පුවත්

ජනපති යළි දිවයිනට
ජර්මනියේ පැවති ” බර්ලින් ගෝලීය” සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (01) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සදහන් කරයි.
ඔවුන් ජර්මනියේ බර්ලින් නුවර සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට 10/01 දින උදෑසන 09.35 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වූ හේතුව ගැන අනාවරණයක් !
කුරුන්දි විහාරයේ නඩුව විමසූ මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ සරත් වීරසේකර ගේ තර්ජන නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ බව සඳහන් කරන අතර කුරුන්දි පුදබිම බෞද්ධ හින්දු දෙපාර්ශවයම වැඳුම් පිදුම් කරන ස්ථානයක් බව ද සඳහන් කරයි.
තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතිවාදී භික්ෂුවක් එහි විශාල අවුලක් නිර්මාණය කොට ඇති බවටද පුබුදු ජයගොඩ චෝදනා කළේය.

ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්නේ නෑ : බැසිල් දැඩි ස්ථාවරයක !
තමන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ කිසිදු සූදානමක නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි .
තමන් මීට පෙර ද එම ස්ථාවරයේ සිටි බවත් දැනටත් සිටින්නේද එම ස්ථාවරයේම බවත් ඔහු සඳහන් කරයි.
ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මෙතෙක් තීන්දු කර නැති බවත් පවසන ඔහු දැන් ඇත්තේ වැසි වැටුනොත් ගඟ පිරෙයි වැනි තත්ත්වයක් බවද කියා සිටියි.
කෙසේ වෙතත් පක්ෂයක් ලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි යන මතය පක්ෂය තුළ ප්‍රබල ව නැගී එන බවද පවසන ඔහු එසේ නැතිව අපේක්ෂකයා කවුදැයි තවම තීරණය කර නැති බවද සඳහන් කර සිටියි .

ප්‍රදේශ කිහිපයක නායයෑම් අනතුරු තවදුරටත් දීර්ඝ කෙරේ
දිස්ත්‍රික්ක 08ක ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වෙත නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන මෙලෙස දීර්ඝ කර ඇති බවයි.
මෙලෙස නායයෑම් අනතුරු දීර්ඝ කර තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, වලල්ලාවිට, බුලත්සිංහල හා අගලවත්ත, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ යන ප්‍රදේශ සඳහායි.
එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, නිවිතිගල, කිරිඇල්ල, ඇලපාත, ඉඹුල්පේ, කොලොන්න යන ප්‍රදේශවලටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශවලටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව සඳහන් වෙයි.

කුරුන්දි විහාර නඩුව ඇසූ මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීමට හේතු සොයන්නැයි ජනපතිගෙන් උපදෙස්
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මරණ තර්ජන ඇති බව පවසමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් නොදී ඉල්ලා අස්වී තිබීම නිසාවෙනි.
එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.
ඒ අනුව, සිද්ධිය පිළිබඳ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.
එහිදි හෙලිවී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා මරණ තර්ජන පිළිබඳ මීට පෙර කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවයි.
මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24 වනදා විදේශගතව ඇත්තේ සැප්තැම්බර් 23 වනදා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමින්ය.
මහේස්ත්‍රාත්වරයා නීතිපති සම්බන්ධයෙන් කර ඇති චෝදනාව පිළිබඳවද ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර, එහිදී නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමක්ට අනුව සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් තිදෙනකු ඉදිරියේ මුලතිව් මහේස්ත්‍රාත් සමඟ නීතිමය කටයුතු සාකච්ඡා කළ බවත් එහිදී මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටිමින් මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම වැරදි බවට දැනුම්දීමට එකඟ වූ බවත් නීතිපතිවරයා එහිදී පවසා ඇතැයි සඳහන්.
ඊට අමතරව බුද්ධි අංශ ජනාධිපති කාර්යාලය වෙත වාර්තා කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයා තානාපති කාර්යාල කිහිපයක නිලධාරීන් සමඟ සමීපව ගණුදෙනු කර ඇති බවයි.
මේ සියලු කාරණා අනුව මෙය තවත් චැනල් 4 නාට්‍යයක් ද නැතිනම් සත්‍ය වශයෙන්ම ඔහුට මරණ තර්ජන තිබුණේ ද යන්න පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට : වැඩිම මුදල ආරක්ෂාවට !
එළඹෙන 2024 වසරේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ය.
එම මුදල රුපියල් කෝටි 42271ක් වන අතර ඊට පසුව වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල කෝටි 41028කි.
විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් සඳහා රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසකට වැඩි මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරයි.
ලබන වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීමටවූ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවූ ගැසට් නිවේදනය පසුගිය 27 වැනිදා නිකුත් කරනු ලැබීය.
මීට අමතරව ජනාධිපති කාර්යාලය වෙනුවෙන් රුපියල් කෝටි 659 ක්ද අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් කෝටි 115 කට වැඩි මුදලක්ද උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් වෙනුවෙන් රුපියල් කෝටි 51 ක්ද වැය කෙරෙන බව විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් රුපියල් කෝටි 85 ක්ද පාර්ලිමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි හාරසිය තිස් දෙකක්ද මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් කෝටි 22494ක්ද විදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් කෝටි 1960ක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 10041ක්ද වෙන් කෙරේ.
මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 23705 ක්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි 5577 ක්ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 14073ක්ද වෙන් කෙරෙනු ඇත.

