V2025

පුවත්

ගෝඨා යන්නම ඕන : අගමැති වෙන්න අනුරත් සූදානම් !

වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටි කාලීන යෝජනා මාලාවක් අද (11) ප්‍රසිද්ධ කර ඇත.

මෙහිදී ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රධානත්වයෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාව පළකර ඇත.

එසේම එහි පළමු සහ දෙවැනි කොන්දේසි අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත්විය යුතු අතර කතානායක වැඩබලන තාවකාලික ජනාධිපති විය යුතුව තිබේ.

මේ ඇතුළු ජාතික ජනබලවේගය කෙටිකාලීන යෝජනා මාලාව පහත දැක්වෙයි .

1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය.

2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.

3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;

(අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,

(ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.

4. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය.

I. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය.

II. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය.

III. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.

IV. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය.

V. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.

අවලංගු කළ පක්ෂ නායක හමුව : zoom තාක්ෂණයෙන් !

අද (11) අවලංගු කිරීමට සූදානම් වූ පක්ෂ නායක රැස්වීම zoom තාක්ෂණය ඔස්සේ පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි .

ඒ අනුව අද රටේ වත්මන් තත්ත්වය , නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්න නියමිත බවත් වාර්තා වෙයි

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කරන බව කතානායකවරයා ඊයේ නිවේදනය කළේ ය.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් සහ පක්ෂ අතර විරෝධයක් මතුවිය.

වෙඩි තැබීමේ නියෝගයටත් නීති ප්‍රශ්නයක් !

පුද්ගලයන්ට වෙඩි තැබීමේ බලය ත්‍රිවිධ හමුදාවට පැවරීමේ නීත්‍යානුකුල භාවය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් මතුව තිබේ.

ඒ මෙරට ජ්‍යෙෂ්ඨතම නීතිඥයකු වන දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලයක් නැති තැනක එවන් නියෝගයක් නිකුත් කිරීමේ බලයක් සහිත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයකු නැති බවය.

මේ අතර ඉන්දියාවේ හින්දු පුවත්පතට ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් නලින් හේරත් පවසා ඇත්තේ වෙඩි තැබීමේ නියෝගය දී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා විසින් බවයි.

නමුත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් පවසන්නේ ,

"නීති විරෝධීයි!! කැබිනට් මණ්ඩලය විසුරුවා හරින ලද පසු ව්‍යවස්ථාවේ 52 (3) වගන්තිය අනුව සියලු ලේකම් ධූර අහෝසි වී යයි!" යනුවෙනි .

sumanthiran t

 

මේ අතර පොදු දේපළ විනාශ කරන හෝ පුද්ගලයන්ට හානි සිදුකිරීමට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවට අඟහරුවාදා (10) පස්වරුවේ නියෝග කර ඇති බව නිවේදනය කර තිබුණි.

වෙඩි තැබීමේ නියෝගය ගැසට් පත්‍රයෙත් නෑ !

කෙසේ වෙතත්, ඒ සම්බන්ධ කිසිදු නිල නිවේදනයක් මේ තාක් දැකගන්නට නැත.

එදින පල කර ඇති එකම අති විශේෂ ගැසට් නිවේදනය වන්නේ ජනාධිපතිවරයා විසින් මැයි මස 12 දා උදේ 7 දක්වා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති අංක 2279/13 දරන ගැසට් පත්‍රයයි.

වෙඩි තැබීමට කිසිවකුටත් බලය පැවරීමක් ගැන එහි සඳහන් නොවේ.

අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි .

Gazette 1

 

 

බොරු ජාතිවාදී සට්ටැඹියන්ගේ රෙදි :  මීගමුවේදී ගැලවෙයි ! 

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ජාතිවාදී නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය කිරීමට පැමිණි පිරිසක් පළවා හැරීමට එම ප්‍රදේශයේ තරුණ ප්‍රජාව සමත්ව තිබෙන බව වාර්තා වෙයි .

එය ආර්ථික අර්බුදයෙන් කරවටක් ගිලීගිය රට දවා හළුකරන්නට මාන බැලූ ජාතිවාදී පාපතරයන්ට කදිම පිළිතුරක්ය.

