙනු ලැබ තිබියදීත්, පොලිස් ආඥා පනතේ පොලිස් නියෝග යටතේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට මෙහිදී අධිකරණය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග නිකුත්ව තිබේ.

 

අවසන් තෙල් නැව එද්දී : ඉන්ධන පෝලිමක තවත් මරණයක් !

ඩොලර් මිලියන 700ක ණය පහසුකම යටතේ ලැබෙන අවසන් තෙල් නැව අද (16) කොළඹට පැමිණ ඇත.

එම නෞකාවෙන් රැගෙන එන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 40,000 කි.

කෙසේවෙතත් පෙට්‍රල් නැවක් පැමිණෙන නිශ්චිත දිනයක් මෙතෙක් ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශයට පත් කර නැත.

අද පැමිණෙන නෞකාවේ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සඳහා තවත් දින 03 ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග පවසයි .

එසේම මේ වන විට ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනතාව තවදුරත් පෝලීම්වල රැඳී සිටින අතර දිවයින පුරා ඉන්ධන හල් ආශ්‍රිත දිගු පෝලිම් දක්නට ඇත.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇත්තේ ඉන්ධන නොමැති බව පවසමිනි.

එසේම ප්‍රදේශ රැසක ජනතාව ඊයේ දිනයේදී ඉන්ධන ලබා දෙන්නැයි ඉල්ලා මාර්ග අවහිර කර විරෝධතාවල ද නිරත වෙමින් තිබේ.

ඉන්ධන පෝලිමේ තවත් මරණයක් !

මේ අතර ඉන්ධන පෝලිම් ආශ්‍රිතව තවත් හදිසි මරණයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි .

පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි 53 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇති අතර පොලීසිය පවසන්නේ හදිස්සියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවය.

, ඊයේ (15) රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු එලෙස මියගොස් ඇති අතර ඔහු පානදුර හිරණ විසල් උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීට පෙර ද මෙරට විවිධ ස්ථානවල ඉන්ධන පෝලිම්වලින් පුද්ගල මරණ කිහිපයක් වාර්තා විය.

සජිත් දැන් ශාස්ත්‍රපති !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නාවල විවෘත විශ්වවිද්‍යාලය පවත්වන පරිසර විද්‍යා MSc in Env. Sc උපාධිය සම්පූර්ණ කර ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ ආරංචි මාර්ග පවසයි .

පරිසර ආර්ථික විද්‍යාව සහ කළමණාකරණය සහ පාරිසරික ප්‍රතිපත්ති සැළසුම්කරණය සහ තක්සේරු කරණය යන විෂයන් විපක්ෂ නායක විසින් එහිදී හදාරා ඇති බවත් වාර්තා වෙයි.

එම උපාධියට අදාළ පරියේෂණ සඳහා යයි කියමින් සජිත්, කාලයක් යාල වනෝද්‍යානයේ හා කුමන වනෝද්‍යානයේ කල්ගත කිරීම සහ එය ඇතැම් සමාජ මධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයවූ බව ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ වුවත් පසුගිය සමයේ නම් විපක්ෂ නායකවරයා යාලේ සංචාරය කළ බවක් වාර්තා වූයේ නැත.

පසුගිය ජනාධිපතිවරණය අභිමුව සජිත් ප්‍රේමදාස ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දැඩි විවේචන පැවති නමුත් ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවනු ඇති බව සජබ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි .

IMG 20220616 WA0008

IMG 20220616 WA0010

ධම්මිකගේ පත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

බැසිල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර ඇත .

එම පෙත්සමේ මෙසේ සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වූ අවස්ථාවේදී එම පුරප්පාඩුවට පත්කළ යුතු පුද්ගලයකු ඊට හිමිකම් ලබන්නේ අදාල දේශපාලන පක්‍ෂයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වූවකු හෝ නාමයෝජනා ඉදිපත්කළ අයකු හෝ ජාතික ලැයිස්තුවේ නම සඳහන් වූවෙකු පමණක්ය.

ඒ අනුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉහත සඳහන් කිසිඳු ලැයිස්තුවක නම සඳහන් වූවෙකු නොවේ. ඒ අනුව ධම්මික පෙරේරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) වගන්තිය යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොසුදුසුක් වේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා විවිධ ක්ෂේත්‍රයන් යටතේ ව්‍යාපාර ගණනාවක හිමිකරුවෙකි. යම් හෙයකින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරුවහොත් පක්‍ෂග්‍රාහි සහ උනන්දුව පිළිබඳ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය හැක.

මෙවැනි ආයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (ආ) (ඊ) වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සෙක් වේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්කිරීම නීතියට පටහැනි වේ, වේ ව්‍යවස්ථාවට පටහැනි වේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, මූලික අයිතිවාසිකම් කඩවී ඇත බව ප්‍රකාශ කරන ලෙස, ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

ආර්ථික අර්බුදය ජය ගන්න : රනිල්ගේ මාර්ග සිතියම ඉදිරියේ පාර්ලිමේන්තුවට !

පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් (Road map) ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවේදී මේ පිළිබඳ අදහස් පල කළ
අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් වත්මන් ආර්ථික අර්බුදය සහ එය ජය ගැනීමට අපේක්ෂිත ආණ්ඩුවේ කෙටිකාලීන හා මධ්‍ය කාලීන ඉලක්ක පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ඇත .

අනතුරුව රටේ ආර්ථික ව්‍යසනය අවම කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා සාකච්ඡා කළ බවත් වාර්තා වෙයි .

මෙම සාකච්ඡාව සඳහා හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කුමාර වෙල්ගම, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අලි සබ්‍රි, අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් ඇතුළු පා ර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූ බවත් වාර්තා වෙයි .

IMG 20220616 WA0005

IMG 20220616 WA0006

IMG 20220616 WA0007

Page 317 of 464