ජනපති යුරෝපා කවුන්සිලයේ සභාපති හමුවෙයි !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) අතර නිල හමුව ඊයේ (28) බර්ලින් නුවරදී සිදු විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන අය ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ජනපති සහ කසකස්ථාන ජනපති අතර හමුවක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (28) බර්ලින් නුවරදී සිදු විය.
“ගෝලීය ආර්ථික පරිවර්තනයන් හමුවේ කසකස්ථානයේ භූමිකාව” පිළිබඳ රාජ්‍ය නායක සැසිවාරය කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) ගේ ප්‍රධානත්වයෙන් “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ඊයේ පැවැත්වුණු අතර ඒ සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන අය ද එම අවස්ථාවට එක්ව සිටියහ.

පාපන්දු සභාපති ධූරය යළිත් ජස්වර් උමාර්ට !
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් ඡන්දයෙන් තේරී පත් වී තිබේ.
ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දරනු ලැබිණ.
අද (29) පැවැත්වුණු පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් හට ඡන්ද 45ක් ලැබුණු බව වාර්තා වේ.

ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය.
එසේම “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති “බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම” පිළිබඳ රාජ්‍ය නායක සංවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අය ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ළමා දිනයට දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ බලන්න අවස්ථාවක්
ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබේ.
ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහාය.
එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලෙකෝ සමාගමේ විදුලි බිලට අලුත් බද්දක්
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට මේ මාසයේ සමාජ ආරක්ෂණ බද්දක් එක්කරන බව එම සමාගම පවසයි.
මේ මාසයේ සිට සියයට 2.5 ක් ලෙස මෙම සමාජ ආරක්ෂණ බද්ද ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන අතර ලබන මාසයේ පාරිභෝගිකයා වෙත ලැබෙන විදුලි බිලෙහි නව බද්ද ඇතුළත් කර තිබෙන බව විදුලිබල අමාත්‍යංශය පැවසීය.
විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කළ බිල්පත් සඳහා මීට පෙර සිට එම බදු අය කළ අතර 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ දෝෂ තත්ත්වයක් හේතුවෙන් ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර නොතිබුණි.

