ගෝඨාගේ බලපෑම් හමුවේ බැසිල් පසුබසි :විමල්-ගම්මන්පිල සන්ධානයට !

ගෝඨාගේ බලපෑම් හමුවේ බැසිල් පසුබසි :විමල්-ගම්මන්පිල සන්ධානයට !

පොදුජන පෙරමුණ (පොහොට්ටුව), ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් සන්ධාන ගතවීම සඳහා ඒකාබද්ධයේ පක්ෂ නායකයින් හමුවේ පැවැති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි ඇත.

ඒ සමඟම පක්ෂයේ ව්‍යවස්ථාවට සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතිය ලැබුණු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ (04) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධයේ සිටින අනෙකුත් පක්ෂ අතර ඇති කර ගැනීමට බලාපොරොත්තුවන සන්ධානය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ ව්‍යවස්ථාව පිළිබඳව අනෙකුත් පක්ෂවලින් මිට ඉහතදී විරෝධයක් මතුවී තිබිණ.

ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒකාබද්ධයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ද්විපාර්ශ්වීය ගිවිසුම් ගතවීම පසුගිය ජුලි මස 26දා සිදු කිරීමට නියමිතව තිබුන ද පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබු කොන්දේසි මත එම අවස්ථාව වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කටයුතු කළේය.

එයට හේතුව ලෙස එකී පක්ෂ නායකයන් සඳහන් කර සිටියේ, සියලු පක්ෂ ඒකරාශි කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම මග හැර පොදුජන පෙරමුණ තනි තනි පක්ෂ සමග වෙන වෙනම ගිවිසුම් ගතවීම තමන් ප්‍රතික්ෂේප කරන බව ය.

ඒ අනුව මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ 8ක් මෙම අවස්ථාවට එක නොවිය. මීට අමතරව හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා සහ ප්‍රභා ගනේෂන් යන මහතුන්ගේ පක්ෂ ද මෙම අවස්තාවට සහභාගි නොවීය.

බැසිල් කකුලෙන් අදින බවට චෝදනා: මහින්දට කල දේම කරයි ද සැකයක්!

එසේ තම විරෝධය පලකල විමල් හා ගම්මන්පිල ඇතුළු පිරිස බැසිල්ගේ කොන්දේසි ඉවත්කර නොගන්නේ නම් නව සන්ධානයකට එකඟ නොවන බවටත් ගෝඨාබයට සහයදීම සඳහා 'පොහොට්ටු' වේදිකාවට ගොඩ නොවනබවට තර්ජනය කර තිබිණ.

එසේම විමල් විරවංශගේ වෙබ් අඩවි වලින් බැසිල් රාජපක්ෂට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කල අතර 2015 මහින්ද රාජපක්ෂ පරාජය කලේද බැසිල් බවට ද චෝදනා කර තිබිණ.

ජනතාව ඉල්ලන්නේ 56 මෙන් සමාජ පෙරළියක් බවත්, ඒ සඳහා මහා ජාතිකවාදී වාමවාදී දේශපාලන සන්ධානයක් අවශ්‍ය වන බවත්,ඒ නිසා තනි පක්ෂයකින් අපේක්ෂයෙකු ලෙස පෙනී සිටීම වෙනුවට මහා ජාතික සන්ධානයකින් ඉදිරිපත් වන ජාතියේ පොදු අපේක්ෂකයා බවට ගෝඨාබය පත් විය යුතු බවත් විමල් විරවංශගේ පක්ෂයේ නායකයකු වන වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර පසුගියදා සිදුකළ දේශපාලන විග්‍රහයක දී ද අවධාරණය කර තිබේ.

මෙම තත්වය යටතේ බැසිල් වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති ගෝඨාබය, තමාව දේශපාලන කරලියට ගෙනා විමල් හා උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයින්ගේ සහය තමාවෙත ලබාගැනීම සඳහා සන්ධාන ව්‍යවස්ථාව වහාම සංශෝධනය කරන්නැයි අවධාරණය කර ඇත.

බැසිල් රාජපක්ෂ සන්ධානයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එකඟ වී ඇත්තේ ඉන් අනතුරුවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න