කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකාවේදී තහවුරු වූ පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉරිදා (මාර්තු 15) පස්වරුවේ තහවුරු කෙරුණු ආසාදිතයින් 7 දෙනා ම පිරිමි පුද්ගලයින් වූ අතර ඔවුන් සියලු දෙනා ඉතාලියේ සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා තහවුරු කළේය.
කුමක් ද මේ වෛරසය?
කොරෝනාවෛරස (CoV) යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් 'පවුලකි'.
නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි.
කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස කිහිපයක් සතුන් අතර සංසරණය වන බව හඳුනාගෙන තිබේ.
මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැකිය.
නව කොරෝනාවෛරස රෝගයේ ලක්ෂණ මොනවා ද?
කොවිඩ් 19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් ඇති වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.
මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.
වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, අවයව ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක.
එය බෝ වන්නේ කෙසේද?
පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට කොරෝනාවෛරසය බෝවනුයේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත. කෙසේවෙතත්, මීට සමාන වෛරස් බෝවීම සිදු වන්නේ, කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටයහෝ සෙම් මගිනි.
එමෙන් ම, ආසාදිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් ක්‍රියාකාරීව පවතින බව විශේෂඥයෝ පවසති.
රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කලක් ගතවේද?
වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගත වන බව ලෝක සෞඛ්ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයින් පවසන්නේ, රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගත වන බවය.


කොරෝනාවෛරස ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වූ රටවල සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන් සිය නිවස තුළ ස්වයං හුදෙකලා වීම සඳහා යොමු කරමින් සිටියි.
රෝගය වැළඳීමේ වැඩි අවදානමක් පවතින්නේ, වයස්ගත පුද්ගලයින් සහ ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ ආදී රෝගවලින් පෙළෙන්නන්ටය.
චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ, මරණ අනුපාතය මැදිවියේ අයට සාපේක්ෂව වැඩිහිටියන් තුළ දස ගුණයකින් වැඩි බවය.
අධි රුධිර පීඩනය, පෙනහලු දුර්වලතා සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයන්ට මෙම වෛරසයේ බලපෑමෙන් එම රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇත.
ගර්භණී කාන්තාවන්ට වෛරසයෙන් බලපෑමක් තිබේද?
ගර්භණී කාන්තාවන් දැඩි අවදානමක සිටින කණ්ඩායමක් බවට තවමත් සාක්ෂි නොමැත. අන් අය සේ ම ඔවුන් ද ආසාදනය වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුය.

දරුවන්ට ඇති අවදානම කුමක්ද?
චීනයේ දත්තවලට අනුව, පොදුවේ ගත් කල දරුවන්ට කොරෝනාවෛරසයේ බලපෑම සාපේක්ෂව අවම මට්ටමක ඇති බව පෙනේ.
මෙයට හේතුව ආසාදනය ශරීරයෙන් බැහැර කිරීමේ හැකියාව හෝ රෝග ලක්ෂණ මතු නොවීම හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කිරීමය.
කෙසේවෙතත්, ඇදුම වැනි පෙනහලු ආබාධ ඇති දරුවන්ට මෙම වෛරසයෙන් බලපෑම් එල්ල වීමේ ඉඩකඩ ඇති නිසා වඩාත් සැලකිලිමත් විය යුතුය.
බොහෝ දරුවන්ට එය තවත් ආකාරයක ශ්වසන ආසාදනයක් ලෙස පෙන්නුම් කර ඇති නමුත් අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී නොමැත.
කෙසේවෙතත්, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු පාසල් අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබීමට ආණ්ඩුව ක්‍රියා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) දත්ත අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව, මැදපෙරදිග, උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාවේ රටවල් 61ක පාසල් හා විශ්ව විද්යාල වසා දැමීම් ප්‍රකාශයට පත්කර හෝ ක්‍රියාත්මක කර තිබේ.
ලොව පුරා ළමුන් හා යෞවනයන් මිලියන 400කට පමණ බලපෑම් එල්ල කරමින් රටවල් ගණනාවක් ඔවුන්ගේ රට පුරා පාසල් වසා දැමීමට ක්‍රියා කර ඇත. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම හෝ අවම කිරීම සඳහා තවත් රටවල් අදාළ ප්‍රදේශවල පමණක් පාසල් වසා දැමීම ක්‍රියාත්මක කර ඇත.

