සජිත් එනවා රැස්වීම් මාලාවේ කුරුණෑගල දිස්ත්‍රික් රැළිය සැප්තැම්බර් 05 වනදා අනිවාර්යයෙන් පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසයි.
සති දෙකක කාලය අවසන් වන තුරු රැස්වීම් නොපැවැත්වීමට එජාප නායකයින් තීරණයකට එළඹ ඇති බව සඳහන් කරමින්, පළවන පුවතක් සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කරයි.
ඒ අනුව සැප්තැම්බර් 05දා කුරුණෑගල දී පැවැත්වීමට නියමිත 'සජිත් එනවා' ජනහමුව නොපැවැත්වෙන බවටත් ඉඟි කරමින් ගෝඨාබය රාජපක්ෂ වෙනුවෙන් මැතක දී ආරම්භ කළ පුවත්පතක පලවී ඇති වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව නලින් බණ්ඩාර අමාත්‍යවරයා පැවසිය.
සැලසුම් කල පරිදි ම 'සජිත් එනවා' රැස්වීම මාලාව රටපුරා සංවිධානය කරන බව කියා සිටි නලින් බණ්ඩාර අමාත්‍යවරයා, ඒ අනුව කුරුණෑගල රැස්වීම සැප්තැම්බර් 05දා කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි වැඩිදුරටත් කියා සිටියේය.
කුරුණෑගල දිස්ත්‍රීක්කය නියෝජනය කරන අශෝක අබේසිංහ, නලින් බණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ හා තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විසින් සංවිධානය කෙරෙන මෙම රැස්වීම කෙසේ හෝ කඩාකප්පල් කිරීම සඳහා එජාප මහ ලේකම් හා කුරුණෑගල එජාප නායක අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා බලවත් උත්සාහයක දී සිටින බවටත් සජිත් පාර්ශවය චෝදනා කරයි.
ඔහු ඊයේ (31) දිනයේ එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම දුරකථන ඇමතුම් ලබාදෙමින් මෙම රැස්වීමට නොයන්නැයි බලපෑම් කර ඇති බවත් එහිදී කියවේ.
කෙසේවුවද, ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා තෙක් එකිනෙකා විවේචනය නොකිරීමට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය විසින් මේ වනවිට තීරණය කර ඇති අතර ඒ අනුව 'සජිත් එනවා' රැස්වීම මාලාවේදී එම තීරණය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට එහි සංවිධායකයින් එකඟත්වයට එළඹ ඇති බවත් එම පාර්ශවයේ ප්‍රබලයකු පැවසීය.


