මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සහරාන් පසුගිය ජනාධිපතිවරණයේ දී "වැඩ කළේ" වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේනට බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ බදාදා (ජුනි 13) සාක්ෂි ලබා දෙමිනි.
"එයා පසුගිය ජනාධිපතිවරණයේ දී සම්පුර්ණයෙන් ම වැඩ කළේ අපිට විරුද්ධව. මම වැඩ කළේ මහින්ද රාජපක්‍ෂට. එයා සම්පුර්ණයෙන් ම වැඩ කළේ වර්තමාන ජනාධිපති තුමාට. එයා පල්ලි ඔක්කොම පාවිච්චි කරල වැඩ කළා." හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා පැවසීය.
තමන් එවකට මඩකලපුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම අපේක්ෂකයන් ට නායකත්වය දුන් අපේක්ෂකයා ලෙස කටයුතු කළ බව ද ඔහු සනාථ කළේය.
"සහරාන් ගැන නොදැන සිටියේ කෙසේද?"

තමන් සහරාන් පිළිබඳව කිසිදු ආරක්ෂක ලේකම්වරයෙකු සමඟ සාකච්ඡා කර නොමැති බවත් ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ යැයි තමන් දැන නොසිටි බවත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා අවධාරණය කරයි.
සහරාන්ගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳව අනෙකුත් පිටස්තර උදවිය දැන සිටියදී කාත්තන්කුඩිය නියෝජනය කරන ප්‍රධාන දේශපාලනඥයා වශයෙන් තමන් නොදැන සිටීමට හේතුව කුමක් දැයි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් හිටපු ආණ්ඩුකාරවර හිස්බුල්ලා කියා සිටියේ සහරාන් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියා නම් තමන් පැමිණිලි කරන බවය.
සහරාන් පිළිබඳව ඉහළ බලධාරීන්ට කලින් දැනුම් දුන් බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, රිස්වි මුෆ්ති මව්ලවිතුමා සහ ඇතැම් මුස්ලිම් ප්‍රජා නායකයන් මීට ඉහතදී පවසා තිබිණි.
සහරාන් සහ හිස්බුල්ලා අතර තිබූ "ගිවිසුමක්" ගැන ප්‍රශ්න කෙරෙයි
2015 මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා සංගීතය යොදා ගත් බැවින් සහරාන් තමන්ට එරෙහිව කටයුතු කළ බව හිටපු ආණ්ඩුකාරවර හිස්බුල්ලා පැවසීය.
"එනවුන්ස් කරන කොට සින්දු දැම්මා. සින්දු දැම්ම නිසා ගිවිසුම අවලංගුයි කියල ඊට පස්සේ එයා මට විරුද්ධව වැඩ කළා. මාව පරාද කළා. මගෙන් ඡන්ද දෙදාහක් විතර අඩු කළා. මම 121කින් පැරදුණේ. ඊට පස්සේ ජනාධිපතිතුමා මාව ජාතික ලැයිස්තුවෙන් පත් කළේ." ඔහු ප්‍රකාශ කළේය.
ජාතික ලැයිස්තුවෙන් පත්වීම ලැබීමෙන් අනතුරුව ද "සහරාන් විශාල උද්ඝෝෂණයක්" දියත් කරමින් තමන්ට එරෙහිව ක්‍රියා කළ බව හෙතෙම කියා සිටියේය.
සහරාන්ට වරෙන්තු නිකුත් කර තිබූ හෙයින් 2017 මාර්තු මාසයේ දී ඔහු "ගමෙන්" පිටවූ බව හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
(බීබීසී)

