අධි චෝදනා පත්‍ර දී : සජින් ඇප පිට ගෙදර යවයි !

අධි චෝදනා පත්‍ර දී : සජින් ඇප පිට ගෙදර යවයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කල කාලය තුළ නීති විරෝධී ලෙස රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ අදාල නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණි.

ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද නියෝග කළේය.

විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයක් තිබේනම් එය අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව නියෝගයක් කළ මහාධිකරණ විනිසුරුවරයා විදේශගත වීමට අවශ්‍ය නම් අධිකරනයෙන් අනුමැතිය ලබාගෙන එය කළ හැකි බවයි කියා සිටියේ.

අනතුරුව නඩුව නැවත ඔක්තෝබර් මස 01 වනදා කැඳවීමට ද නියම කෙරුණි.

2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාට "කොස්මෝස්" යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවද විමර්ශන වලදී හෙළිවී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් වූ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා එහි කොටස් ඔහුගේ බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කළද ඔහු එම ව්‍යාපාර කටයුතු සක්‍රීයව පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද සඳහන් වෙයි.

මෙම ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන විසින් රුපියල් 306,268,194/- ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව ද නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධි චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න