දුම්රියෙන් නිවාස 100ක්
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉදිකළ නිවාස 100ක් ජනතාව වෙත ලබාදීම ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබා ගැනීමේදී දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචි කරුවන්ගේ ආරක්ෂාව සඳහා එම ජනතාව ස්ථිර හිමිකම් සහිත මහල් නිවාසයක පදිංචි කිරීම මෙමගින් සිදු විය.
ශ්‍රී ලංකා දුම්රිය සේවයෙන් ජාතික ප්‍රවාහන පද්ධතියට අපේක්ෂිත දායකත්වය හඳුනා ගනිමින් කොළඹ තදාසන්න ප්‍රදේශයේ දුම්රිය සේවය සංවර්ධනය කිරීමට ඉඩකඩ ලබා ගැනීම සඳහා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 දෙනෙකු සඳහා මෙහිදී නිවාස හිමිකම්පත් ලබා දෙන ලදී. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද මාලිගාවත්ත ලක් හිරු සෙවණ හා කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලබා දෙන ලදී. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ කොළඹ තදාසන්න දුම්රිය සංර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙසේද පැවසීය.
කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගයේ ජීවත්වීම සඳහා ජීවිත සටනක යෙදුනු තමුන්නාන්සේලා බොහෝ කලක් අනවසර පදිංචිකරුවන් යන ලේබලය යටතේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. කාලය අවුරුදු විස්සක් තිහක් වෙන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ සුද්දන් හදපු දුම්රිය ආඥා පනතට අනුව තමුන්නාන්සේලා ඔක්කොමලා බරපතළ වරදක වැරදිකරුවන්. දුම්රිය රක්ෂිතය මොනම හේතුවක් නිසාවත් ඉදි කිරීම් සඳහා යොදාගන්න බැහැ.
මෙය දුම්රිය මාර්ගයේ හිටියට ලැබෙන වන්දියක් නොවෙයි. මෙය කරුණා සහගත ගෙවීමක්. මානුෂික පදනමක් යටතේ තමුන්නාන්සේලා සමඟ සාකච්ඡා කරලා තමයි මෙම නිවාස ලබාදෙන්නේ. ලැබෙන නිවාසයට යන්නේ නැත්නම් අධිකරණයට ගිහිල්ලා පදිංචි නිවෙසින් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරනවා. මොකද අපි හැමෝම රටේ පවතින නීතියට යටත් වෙන්න ඕනෑ, පවතින නීතියට ගරු කරන්න ඕනෑ, අරාජික තත්ත්වයක් යටතේ සමාජයක් ජීවත් කරවන්න බැහැ. මේ ලැබෙන්නේ තමුන්නාන්සේලාට ජීවිත කාලය තුළ ලැබෙන ඉතා වටිනා වත්කමක්. රජය ගෙයක් ලබා දෙන්නේ ණය අරගෙන. නිදහසින් පස්සේ පත්වූ සියලුම රජයවල් කරලා තියෙන්නේ කාගෙ ආණ්ඩු තිබුණත්, කවුරු ජනාධිපති වුණත්, කවුරු අගමැති වුණත්, කවුරු කැබිනට් මණ්ඩලයේ හිටියත් පාරවල්, පාලම්, ඇනිකට්, ඇළවේලි, නිවාස යෝජනා ක්‍රම, විදුලි බලාගාර, පාසල්, රෝහල් හදලා තියෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය අරගෙන. ඒ ගත්තු ණය අමෙරිකානු ඩොලර් බිලියන 36ක් ගෙවා ගන්න බැරිව හිර වෙලා තියනවා.
ඔබතුමන්ලා එක්තරා තත්ත්වයකින් උඩට ඇවිල්ල තියෙනවා. ඒ තුළින් තමන්ගේ දරුවන්ට අනාගත ලෝකයට සරිලන ලෙස ඉගැන්විය යුතුයි. ඉදිරියට එන්නේ සාක්ෂරතාවය තුළින්, ඩිජිටල්කරණය තුළින් මිනිසුන් නැතුව වැඩ කරන ලෝකයයි. මේක තමයි හෙට දවසේ ලෝකය. ඒ ලෝකයට යන්න දරුවන්ට අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අලුත් ලෝකයට අවශ්‍ය කරන දැනුම දීලා ඒ දරුවා මේ රටට පමණක් නොවෙයි ලෝකයටම සම්පතක් වන දරුවන් ලෙස හදන්න කටයුතු කරන ඕනෑ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එල්. එච්. තිලකරත්න, දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (ව්‍යාපෘති හා සැලසුම්) ඩී. ජේ. ප්‍රේමතිලක, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ උපාලි මල්ලිකආරච්චි මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිවාස හිමිකම්පත් ලාභීන් මෙම අවස්ථාවට විය.

රාජකීය දෛවඥයාගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හට මහ රජ ලෙස ආමන්ත්‍රණය කළ සමයේ, ඔහුගේ ජෝතිෂ්‍ය කටයුතු සිදුකළ නිසා රාජකීය දෛවඥ වූ සුමනදාස අබේගුණවර්ධන ගේ ආදරණීය බිරිද වන චන්ද්‍රා අබේගුණවර්ධන මහත්මිය අද (28) දහවල් අභවප්‍රාප්ත වී ඇත.
අවසන් කටයුතු හෙට (29) (සිකුරාදා) සවස 4.00 ට දඩැල්ල පොදු සුසානභූමියේදි සිදු කෙරේ.
දේහය මේ වන විට ගාල්ල වැකුණුගොඩ පටුමගේ අංක 08/02/B දරණ නිවසේ තැන්පත් කර තිබේ.

