තීන්දුවක් නැතිව උමා ඔය නඩුව අවසන් !

තීන්දුවක් නැතිව උමා ඔය නඩුව අවසන් !

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා ‘‘උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ‘‘ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව තීන්දුවකින් තොරව අවසන් කිරීමට මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර ඊයේ (08) තීන්දු කර ඇත.

ඊයේ වන විට එම නඩුව දස වතාවක් විභාගයට ගෙන තිබූ අතර පැමිණිළි පාර්ශවය වෙනුවෙන් ආරම්භයේ සිට මේ දක්වාම ජනාධිපති නීතීඥ විජය නිරංජන් පෙරේරා, නීතීඥ යසන්තා රාජපක්ෂ සහ නීතීඥ ඕෂධී පෙරේරා ඉදිරිපත්ව සිටියහ.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් රජයේ නීතීඥ අවින්ද්‍රා ද සිල්වා ඇතුළු රජයේ නීතීඥවරුන් කිහිප දෙනෙක් වරින් වර ඉදිරිපත් වූහ.

ඊයේ දින නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙහි පැමිණිළි පාර්ශවය විසින් ඉල්ලා සිටින සහනයන්ම ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේද නඩුවක් විභාග වන බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා, එකම කරුණක් උදෙසා ශ්‍රේෂ්ඨාධිකරණයේද විභාග වන නඩුවකට සමාන නඩුවක් ඌවපළාත්බද මහාධිකරණයේද පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් දෙපාර්ශවයේම එකඟත්වය මත මෙම නඩුව එදිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව ප්‍රකාශ කළේය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් හටගත් විවිධ පාරිසරික ව්‍යසනයන් මත සිදුවූ නිවාස, දේපළ හා වගා හානි තුළින් අගතියට පත් ජනතාවට ප්‍ර‍මාණවත් ලෙස හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සහන ලබානොදීම පිළිබඳව විරෝධය පළකරමින් එම ජනතාවට කඩිනමින් හා සාධාරණ ලෙස වන්දි හා සහන ලබාදෙන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබිණ.

ඒ මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ, උමාඔය සහන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ යන අය වග උත්තරකරුවන් කරමින්ය.

අදාළ නඩුවේ පැමිණිළිකරුවන් වන උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්.ඒ.බෝධිපාල යන අයද වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් හා ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් හා එම පාර්ශවයේ නීතීඥයින් කිහිප දෙනෙක්ද එම අවස්ථාවට සහභාගීව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න