වාර්තා වන ආකාරයට , ජාතිවාදී නොසන්සුන් තාවක් ඇතිකිරීමට පැමිණි පිරිස දේපලවලට ගිනි තබා ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට උත්සාහ ගෙන තිබේ .

ජාතිවාදී ගැටුමක් ඇතිකිරීමට පැමිණි පිරිස විසින් කඩසාප්පු හා වාහන කිහිපයක්ද ගිනි තබා විනාශ කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව පවා කැඳවීමට සිදුව ඇත.

කඩාකප්පල්කාරී පිරිසට ප්‍රදේශයේ තරුණ කොටස් එකතු වී පහරදීමක් සිදුකර පලවා හැර ඇත්තේ මෙහිදී ය.

මේ අතර ප්‍රදේශයේ ඇති කිරීමට උත්සාහ කළ ජාතිවාදී ගින්න මැඩීමට ප්‍රමාණවත් තරම් ආරක්ෂක අංශ යොදවා නොතිබීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව කතා කළේ ඉතාම පිළිකුලෙනි.

ඔවුන් අවධාරණය කර සිටියේ සිදුවීමක් හට ගැනීමෙන් පසුව ක්‍රියාත්මක වීම තේරුමක් නැති බව්ස්‍යි. වඩාත් වැදගත් වන්නේ සිදුවීමක් සිදුවීමට පෙර එය මැඩ පැවැත්වීමට වගකිවයුතු පාර්ශ්ව මැදිහත් වීම බවයි.

එසේම ගැටුමක් ඇතිවීම වැලැක්වීමට ප්‍රදේශයේ ආගමික නායකයන් දැක්වූ මෙහෙයත් ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක්විය.

අදාළ ප්‍රදේශයේ කිසිදු ජාතිවාදී ගැටුමක් නිර්මාණය නොවූ බවත් පිටතින් පැමිණ විනාශකාරී ප්‍රචණ්ඩක්‍රියා සිදුකළ කඩාකප්පල්කාරී පිරිගේ උත්සහාය සහමුලින්ම ව්‍යර්ථ කර ඇති බවත් සමාජ මාධ්‍ය තුළත් වාර්තා දකින්නට ලැබේ.

එසේම කළදුටු කළ වල ඉහගන්නට එන එබඳු කඩාකප්පල්කාකාරීන් පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමටත් තරුණයන් කටයුතු කර තිබිණ.

මේ ඊට එක් නිදර්ශනයකි.

අරගලයට පහරදීම සම්බන්ධයෙන් CIDය ප්‍රකාශ ලබා ගැනීම අරඹයි

ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බවයි.

ඊට අනියුක්ත කර ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 06 කි.

ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ අරලියගහ මන්දිරයේ 09 වන දා පැවති හමුව සංවිධානය කළ ප්‍රධාන සංවිධායකවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද අද ගෝඨාගෝ ගම පරිශ්‍රයට කැඳවා ඇති බව පොලීසිය සඳහන් කරයි.

අරගල භූමියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්, ඊයේ ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් යොදවා විමර්ශන සිදු කළ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගෝල්ෆේස් ප්‍රහාරය පිළිකුල් : ජනාධිපති ඉල්ලා අස්වෙන්න - වෛද්‍ය පරිපාලකයන් !

සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා උද්ඝෝෂණයට පසුගිය මැයි 09 වනදා සිදුකළ මිලේච්ජ ප්‍රහාරය තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ  සංගමය පවසයි .

නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය මේ බව අවධාරණය කරන අතර එහිදී අර්බුදයට මුලපිරූ වත්මන් ආණ්ඩුවේ දේශපාලන මෙන්ම ආර්ථික වැඩපිළිවෙළත් බරපතළ ලෙස විවේචනයට ලක්කර ඇත.

එසේම වත්මන් අර්බුදය සමනය කර ගැනීමට අතිශය වැදගත් යෝජනා 6ක් ද අදාළ නිවේදනය හරහා ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ  සංගමය කටයුතු කර ඇත .

එහි පළමු යෝජනාව වන්නේ පොදුජන අරගලයේ ද ප්‍රමුඛ කොන්දේසිය වන ජනාධිපතිවරයා ඉවත්වීමය.