ධනුෂ්ක දෙස නොව ඕස්ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස බලන්න..!
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එල්ල කරන ලද චෝදනා වලින් නිව් සවුත් වේල්ස් අධිකරණය නිදහස් කර ඇති බව මේ වන විටත් ලෝකය පුරා පැතිර ගොස් ඇත. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ද එයින් උද්දාමයට පත් වී ඇත. එයින් උද්දාමයට පත් වනවා වෙනුවට ඕස්‍ට්‍රේලියාවේ නීතියේ අප්‍රමාදය දෙස අවධානය යොමු කිරීම ලංකාවේ අපට වැදගත්.
සිදුවීම් පෙළගැස්ම මෙසේය.
♦️පසුගිය වසරේ එනම් 2022 නොවැම්බරයේදී ලිංගික බලහත්කාරීකමට අදාළ චෝදනා සදහා ධනුෂ්ක ගුණතිලක අත් අඩංගුවට ගන්නා ලදී.
♦️ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීම වැළැක්වීමේ නියෝගයක් කඩිනමින් ලබා ගෙන ඔහුගේ පිටත් වීම වළක්වා ඔහුව නිව් සවුත් වේල්ස් පොලීසිය අත්අඩංගුවට ගන්නා ලදී
♦️ ඔහුගෙන් ප්‍රකාශ නිව් සවුත් වේල්ස් පොලීසිය විසින් සටහන් කර ගත් අතර එය වීඩියෝ තාක්ෂණය ඔස්සේද පටිගත කර ගෙන ඇත. එම නිසා පසුව වෙනස් කිරීමට නොහැක.
♦️පැමිණිලිකාරියගේ ප්‍රකාශද සලකා බලමින් මුල් අවස්ථාවේදී ලිංගික බලහත්කාරය සම්බන්ධ චෝදනා හතරක් මත අපරාධ චෝදනා ධනුෂ්කට එරෙහිව ගොනු කරන ලදී.
♦️මුල් අවස්ථාවේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුනද පසුව ඔහුව මුදා හැර සීමා කාරී නිවෙස් රදවාගැනීමකට ඔහුව පත් කරන ලදී.
♦️CCTV දර්ශනද පැමිණිලිකාරියගේ ප්‍රකාශද තවත් කරුණුද සලකා බැලූ නිව් සවුත් වේල්ස් මහජන අභිචෝදක වරයා එසේ නැතහොත් රජයේ නඩු පවරන්නා (Public Prosecutor) විසින් 2023 මැයි මාසයේදී එල්ල කරන ලද චෝදනා හතරෙන් තුනක්ම ඉවත් කරගෙන එක් චෝදනාවක් පමණක් පවත්වාගෙන යන ලදී.
♦️2023 සැප්තැම්බරයේදී නඩු විභාගය ආරම්භ කල අතර දින හතරක් පුරා පැවති නඩු විභාගය අවසන් කර 2023 සැප්තැම්බර් 28 දින නිව් සවුත් වේල්ස් දිසා අධිකරණය ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ එකම චෝදනාවෙන් ඔහුව නිදහස් කරන ලදී.
♦️සිදුවීම සිදු වූ දින සිට සම්පූර්ණ තීන්දුව ලබා දීමට ගත වී ඇත්තේ මාස 10 ක පමණ කාලයකි.
♦️ධනුෂ්ක නිදහස් වුවද නඩු විභාගය අතරතුර හෝ ඊට පෙරද අදාළ පැමිණිලිකාරියව එළිදරව් කර නැත. කිසිදු මාධ්‍යයක් එය සිදු කලේ නැත. එසේ එළිදරව් කිරීම නීතියෙන් තහනම්. CCTV දර්ශන මාධ්‍යයට ලබා දුන්නද ඇයගේ අනන්‍යතාවය ආරක්ෂා කෙරුණි. ඇය ටින්ඩර් ඩේටින් ඇප් භාවිතා කරන කාන්තාවක් වුවද ඇයගේ පෞද්ගලිකත්වය සුරැකුණි.
මාස දහයක කාලයක් තුළ පැමිණිලිකාරියගේද අනන්‍යතාව හෙළි නොකරමින්, නඩු විභගයද අවසන් කර තීන්දුව ලබා දෙමින් ශ්‍රී ලංකා පුරවැසියකු වන ධනුෂ්ක ගුණතිලකටද යුක්තිය කඩිනමින් ඉටු කිරීමට නිව් සවුත් වේල්ස් නීතිය සමත් වී ඇත. නීතිය ඉතා දැඩිය.නමුත් අප්‍රමාදය.
දැනට පවතින නීතියක් තුළ මොනයම් හෝ චෝදනාවකට ලංකාවේ නඩු පැවරීමක් සිදු කල හොත් තීන්දුව ලබා දීමට කොපමණ කාලයක් ගත වෙයිද? ළමා අපචාර නඩු පවා වසර ගණනාවක් දිග් ගැස්සෙන නඩු බවට පත් වී ඇති රටක් ලෙස අපට ආඩම්බර විය හැකිද? ලෝකෙන් උතුම් රටේ හැටි එහෙමය.
යුක්තියේ ප්‍රමාදය යනු යුක්තිය ප්‍රතික්ෂේප වීමකි. කඩිනමින් යුක්තිය ඉටු වීම නිසා ධනුෂ්කට නැවත ක්‍රිකට් ගැන සිතිය හැක. ජීවිතය ගැන සිතිය හැක. වසර ගණනක් ප්‍රමාද වූවා නම් ඔහුගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන්ම අවසන් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.
යුක්තියේ ප්‍රමාදය වැළක්වීමට මැදිහත් වෙමු.
නීතිඥ දුලාන් දසනායක ගේ ෆේස්බුක් ගිනුමෙනි
We Have a Dream Right to Life Sri lanka

