Language Switcher

V2025

‘‘වත්මන් නවීන ලෝකය දුවන්නේ ප‍්‍රායෝගික මිනිසුන් අතින්.’’- ඇමති චම්පික

වත්මන් නවීන ලෝකය දුවන්නේ ප‍්‍රායෝගික මිනිසුන් අතින් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා  මෙම අදහස් පළකර සිටියේ,  ජාතික ජනතා පෙරමුණ විසින් පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ විශේෂ හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

“මේ රටේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනතාවගේ අනාගත ආර්ථික දියුණුව, සමාජ දියුණුව, මේ රට බලගතු රටක් බවට පරිවර්තනය කරන්න 2019 නොවැම්බර් පවත්වන ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට දිනවීමට අපි කැපවිය යුතුයි. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් මැතිවරණ කි‍්‍රයාවලියත් දැන් දශක ගණනාවක සිට  කි‍්‍රයාත්මකයි.  1931 සිට මේ රටේ සර්වජන ඡන්ද අයිතිය කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඒ ඡන්ද අයිතිය ලබාදෙන වෙලාවේ මෙරට ප‍්‍රභූවරු ඇතැම් ආගමික කණ්ඩායම් මේ රටේ සෑම ජන කණ්ඩායමකටම ඡන්ද අයිතිය ලැබෙනවාට, කාන්තාවන්ට ලැබෙනවාට, දුගියන්ට ලැබෙනවාට, කුලභේදයෙන් පහළ යැයි කියන අයට ලැබෙනවාට විරුද්ධ උනා. නමුත් මේ රටේ ගෞරවණිය මහා සංඝරත්නය ඇතුළු ප‍්‍රගතිය ප‍්‍රාර්ථනා කරන පිරිස් ඉදිරිපත් වෙලා ඒ සර්ව ජන ඡන්ද අයිතිය අපේ රටේ සෑම ජනතාවකටම ලබාදුන්නා.

එහි ප‍්‍රතිඵලයක් හැටියට ආණ්ඩු මාරුකර තිබෙනවා.  අලූත් ආණ්ඩු ඇතිකර තිබෙනවා. ඒ වගේම මේ රටේ ඉතාම භයානක යුදමය තත්ත්වයක් තිබුණත් කිසිම අවස්ථාවක හමුදා ආණ්ඩු හදන්න කවර අවස්ථාවකවමත් අපි ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ඒ රැකගත්ත ප‍්‍රජාතාන්ත‍්‍රික සම්ප‍්‍රදාය අපි ඉදිරියට රැගෙන යා යුතුයි. මොකද රෙජිමේන්තු ගත කරපු, මිලිටරිකරණය කරපු ආණ්ඩුවලින් සිදුවෙන්නේ ඒ අවස්ථාවේදී විනය පවත්වාගැනීම නෙමෙයි පසුව ගැටලු ගැටුම් තව වැඩිවෙලා භයානක ප‍්‍රශ්නවලට රට මුහුණ දෙන එක විතරයි.

මේ රටේ ඇති වූ විශාල ගැටලුවක් තමයි පසුගිය කාලයන්හි හැමදාම වගේ උද්ඝෝෂණ. තුනක් හතරක් රටේ පැවැත්වෙනවාමයි. මේ නිසා ජන ජීවිතයට මහත් බාධාවල් මේ වැඩවර්ජන උද්ඝෝෂණ නිසා ඇති වෙනවා. මේක රජයේ අස්ථාවරත්වයක් හැටියට, රජයේ නොසැලකිල්ලක් හැටියට රජය මේවා පාලනය කළ යුතුයි කියන හැඟීමක්  ජනතාව අතින් මතු උනා. නමුත් මෙය රජයේ දුර්වලතාවයක්වත් රජයේ නොසැලකිල්ලක්වත් නෙමෙයි රජය මේ රටේ නිදහසට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ලබාදුන් ඉඩකඩ. පසුගිය වසර 5 ක ආසන්න කාලය තුළ එකම පුද්ගලයෙක්වත් ආරක්‍ෂක අංශ විසින් උද්ඝෝෂණ, වැඩවර්ජන කළා කියලා, විරෝධය දැක්වූවා කියලා ඝාතනය කළේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකාරයට තමයි මේ සියලුම දේ සිදු කර තිබෙන්නේ. එය මේ රටේ ඉතිහාසයේ වාර්තාවක්.