දුම් පානය කරන්නන්ට වැඩි අවදානමක් තිබේද?
බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පුණ්‍යායතනයක ප්‍රධාන විධායක නිලධාරිනී ඩෙබ්රා ආර්නොට් ඉදිරිපත් කර ඇති උපදෙස් අනුව අධික ලෙස දුම් පානය කරන අය එය අවම කර හෝ සම්පූර්ණයෙන් ම නවතා දමා අවදානම අවම කර ගැනීමට උත්සහ කළ යුතුය.
"දුම් පානය කරන්නන්ට ශ්වසන ආසාදන ඇති වීමේ ඉඩකඩ වැඩිය. දුම් පානය නොකරන අයට වඩා නියුමෝනියාව වැළඳීමේ අවදානම දෙගුණයක් වෙනවා," ඇය පැවසුවාය.
වෙනත් රෝගවලට වෛද්‍යවරුන් ලබා දුන් ඖෂධ දිගටම ලබා ගත යුතුද?
වෛද්‍ය උපදෙස් ලබා ගන්නා තෙක් ඔබට ඇති වෙනත් රෝගවලට නියම කර තිබෙන ඖෂධ නියමිත පරිදි ලබා ගැනීම වැදගත්ය.
ලෝක සෞඛ්ය සංවිධානය මේ වන විට කොරෝනාවෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස නම් කර තිබේ.

ලෝක සෞඛ්ය සංවිධානය සතු දත්ත අනුව සෑම ආසාදිතයින් පස් දෙනෙකුගෙන් සිව් දෙනෙකුට ම ඇති වන්නේ, සුළු රෝග ලක්ෂණය. ඒ අනුව:
වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වන්නන්ගේ ප්‍රතිශතය 1% හෝ 2%ක් වැනි අවම මට්ටමක පැවතිය ද එම සංඛ්‍යා අවිනිශ්චිතය.
දහස් ගණනක් රෝගීන් මේ වන විට ප්‍රතිකාර ලබන අතර තවත් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එහෙයින් මරණ අනුපාතය මීට වඩා ඉහළ අගයක් ගත හැකිය.
එමෙන් ම, සුළු රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සංඛ්‍යාව ද නිශ්චිත නොවන හෙයින් මරණ අනුපාතය පහළ යාමට ද ඉඩ තිබේ.
චීනයෙන් ආරම්භ වූ කොරෝනාවෛරසය ලොව පුරා වේගයෙන් පැතිරී යන අතර, මේ වන විට රටවල් 123කට වැඩි ගණනක පුද්ගලයන් 140,000කට වැඩි පිරිසකට ආසාදනය වී තිබේ. මේ වන විට පුද්ගලයන් 5,500කට අධික පිරිසක් මිය ගොස් තිබේ.

මින් බහුතරයක් චීනයෙන් වාර්තා වන නමුත් මේ වන විට ඉන් පිටත රටවල වෛරසය දැන් රට තුළට වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉතාලියෙනි.
කොරෝනාවෛරසය බෝවන රෝගයක් ලෙස ලෝකයේ බොහෝ ප්‍රදේශවල එකවර පුද්ගලයාගෙන් පුද්ගලයාට පහසුවෙන් සම්ප්‍රේෂණය වීම ලෝක සෞඛ්ය සංවිධානය (WHO) මෙය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශ පත් කිරීමට හේතු වීතිබේ.

විශාල ජනතාවක් එකතුවෙන ස්ථාන සහ අවස්ථා සඳහා පොලිස් අවසරය නොලැබෙන අතර, අත්‍යවශ්‍ය ම හේතූන් පවතී නම් ඒ සඳහා පොලිස් බලපත්‍රයක් ලබා ගත යුතු බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සෙනෙසුරාදා (මාර්තු 14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළාය.
එමෙන් ම, විශාල ලෙස ජනතාව ගැවසෙන ස්ථානවලට නොගොස් ස්වයං නිරෝධායන ක්‍රමයක් අනුගමනය කිරීම සුදුසු බව අමාත්‍යවරිය තවදුරටත් පැවසීය.

