පොසොන් සැමරුම ගැන : අගමැතිගෙන් නිවේදනයක් !

පොසොන් සැමරුම ගැන : අගමැතිගෙන් නිවේදනයක් !

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ පසුබිම තුළ පොසොන් උත්සවය අති උත්සවාකාරයෙන් සැමරීම සම්බන්ධව ලක්වාසී සියලු දෙනාට තුති පුදකරන්නට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර එම නිවේදනය පහත දැක්වෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය !

ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සමග කළ සාකච්ඡා වාර කීපයකින් පසු මම පසුගිය ජූනි 05 වෙනි දා ඔබ සැමගෙන් ඉල්ලා සිටියේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පෙර සිරිත් අනුව ඉතා ඉහළින් පොසොන් උත්සවය සමරන ලෙසයි.

ඒ අනුවම යමින් අපට පොසොන් උත්සවය ඉතා ඉහළින් සමරන්නට පුළුවන් වුණා. ප්‍රතිපත්ති පූජා මෙන්ම ආමිස පූජාවන් ද රට පුරා පැවැත්වුණි. වෙනදා පොසොන් උත්සවයට මුල් තැනක් නොදෙන ප්‍රදේශවලත් මෙවර පොසොන් දිනය ඉතා උත්කර්ශවත් ලෙස සමරන අයුරු අප නිරීක්‍ෂණය කළෙමු.

මෙවර පොසොන් උත්සවය සාර්ථක හා ඉහළ මට්ටමින් සැමරීමට සම්මාදම් වූ සියළු දෙනාටම අපි අපේ ස්තුතිය පළ කරමු. මේ සම්බන්ධව අපේ මහා සංඝ රත්නය ලබා දුන් නායකත්වයට අපගේ ගෞරව නමස්කාරය පුද කර සිටිමු. එසේම රජයේ මැති ඇමතිවරු, නිලධාරීන්, ආරක්‍ෂක අංශ, විදුහල්පතිවරු සහ පාසැල්, රාජ්‍ය හා පුද්ගලික ආයතන ආදියත් ලබා දුන් සහයෝගය අගය කරමු. විශේෂයෙන්ම රට පුරා ජනතාව කිසිදු භේදයකින් තොරව පොසොන් සැමරීමට එක් වූහ. ඔවුන් දැක්වූ භක්තිය සහ උද්‍යෝගය නිසා අපේ රට පිළිබඳව යහපත් චිත්‍රයක් ලෝකයටම දැක ගන්නට ලැබිණි. මේ සියළු දෙනාට ද අපගේ ස්තුතිය පළ කර සිටිමු.

ඊළඟට උදාවනුයේ ඇසල පෙරහැර සමය යි. පෙරහැර උත්සවය අපි වෙනදාටත් වඩා උත්කර්ෂවත් හා අභිමානවත් අන්දමින් පැවැත්විය යුතුය. ඒ පිළිබඳව මල්වතු – අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා සමගත්, දියවඩන නිලමේතුමා සමගත් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙමි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ රටට එක්වුණු අඳුරු පැල්ලම මකා දමන්නට හැකි වෙන්නේ එක මවකගේ දරුවන් ලෙස සමගි සම්පන්නව එක්ව නැගී සිටීමෙන් පමණය. ඒ උදාර අරමුණ වෙනුවෙන් අපි සැවොම අත්වැල් බැඳ ගනිමු.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න