මාධ්‍යවේදී කීත් නොයාර්ට කෲර වදහිංසා කළ : යුද හමුදා සාජන් මේජර් රිමාන්ඩ් !

මාධ්‍යවේදී කීත් නොයාර්ට කෲර වදහිංසා කළ : යුද හමුදා සාජන් මේජර් රිමාන්ඩ් !

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදී කෲර වදහිංසා කළ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශ සාජන් මේජර් චාමික සුමිත් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයට පත් කළ ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම ලියනගේ නියෝග කර ඇත.

එසේම මෙම සිද්ධියේ නව වැනි සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුධ හමුදා බුද්ධි නිලධාරී ලලිත් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

සැකකරුට ඇප නියම කිරීමේදී ඇප තැබිමෙන් අනතුරුව විදෙස් ගමන් තහනම් කිරිමේ නියෝගයක් ද පැනවීය.

2008 මැයි මස 22 වැනිදා රාති‍්‍ර 11. 39ට පමණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නිති විරෝධී ලෙසින් රඳවා තබාගෙන කෲර වදහිංසාවලට ලක්කර පසුව මුදා හැර තිබිණි.

මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ උපදෙස් අනුව අත්අඩංගුවට ගනු ලැබූ මෙහි දහ වැනි සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශන වල ප‍්‍රගතිය අධිකරණයට දැනුම් දුන් රහස් පොලීසිය මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් ප‍්‍රකාරව මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බවත් මාධ්‍යවේදී කිත් නොයාර් මහතා පැහැරගෙන ගොස් දොම්පේ බදුවත්ත ප‍්‍රදේශයේ නිවසකට රැගෙන ගිය සැකකරුවන් අතර මෙම සැකකරු ද සිටින බවට කරුණු අනාවරණය වි ඇතැයි ද දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි බලකායේ මේජර් ප‍්‍රභාත් ශ්‍රී සීවලී බුලත්වත්ත, හේමචන්ද්‍ර පෙරේරා, ප‍්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත ජයතිලක, නිශාන්ත කුමාර, චන්ද්‍රභය ජයසූරිය ඇතුළු බුද්ධි නිලධාරීන් හත් දෙනකු සැකකරුවන් ලෙසට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර මෙම අපරාධයට ආධාර හා අනුබල දුන් බවට සැකපිට මාස 05 ක කාලයක් රිමාන්ඩි භාරයේ පසුවු මෙහි අටවැනි සැකකරු වන හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ (විශ‍්‍රාමික) මේජර් ජනරාල් කුරුප්පු ආරච්චිගේ ධම්මික අමල් කරුණාසේකරද ඇප මත මුදා හැර ඇත.

මෙම සිද්ධිය ලබන දෙසැම්බර් මස 03 වැනිදා කැඳවිමට නියම කළ මහේස්ත‍්‍රාත්වරයා රක්ෂිත භාරයේ සිටින සැකකරු සදහා ලබන 27 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න