ජනාධිපතිවරණ නාම යෝජනා අවසන් වීමට කලින්, සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණ සටනින් ඉවත් වීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ.
මේ අනුව "පරිසරය රැක ගැනීම සදහා යැ"යි කියමින් ගෝඨාභය රාජපක්ෂගේ සියළු පෝස්ටර්, බැනර් සහ කටවුට් ගලවා ඉවත් කරන ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 'පොහොට්ටු' පක්ෂ සංවිධායකයින්ට මේ වන විටත් දැනුම් දී ඇත.
ජනාධිපතිවරණය නොවැම්බර් මස මැද දිනයකදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බැවින්, ඒ සදහා නාමයෝජනා කැදවා අවසන් කිරීම ඔක්තෝබර් මුල දිනයකදී සිදුවන බවත්, ඊට පෙර කිසිදු ලෙසකින් ගෝඨාභය රාජපක්ෂ ගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නොහැකි පසුබිමක් තුළ ජනාධිපති සටනින් පසු බසිනවා හැර වෙන කරන්නට කිසි දෙයක් නොමැති බවත් රාජපක්ෂ පවුලේ සහ 'පොහොට්ටු' පක්ෂ නායකයන් අතර ඉකුත් සති අන්තයේ පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ පවසන ආකාරයට සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාල ලියකියවිලි ඉකුත් අප්‍රේල් මාසයේ දී ඔහු විසින් භාර දී තිබූ අතර, ඉකුත් මාර්තු මස සිට ජූනි 30 දා දක්වා එසේ භාර දුන් අයදුම්පත් සම්බන්ධයෙන් සලකා බලා අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ අයගේ ලේඛනය ඉකුත් දා ප්‍රකාශයට පත් විය.
එහෙත් අනපේක්ෂිත ලෙස එහි ගෝඨාභය රාජපක්ෂ ගේ නම නොතිබූ අතර, ගෝඨාභය රාජපක්ෂ බලාපොරොත්තු වන ආකාරයට ඔහුගේ නම මීළඟ ලැයිස්තුවට ඇතුළත් කරනු ඇත. එහෙත්, මීළඟ ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරෙනුයේ නොවැම්බර් මස 15 වන දින වන අතර, ඒ වන විට නාමයෝජනා කැදවා අවසන් කර ඇති බැවින්, ගෝඨාභය රාජපක්ෂට එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු හැකියාවක් නොමැති බ්ව 'පොහොට්ටු පක්ෂයේ' නායකයන් විසින් පෙන්වා දී තිබේ.
ඒ අනුව යථාර්ථයට මුහුණ දිය යුතු බවත්, තව දුරටත් ගෝඨාභය රාජපක්ෂ ගැන පාක්ෂිකයාගේ බලාපොරොත්තු ගොඩ නැංවීම මගින් කිසිදු යහපතක් සිදු නොවන බවත්, එම නායකයන් පෙන්වා දී ඇත. එසේම, බලාපොරොත්තු නොවන අවසන් මොහොතක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සටනින් ඉවත් වන බව ප්‍රකාශයට පත් කළහොත්, පාක්ෂිකයාගේ චිත්ත ධෛර්‍යය යළි ඉහළ නැංවිය නොහැකි ලෙස කඩා වැටෙන බව පෙන්වා දී ඇති එම නායකයන්, වඩා යෝග්‍ය වන්නේ ක්‍රමානුකූලව ගෝඨාභය රාජපක්ෂ ජනපති සටනින් ඉවත් කෙරෙන බවට පාක්ෂිකයාට දැනෙන්නට සැලැස්වීම බවත් ඔවුන් පෙන්වා දී ඇත. ඒ අනුව, වහාම රටපුරා ඇති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රචාරක පුවරු, බැනර් සහ පෝස්ටර් වහාම ඉවත් කර දැමීමට තීරණය වී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස 'පරිසරය රැක ගැනීමේ' අරමුණින් පෝස්ටර්, බැනර් සහ කටවුට් ගලවා ඉවත් කරන ලෙස නාමල් රාජපක්ෂ 'පොහොට්ටු' පක්ෂ සංවිධායකයින්ට සහ මන්ත්‍රීවරුන්ට මේ වන විටත් දැනුම් දී ඇත.
නාලකට - දිලිත්ට දොස් !
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම "සියයට අනූ නමයක්" ම ඉවරයි යනුවෙන් බොරු පුරසාරම් කියා, ඔහුව 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂකයා බවට නම් කරවා ගැනීමට බල කරවා, මුළු 'පොහොට්ටු' පක්ෂයම දැන් පත්වී ඇති ඉතා අසීරු තත්ත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් ගෝඨාභය රාජපක්ෂ ගේ හිතවතුට එරෙහිව මේ වන විටත් ගොඩ නැගෙමින් පවතී. විශේෂයෙන් 'වියත් මග' සංවිධානයේ නාලක ගොඩහේවා, දැන්වීම් ප්‍රචාරක ආයතනයක් හිමි දිලිත් ජයවීර සහ ගෝඨාභය රාජපක්ෂ වටා සිටින් හිටපු හමුදා ප්‍රධානීන් ගේ අදූරදර්ශි ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනය කර ඇති 'පොහොට්ටු' නායකයන්, තමන් අමාරුවෙන් ගොඩ නැගූ පක්ෂයේ ජනාධිපති සටන මේ ආකාරයට විනාශ කර දැමීම 'සමාව නොදිය හැකි' දේශපාලන වරදක් බව පෙන්වා දී තිබේ. මින් ඉදිරියට 'ගෝඨාගේ' බල ඇණියට රැවටෙන්න එපායැයි එම නායකයා සෙසු 'පොහොට්ටු' නායකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා ඇත.
පවතින තත්ත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂට 'අල්ලපු අත්තයි, පය ගහපු අත්තයි' දෙකම නැතිවිය හැකි බැවින්, වහාම අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කළ ඉල්ලීම අස් කර ගැනීමට හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙස ගෝඨාභය රාජපක්ෂට හිතවත් මුස්ලිම් ජාතික ජනාධිපති නීතිඥවරයෙකුට මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ විසින් දැනුම් දී ඇති බව ද වාර්තා වේ. එය කඩිනමින් සිදු කරන ලෙස ද, එසේ නොමැති වුවහොත් ජනාධිපතිකම පමණක් නොව, අමෙරිකානු පුරවැසිභාවය ද තමන්ට අහිමි වනු ඇති බව ගෝඨාභය රාජපක්ෂ එම නීතිඥවරයාට කියා ඇතැයි ද අනාවරණය වේ.