අදාළ යෝජනා ඇතුලත් ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ  සංගමයේ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

gotagogama attek 1000 x 9 522

6038f5cc 0b76 4a02 808e f0d272bc9598

 

හිටපු අගමැති රනිල්ගෙන් පොලීස්පතිට දැනුම් දිමක් !

ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇති කළ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයාට දැනුම් දි තිබෙන බව වාර්තා වෙයි .

ඒ හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා අමතා අද (10) කල සාකච්ඡාවකදී ය.

අදාළ පරීක්ෂණ අධීක්‍ෂණය කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහය ලබාදෙන ලෙස පොලිස්පතිවරයා එහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙතින් ඉල්ලීමක් සිදුකර ඇති බවත් වාර්තා වෙයි .

අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ට කතා කළ අතර එහිදී, ඔවුන් දන්වා ඇත්තේ පළමු අත්අඩංගුවට ගැනීම්වලින් පසු පරීක්ෂණ කටයුතු සඳහා සහය වීමට ඔවුන් සූදානම් බවයි.

ඇඳිරි නීතිය ඇදෙයි !

දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය මැයි 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (10) ඒ බව නිවේදනය කර ඇත .

මේ අතර දේශපාලන පක්ෂ , සංවිධාන , දිගින් දිගටම ප්‍රචණ්ඩත්වයෙන් බැහැර වන ලෙස ජනතාව වෙතින් ඉල්ලා තිබේ.

ඊයේ (09) හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ හෙංචයියන් ගේ උසිගැන්වීම හමුවේ පොහොට්ටු මැරයින් ගේ ප්‍රහාරයට ලක්වූ ගෝඨාගෝගම ගෝල්ෆේස් පිටිය නියෝජනය කරන විරෝධතාකරුවන් ද දිගින් දිගටම මේ බව අවධාරණය කරමින් සිටියි.

සන්සුන් වෙන්න : ජනාධිපති ඉල්ලයි !

දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලීමක් කර ඇත.

ඔහු මේ ඉල්ලීම සිදුකරන්නේ සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ව්‍යවස්ථාපිත ජනවරම තුළ සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් ගනු ලබන බවය.

දේශබන්දුට පහරදීම සැකයි - දුමින්ද නාගමුව

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට අද (10) සිදුවූ පහරදීම සැලසුම් සහගතව සිදුකරනු ලැබුවක් බවට සැකසහිත බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර හමුදා පාලනයක් ගෙන ඒමට වටපිටාව සකසා ගන්න කටයුතු කරනවාද යන්න සැක බවත් ඔහු පවසයි .

එබැවින් මේ මොහොතේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී බුද්ධිමත්වව කටයුතු කරන ලෙසත් ඔහු ජනතාව වෙතින් ඉල්ලීය.

හමුදාවට වෙඩි තැබීමේ නියෝග !

පොදු දේපළ විනාශ කරන හෝ පුද්ගලයන්ට හානි සිදුකිරීමට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන ලෙස ත්‍රිවිධ හමුදාවට අද (10) පස්වරුවේ නියෝග කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය විසින් අදාළ නියෝගය නිකුත්කර ඇත .

දින 30 කට අධික කාලයක් නිර්පාක්ෂික සාමකාමී අයුරින් පැවති ගෝල්ෆේස්, අරලිය ගහ මන්දිරය අසල සහ දීප ව්‍යාප්ත විරෝධතා එක් මොහොතකින් ප්‍රචණ්ඩත්වයට ඇද දැමීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් සංවිධානාත්මක ලෙස කටයුතු කළ බව දේශපාලන විචාරකයන් මෙන්ම නීතිඥ සංගම් ද චෝදනා කරයි.

කෙසේ වුවත් මේ වන විට සිවිල් සංවිධාන , සමාජ ක්‍රියාකාරීන් , දේශපාලන පක්ෂ පොදුජනතාව වෙතින් ඉල්ලන්නේ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට සහ සාමකාමී අරගලය ඉදිරියට ගැනීමය.

මහින්ද ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්න : පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් !

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු පිරිසක් අපරාධ නිතියට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලමින් නිතීඥවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.

