Language Switcher

V2025

දැන් සැපද ?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සමෘද්ධි කළමනාකාරිණියක් මාධ්‍යකරුවෙකුට කුනුහරුපෙන් බැනපු වීඩියෝව සහ ඡායාරූප මේ දක්වා ඕනෑවටත් වැඩියෙන් සමාජ මාධ්‍යයේ දකින්න ලැබුණු දෙයක්.

Akuressa samurdi 1000px 8 10 23

එබැවින් ඇය කළ වරදට මුළුමහත් රටෙන්ම දඬුවම් ලැබුණා කියලයි මට හිතෙන්නේ. සිය රැකියාව අත්හිටුවීමත්, ලැබුණු නින්දාවත් ඇයට පෞද්ගලිකව විඳින්න ලැබුණු දේවල්.

මෙහි වරද ඇයගේ පමණද? මගේ නම් අදහස මෙහි ආයතන ප්‍රධානියා, එනම් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරයා හෝ ලේකම්වරිය මෙහි කොටස්කරුවෙක්. ඔහු හෝ ඇය තමන් යටතේ සිටින සේවකයන්ට මහජන සේවය හෝ මහජන සබඳතා පිළිබඳ නිසි මග පෙන්වීම් ලබා දී තිබුණේ නම් මෙවැනි දෙයක් සිදුවීමට ඉඩක් නැහැ.

එමෙන්ම ඇයගේ කෝපාවිශ්ඨයට වැඩ පරිසරයද හේතුවක් විය හැකියි. එම නිළධාරිණිය තවත් නිළධාරිණියකට තර්ජනය කරන ආකාරයෙන්ද කියවෙන්නේ එහි කුඩා පාතාලයක්ද ක්‍රියාත්මක වන බවයි.

තමන් විසින් වන පොත් කරනු ලැබූ ආයතන සංග්‍රහයේ අඩංගු දෑ අමතක වීම මෙන්ම පහළ නිළධාරීන්ට අවශ්‍ය අඛණ්ඩ පුහුණුවීම් ලබා නොදීමේ වගකීමද භාරගත යුත්තේ ආයතන ප්‍රධානියායි.

අනෙක් අතට කුණුහරුපයෙන් බැණ වැදීමේ වරදට වැඩ තහනමකට ලක්වීම සාධාරණ හෝ අසාධාරණ යැයි කීමකට වඩා මෙහි ඇත්තේ ලංකාවේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළුවයි. මෙය රාජ්‍ය සේවකයන් බහුතරයක් සාමාන්‍ය ජනතාවට සලකන ආකාරය පිළිබඳ ප්‍රතිභිම්භයක් සේ ගිනිය හැකියි.

රාජ්‍ය ආයතනවලදී ජනතාව පීඩාවට පත්වීම සුලභ දෙයක්. යුරෝපය ඇතුළු දියුණු රටවල රෝගියාද සැලකෙන්නේ තමන්ට වටිනා පාරිභෝගිකයෙකු (Customer) ලෙසයි. එමෙන්ම රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම ආයතනයකට සේවාවක් ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටුවේද යන්න Monitor වන System එකක් පවතී. ලංකාවේ රාජ්‍ය අංශයේ එවැන්නක් නැති තරම්ය.

කවරෙකු හෝ ජනතා සේවාවක් ඉටුකිරීමේදී මහජන සබඳතා මනාව පවත්වා ගැනීමට මෙන්ම දරාගැනීමේ හැකියාව සමග ධනාත්මකභාවයකින් (Resilience and positivity) රාජකාරී කිරීමට වගබලාගත යුතුය.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් එසේ නොවන්නේ නම් අමාත්‍යාංශ ලේකම්වරුවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කොමසාරිස්වරුන්ගේ සිට ඉහළ නිළධාරීන් ඊට වගකිව යුතුය.

සරල උදාහරණයකට, අදාළ සමෘද්ධි කළමනාකාරවරිය උපාධිධාරිනියක්ද විය යුතුය. එමෙන්ම එකී සේවයට එක්ව අවම දශක දෙකකටවත් වඩා වැඩි කළක් විය හැකිය. නිරන්තරයෙන් මහජතාව සමග ගැවසෙන නිලධාරිණියක ලෙස ඇයට කෙතරම් පුහුණුවීම් ලබා දී තිබේද? ඇයගේ සේවය පිළිබඳ ඇගයීම් (Evaluation) කර තිබේද? එසේ නොමැති නම් එය ඇයගේ වරදක් නොවේ.

කෙසේ වෙතත් මේ සිදුවීම, රාජ්‍ය සේවකයන් ජනතාවගේ සුගදශීලී සේවකයන් බවට පත්කිරීමේ වැදගත් සංධිස්ථානයක් කරගත හැකිය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාට හෝ අමාත්‍යාංශය ලේකම්වරයාට එකී කුනුහරුපය ඇසී රාජ්‍ය සේවකයා සුහදශීලී මහජන සේවකයෙකු බවට පත් කිරීමේ උවමනාව ඇති විය යුතුය. ඒ සඳහා තීරණයක් ගැනීම සහ නියෝග දීම ඔවුන්ගේ වැඩකි.

රැකියාව රඳාපවතින්නේ රජයෙන් ලැබෙන වැටුප මත නොව තමන් මහජනතාවට ඉටුකරන ඉහළ ගුණාත්මක සේවාව මත බව රාජ්‍ය සේවකයන්ට ඒත්තු ගැන්වෙන රාජ්‍ය සේවයක්ද ස්ථාපනය විය යුතුය.

|මහින්ද රුබසිංහ