සංචාරය සීමා කර තිබෙන්නේ කුමන රටවල්ද?
ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර සියලු ගුවන් ගමන් නතර කිරීමට රජය පියවර ගෙන ඇත.
මේ අතර, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ඔස්ට්රියාව යන රටවලින් සංචාරකයින් පැමිණීම මාර්තු 15 වන දා සිට සති දෙකකට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
මේ අතර, එක්සත් රාජධානිය, නෝර්වේ සහ බෙල්ජියම යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් යානා මාර්තු 16 වන දා සිට සති දෙකක කාලයක් සදහා අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේය.
ගුවන්තොටුපොළෙන් ගොඩ බැසීමෙන් පසු ලබා දෙන වීසා (on arrival visa) නතර කිරීමට ද ශ්‍රී ලංකාව පියවර ගෙනේ තිබේ.
එක්සත් ජනපදය යුරෝපීය රටවල් 26කට සංචාරක සීමා පනවා ඇති අතර, පසුගිය දින 14 තුළ යුරෝපයේ දේශසීමා රහිත කලාපයේ සංචාරය කළ පුද්ගලයෙකු නම් (එක්සත් ජනපද පුරවැසියන් හැර) එරට තුළට ඇතුළු වීම තාවකාලිකව තහනම් කරඇත.
රාජ්‍ය තාන්ත්‍රිකයින්, නිල රාජකාරි හෝ රැකියා වැනි සංචාරවලට හැර මෙම සිකුරාදා (මාර්තු 13) සිට මාසයක් දක්වා සියලුම විදේශිකයින් සඳහා වීසා බලපත්ර අත්හිටුවන බව ඉන්දියාව පැවසීය.
කුවේටය විදේශීකයන් සඳහා වීසා නිකුත් කිරීම නවතා දමා ඇත.
ලොව පුරා විවිධ රටවල් වෛරසයෙන් වඩාත් බලපෑමට ලක්වූ චීනය, ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණෙන සංචාරකයින් සීමා කර ඇත.
ඉතාලිය සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර, රට තුළ සංචාරය කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුය.
චීනය තුළ වෛරසය පැතිරීම ආරම්භ වූ විට, රට පුරා සංචාරය කිරීම සීමා කරමින් සියලු දෙනාට නිවෙස්වල රැඳී සිටින ලෙස එරට බලධාරියෝ පැවසූහ.
ඉරාන බලධාරීන් ද පුද්ගලයන් නගර අතර ගමන් කිරීම සීමා කිරීමට ක්රියා කර ඇති නමුත්, එරට වැඩිම ආසාදිතයන් සංඛ්යාවක් වාර්තා වන ශුද්ධ වූ 'කොම්' නගරය වසා දැමීමට පියවර ගෙන නොමැත.
කෙසේවෙතත්, තාවකාලික කාල සීමාවකට හැර සංචාරක සීමාවන් පැනවීම නොකළ යුතු බව ලෝක සෞඛ්ය සංවිධානය උපදෙස් ලබා දී ඇත.
සමහර රටවල් සංචාරකයන් ඇතුළුවීම තහනම් නොකර ගුවන්තොටුපොළවල සහ වෙනත් ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත පැමිණෙන මගීන් පරීක්ෂා කිරීම සිදු කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ පුද්ගලයන් මෑතකදී සිදු කළ සංචාර, ඔවුන්ගේ සෞඛ්‍ය සහ ශරීර උෂ්ණත්ව පරීක්ෂා කර ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම මෙම ක්‍රියාවලියට ඇතුළත් වේ.
කෙසේවෙතත්, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ මතු වන්න දින කීපයක් ගත විය හැකි බැවින් මෙය කෙතරම් ඵලදායී ක්‍රියාවලියක් ද යන්න පිළිබඳ සැකයක් පවතී.
මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා තවමත් එන්නතක් සොයාගෙන නැත.
නමුත්, පර්යේෂකයන් මේ වන විට එන්නත් නිපදවා ඒවා සතුන්ට ලබා දී පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇත. එය සාර්ථක වුවහොත් මෙම වසර අග භාගයේදී මිනිසුන්ට අත්හදා බැලීම් සිදුකරනු ලැබේ.
මෙම වසරේ නත්තල සැමරීමට පෙර එන්නතක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත් වුවද, එය මහා පරිමාණයෙන් නිපදවීමේ හැකියාව තවමත් අභියෝගයකි.
එයින් සෑම වයස් කාණ්ඩයකම මිනිසුන් ආරක්ෂා කළ හැකිද?
එය බොහෝ දුරට වයස්ගත පුද්ගලයින්ට වැඩි දුර සාර්ථක නොවනු ඇත. වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිශක්තිකරණයට ප්‍රතිචාර නොදැක්වීම එයට ප්‍රධානතම හේතුව වේ.
Image පැරසිටමෝල් ඇතුළු සියලු ඖෂධ අතුරු ආබාධ ඇති කරයි. නමුත් සායනික අත්හදා බැලීම්වලින් තොර පරීක්ෂණාත්මක මට්ටමේ තිබෙන එන්නතක අතුරු ආබාධ මොනවාදැයි තවමත් කිව නොහැකිය.
එන්නත් මගින් ආසාදන වැළැක්විය හැකි නමුත් මේ මොහොතේ අනුගමනය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සනීපාරක්ෂාවයි.
කොරෝනාවෛරස ආසාදිතයන්ට විවිධ ප්‍රතිවෛරස ඖෂධ අත්හදා බලන නමුත් මේ කිසිවක් සාර්ථක වේදැයි නිශ්චිතව පැවසිය නොහැක.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