අදාළ පැමිණිල්ල අද (10) සිදුකර ඇති අතර එහිදී චෝදනා කර ඇත්තේ ,ගාලුමුවදොර උද්ඝෝෂකයින්ට මෙන්ම අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමාකාමී විරෝධතා ව්‍යාපාරවලට බීමතින් කඩා වැදී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් එහි සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දීමය.

ප්‍රජාතන්ත්‍රවාදී නිතීඥ එකමුතුවේ නිතීඥ කමල් විජේසිරි, නිතීඥ තුසිත ගුණසේකර, නිතීඥ රජිත ලක්මාල් සහ නිතීඥ නිශාන්ති වෙත්තසිංහ ඇතුළු නිතීඥ පිරිසක් විසින් මෙම පැමිණීල්ල පොලිස් මූලස්ථානයට සිදුකර ඇත .

අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් සදහා පිට පළාත්වල 3000ක පමණ ජනතාවක් බස් රථවලින් කොළඹට ගෙන්වා අග්‍රාමාත්‍යවරයාගේ දේශනයෙන් පසු, මසකට වැඩි කාලයක් ‘මයිනා ගෝ ගම” සහ “ගෝඨා ගෝ ගම” යන ස්ථානවල විරෝධාවේ යෙදුණු සාමකාමී විරෝධතාකරුවන්ට පහරදී සාපරාධී බියගැන්වීමට කුමන්ත්‍රණය කර අධාර අනුලබල දීමේ චෝදනාව යටතේ මෙම අයවලුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එම පැමිණීල්ලේ සදහන් වේ.

මෙම අපරාධය කුමන්ත්‍රණය කිරීමට චේතාන්විතව අනුබල දීමේ චෝදනාව යටතේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු සිද්ධියට අදාළ සියලුම පාර්ශ්වයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද එම පැමිණීල්ලේ දක්වා තිබේ.

මෙම අපරාධය වන තුරු බලාසිට එය වැළැක්වීමට නිත්‍යානුකූලව කටයුතු නොකරමින් සිටි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් , මෙම සිද්ධියට අදාළව රැදවියන් කලහකාරී සහ අපරාධමය වැරදිවලට යොමුකිරීමට අදාළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය යන අයට එරෙහිව ලංකා දණ්ඩ නිති සංග්‍රහය යටතේ පරික්ෂණයක් සිදුකර ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිතීඥවරුන් සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර ඇත.

අප්පච්චි රටින් පනින්නේ නෑ : නාමල්ගෙන් සහතිකයක් !

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ රට අත්හැර කිසිම විටෙක පළානොයන බව ඔහුගේ වැඩිමහල් පුතා වන හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ප්‍රංශය පුවත් සේවය වෙත ප්‍රකාශයක් කරමිනි.

“අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ.

මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා.

අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.

හමුදා පාලනයකට ඉඩ තියන්න එපා - චන්ද්‍රිකා

හමුදා පාලනයකට මග පෑදීම සඳහා කඩාකප්පල්කාරීන් විසින් ප්‍රචණ්ඩත්වය උසිගැන්විය හැකි බව වහාම දැනුවත් වන ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි .

සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර ඇත .

හිටපු ජනාධිපතිනිය තැබූ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

ckb s

ප්‍රහාරය අපරාධ වරදක් : විමර්ශන CID යවලා !

ජනතාවගේ  ව්‍යවස්ථානුකූල අයිතීන් උල්ලංඝනය කරමින් සාමකාමී විරෝධතාවට කඩා වැදීමේ සිද්ධියට නායකත්වය දුන් හා සම්බන්ධවූ සියලු දෙනාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා වහාම පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති සංජේ රාජරත්නම් විසින් පොලිස්පති දැනුවත් කර ඇත .

එහිදී නීතිපතිවරයා පෙන්වාදී තිබෙන්නේ කොළඹ නගර සීමාව තුළ ඇති වූ මේ ප්‍රචණ්ඩ සිද්ධිය මුල් කරගෙන රට පුරා බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සාමකාමිව රැස්වීම, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය යොදා ගනිමින් ජනතාව සති කිහිපයක සිට විරෝධතාව පවත්වා ගෙන ගිය බව නීතිපතිවරයා පෙන්වා දෙයි.