ජනාධිපති බර්ලින් ග්ලෝබල් සමුළුව අමතයි : බලවත් රටවලට හොඳට දෙසයි !
2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
එසේම, “එක් තීරයක් - එක් මාවතක්” වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස , ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අවධානය යොමු කර තිබෙන අතර මෙය ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට පීඩාවක් එල්ල කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවලින් එන පීඩනයන් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය අද (28) සිදු කරමිනි.
එම දේශනයෙන් අනතුරුව පැවති ප්‍රධාන සංවාදයට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය කෘතවේදීව සිහිපත් කරන බවයි.
වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන “බර්ලින් ග්ලෝබල්” සමුළුව අද ආරම්භ කෙරුණු අතර ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ (Alexander de Croo), කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වූහ. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද එක්ව සිටියහ.
ආර්ථික අර්බුදවලට මුහුණ දීමේ දී දියුණු රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඇති අසමානතා ස්වෛරීත්ව ණය අර්බුදයට මූලික හේතුව බව මෙම සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පැවසීය.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් මුහුණ දී ඇති සැලකිය යුතු ණය බර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි දැනට පවතින යාන්ත්‍රණවල ඇති සීමාවන් සැලකිල්ලට ගෙන තවත් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියහ.

ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනය තීන්දුවක් ගන්න යයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තාවකාලික ක්‍රිකට් තහනම ඉවත් කිරීමට අදාළව අද( 28) දිනයේ සලකාබලනු ඇති බව වාර්තා වෙයි.
ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකව ඔස්ට්‍රේලියානු අධිකරණය මගින් අද නිදොස් කොට නිදහස් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීන්දුව ගෙන ඇත.
සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කළ බව විනිසුරු සාරා හගෙට් තීන්දු කළාය.
ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුමක් ආධාරයෙන් හමුවූ කාන්තාවක් ලිංගිකව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේ ධනුෂ්ක ගුණතිලකට චෝදනා ගොනුවී තිබිණි.

නාමල් සරමට බහියි !
රටේ පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා රටේ පවතින සංස්කෘතියට ගරු කල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ තංගල්ල ශාඛා සමිතිය පිහිටුවීමේ ජනහමුවට සහභාගී වෙමින් ය .
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය .
‘සංස්කෘතියට ගරු කරන දරුවෙක් සමාජයට දායාද කරන එක දෙමාපියන් සතු වගකීමක්. ඒක සිංහල , දමිල , මුස්ලිම් සහ බර්ගර් යන යන ඕනෑම සංස්කෘතියකට සරිලන ලෙස අපි දරුවන් නිර්මාණය කල යුතුයි . ඒක තමයි දෙමාපියන් ලෙස අපගේ යුතුකම සහ වගකීම.
මුස්ලිම් දරුවෙක් මුස්ලිම් සංස්කෘතියට අනුකූලව ඇදුමක් ඇදීමටවත් , දමිල තරුණයෙක් වේට්ටිය ඇදීමටවත් , සිංහල තරුණයෙක් සරම ඇදීමටවත් ලැජ්ජා විය යුතු නැහැ. සංස්කෘතියට ආගමට ගරු කරන සමාජය තුලින් රටේ ආර්ථික වර්ධනයට අදාල ප්‍රතිලාභ ලඟා කර ගත හැකියි."
Page 152 of 464