ඒ වගේම අපි දන්නවා ඇතැම් දේවල් මර්දනය කරන්න ගියහම තාවකාලිකව ස්ථාවර පාලනයන් ආවට, දිගු කාලීනව භයානක ප‍්‍රශ්න පැන නැගුණු බව. 1981 දී සංවර්ධන සභා මැතිවරණය ජයගැනීම සඳහා එවකට පැවති ආණ්ඩුව කි‍්‍රයා කරපු ආකාරය නිසා එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ට ලොකු පිටුබලයක්, ලොකු ශක්තියක් ඒ දෙමළ ජනතාව තුළින්  ලැබුණා. 83 ජනතා විමුක්ති පෙරමුණ, සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආදිය තහනම් කිරීම නිසා ඒ පක්ෂවලට, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට කැරැල්ලක් ගහන්න අවශ්‍ය ශක්තිය ලැබුණා. ඒ නිසා තාවකාලිකව යම් යම් දේවල් අපට මර්දනයෙන් පාලනය කරන්න පුළුවන් උනත් පසුව ඒවා භයානක බරපතළ  ප‍්‍රශ්න, විරෝධතා බවට පත් වෙනවා. ඒ නිසා මේ රජය කවුරු මොනවා කිව්වත්, මොන දුර්වලතා තිබුණත් ඒ  නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් අපේ ජනතාවට ලබාදුන්නා. එය නැවතත් මිලිටරිකරණය වෙච්ච, රෙජිමේන්තුකරණය වෙච්ච රටකට එක වරිගෙකට, එක පවුලකට භාර නොදී ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පවුල් පනස්පන් ලක්‍ෂයටම භාර දීම තමයි රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ.

අද මේ රටේ දේශපාලන ප‍්‍රවණාතාවයක් තිබෙනවා. ඒක තමයි මේ දේශපාලන පක්ෂවලට ගැටගැහිච්ච නැති  විශාල පිරිසක් ඉන්නවා. අදටත්, මේ අවසානයේ තිබෙන සංඛ්‍යාලේඛන අනුවත් මේ රටේ 30% ක් පමණ ජනතාවක් තවම තීරණය කර නැහැ මේ ජනාධිපතිවරණයේදී කාටද ඡන්දය දෙන්නේ කියලා. මේ 30% තමයි තීරණය කරන්නේ කවර දේශපාලන පක්ෂයක්, කවර මත ප‍්‍රකාශ කළත් අනාගත ජනාධිපතිවරයා කවුද කියලා. මේ අය ඇතැම් විට උගත්තු, වෘත්තීයවේදියෝ, එහෙම නැත්නම් සමාජ කි‍්‍රයාකාරීන්.   නමුත් ජයග‍්‍රාහකයා තීරණය වෙන්නේ පක්ෂවල ජනතාව අතරින් නෙමෙයි. අනිවාර්යයෙන්ම මේ මැදිහත් නොබැඳි ඔබවැනි ජනතා සංවිධානවලින් තමයි ජයග‍්‍රාහකයා තීරණය කරන්නේ.

ඒ වගේම යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලිය දූෂිතයින්ට පමණක් නෙමෙයි අපරාධකරුවන්ට දඬුවම්දීමේ කි‍්‍රයාවලිය පොලිස් සේවය, අධිකරණ සේවය, බන්ධනාගාර සේවයේ විප්ලවකාරී පරිවර්තනයක් සිදුවිය යුතු යුගයක් ඇවිත් තිබෙනවා. එම විප්ලවකාරී පරිවර්තනය අපි මීළඟ රජයේදී ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා.  යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලිය, ස්වාධින පමණක් නෙමෙයි, කාර්යක්ෂම අපක්ෂපාතී කි‍්‍රයාවලියක් කරන්නත් ඒ වගේම විශිෂ්ඨතා ඇති පිරිස් පොලීසියේ විමර්ශන අංශවලට වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ අංශවලටත්, ඒ වගේම බන්ධනාගාරය අපරාධකාරයින්ගේ ක්‍ෂෙම භූමියක් නොවී කාර්යක්‍ෂම බන්ධනාගාර සේවයක් බවට පරිවර්තනය කරන්න අපි කටයුතු කරනවා. 

ඒ වගේම ප‍්‍රායෝගිකත්වය, මේ රටේ ගොඩක් අපට බලපා තිබෙන විශාල ගැටලුවක් තමයි රටේ අනවශ්‍ය තරම් දාර්ශනික මතවාද වැඩිවීම. ධනවාදය, සමාජවාදය, කොමියුනිස්ට්වාදය, ලිබරල්වාදය, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වගේ අදහස විශාල ප‍්‍රමාණයක් ඇවිත් දැන් ජාතිකවාදය ආගමික අන්තවාදය වගේ තවත් නොයෙක් පැති ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා මේවා තුළින් නැතිව අපි ප‍්‍රායෝගිකව ඉදිරියට යා යුතුයි. අද මේ ලෝකය දුවන්නේ ප‍්‍රායෝගික මිනිසුන් අතින්. අද මේ ලෝකයේ අනාගතය තීරණය වෙන්නේ තාක්ෂණයේ ජය කෙහෙළි  නංවන ප‍්‍රමාණය මතයි” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.