තවද නීතිපතිවරයා මෙම ලිපියේ අවධාරණය කර ඇත්තේ, ජනතාවට ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථාපිත වගකීම රජයේ සියලුම පාර්ශ්වයන්ට පැවරෙන බවයි.

සාමකාමීව රැස්වී සිදුකළ මෙම විරෝධතාවයට ඊයේ දිනයේ විශාල පිරිසක් කඩා වැදී සිදුකළ ක්‍රියාව රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් හා අපරාධමය ක්‍රියාවක් බවද නීතිපතිවරයා පෙන්වා දි තිබේ.

නීතිපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, මීට අදාළ පරීක්ෂණ ප්‍රමුඛතාවය ලබා දී වහාම සිදුකරන ලෙසයි.

එසේම මේ වන විට පොලිස්පති විසින් අදාළ ප්‍රහාරයේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් වාර්තා වෙයි .

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගෝඨාගෝගම නිර්පාක්ෂික, සාමකාමී විරෝධතා කලාපය අද 32 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

ඔවුන් තවදුරටත් අරගලයේ නිරත වෙමින් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරයාද සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි.

 

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට ප්‍රහාරයක් !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත අද (10) ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට එහිදී තුවාල ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරයා රෝහල් ගතකර ඇත.
 
ඊයේ සාමකාමී විරෝධතාකරුවන් ට ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මැර පිරිස සමග නියෝජ්‍ය පොලිස්පතිවරයා  සිටි ජායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
 
වාර්තා වන ආකාරයට අද ප්‍රහාරය දියත්ව ඇත්තේද මැර ප්‍රහාරය සම්බන්ධයෙන් විමසමිනි. ඒ " අපිට ගහන්න ඕඩර් දුන්නේ කවුද ?" අසමිනි.
 
FB IMG 1652178544481

ගෝල්ෆේස් ප්‍රහාරයට බන්ධනාගාර සිරකරුවන් ගෙනාවද ? මෙන්න උත්තර !

වටරැක බන්ධනාගාර කදවුරේ සිට කොළඹ වැඩබිම් කරා ගිය සිරකරුවන් පිරිසක් අරගලයට පහර දුන් අය බවට සැක සිතා තලාහේන ප්‍රදේශයේදී පහර දීහක් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මෙහිදී සිරකරුවන් 58 දෙනකු පළා ගොස් ඇති බවත් ඔවුන් හමුවුවොත් දැනුම්දෙන ලෙසත් ඔහු පැවසීය .

බන්ධනාගාර ප්‍රකාශක මෙසේ අදහස් දක්වා සිටියේ , ඊයේ ප්‍රහාරයට බන්ධනාගාර සිරකරුවන් යොදාගෙන තිබේද යනුවෙන් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය කිහිපයක පළවූ පුවත් වලට ප්‍රතිචාර දක්වමින් ය.

නමුත් එහිදී අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොමැති බව අප වෙබ් සංස්කාරකවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පෙරළා ප්‍රශ්න කර තිබිණ.

1) මේ සිරකරුවන් ප්‍රවාහනය කරන්නේ , බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ නෙවෙයිද ? සිරකරුවන් බස් වලින් බස්වන විට ඒ නිලධාරීන් මොකද කළේ ?

2) මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිසිය වෙත පැමිණිල්ලක් කරාද ? ඒ බව මෙහි නොකියන්නේ ඇයි ?

3) නොසන්සුන් තාවක් මතුව ඇති විට ඊට සරිලන ලෙස සිරකරුවන් ආරක්ෂා නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද ?

4) අනේ මන්දා , ප්‍රශ්න ගොඩයි. මොනවා වුණත් කරුණු කාරණා සහිතව ජනතාව දැනුවත් කරන්න .

යනුවෙනි .

පහත දැක්වෙන්නේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයකගේ ප්‍රකාශය යි.

හදිසි තත්ත්වයක් : පාර්ලිමේන්තුව වහා කැඳවයි !

පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

කථානායකවරයා සදහන් කරන්නේ , රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කළ යුතු බවය.

එසේම වර්තමානයේ රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට (11) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයකට එළැඹෙන බවත් කතානායක පවසයි .

 ඒ අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (11) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු ද තෝරා පත් කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කථානායකවරයා අවධාරණය කර ඇත .

 

 

Page 351 of 482