අගමැතිව වහාම නීතිය හමුවට ගෙනෙන්න - උලපනේ සුමංගල හිමි

අගමැතිව වහාම නීතිය හමුවට ගෙනෙන්න - උලපනේ සුමංගල හිමි

මුදල් අමාත්‍යාංශය සතුව පැවති ශ්‍රී ලංකා මහ බැංකුව සිය යටතට ගෙන අගමැතිවරයා තම ගජමිතුරෙකු එහි අධිපතිවරයා බවට පත් කරන ලද්දේ මහ බැංකු මගඩිය සිදු කිරීම සදහාම වන නිසා මහ බැංකු බැදුම්කර මගඩියට සෘජුවම වගකිව යුතු අගමැතිවරයාව වහාම නීති හමුවට පැමිණ විය යුතු බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් සඳහන් කරයි.

එසේම බැදුම්කර මගඩියේ සියලු වැරදි රවී කරුණානායක මන්ත්‍රීවරයා මත පැටවීමට රජය උත්සහ දරමින් සිටින බවක්ද පෙනීයන බව සඳහන් කල සභාපති හිමිනම අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවද සඳහන් කළේය.

අගමැතිට හොරා කියන්න ඒකාබද්ධ විපක්ෂයට අයිතියක් නෑ

තවද ඒකාබද්ධ විපක්ෂයේ සිටින පල් හොරුන්ට බැදුම්කර මගඩිය ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, කෝටි ගණන් හොරා කන ලද බවට සිය බිරිද විසින්ම ඔප්පු කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ රනිල් වික්‍ර‍මසිංහට හොරා කියන බවත්, නයා ගැසුවා කියා අධිකරණය මගහැරපු රෝහිත අබේගුණවර්ධන, රනිල් වික්‍ර‍මසිංහට හොරා කීමට කිසිදු අයිතියක් නොමැති බවත් කියා සිටි උලපනේ සුමංගල හිමියන් රාජපක්ෂ හොරු සහ යහපාලන හොරු එක සිරගෙට ගාල් කළ යුතු බවද අවධාරණය කළේය.

යහපාලන කතා වැදිබණ කරන්න එපා

එම අවස්ථාවට එක්වූ දූෂණ විරෝධී උපදේශක නිශාන්ත වර්ණසිංහ සඳහන් කර සිටියේ මෙරට දේශපාලනයට පුර්වාදර්ශයක් සැපයිය යුතු පාර්ලිමේන්තුව තුළ පසුගියදා සිදුවු ගැටුම ඉතාම පිළිකුලින් යුතුව හෙලා දකින බවත් පාර්ලිමේන්තුව තුළ සිදුවන මෙවැනි සිද්ධි යහපාලනය පිලිබද අප කතා කරන සියල්ල වැදි බණ බවට පත් කරන බවත් ය.

පාර්ලිමේන්තුව තුළ පසුගියදා සිදුවු සිද්ධියට කතානායකවරයා වගකිව යුතු බවත් බැදුම්කර වාර්තාව ගැන සාකච්ඡා කිරීමට රැස් කරන ලද පාර්ලිමේන්තුවට අදාළ වාර්තාව ලැබී නැත්නම් කතානායකවරයා කළ යුතුව තිබුනේ පාර්ලිමේන්තුව කල්තැබීම බවත් එය සිදු නොකර බැදුම්කර සිද්ධියට අදාළ වෙනත් ප්‍ර‍කාශ කිරීමට ඉඩ දීමෙන් ඉහත ගැටුම සිදුවු බවද ඔහු පෙන්වා දුන්නේය.

හිටපු හොරුන්ට සමාවදීම නිසා අලුත් හොරු බිහිවුණා

මෙහිදී අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ සංවිධායක තුසිත බාලසූරිය කියා සිටියේ හිටපු හොරුන්ට නඩු නොඅසා සමාව දීම නිසා, නඩු නොඅසා නිදහස් කිරීම නිසා අලුත් හොරු රැසක් බිහිව ඇති බවත් පළාත් පාලන ආයතන වලට සියලුම පක්ෂවලින් හොර, මැර හා ජඩ අපේක්ෂකයන් ඉදිරිපත් වන බවට දූෂණ විරෝධී පෙරමුණට වාර්තා වීමට එය හේතුවක් වී ඇති බවත් ය.

කුඩු - ගණිකා - පාතාල කෙරුමන් මෙවරත් අපේක්ෂකයින්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවය කුප්‍රකට කුඩු ව්‍යාපාරිකයෙක් මැතිවරණයට ඉදිපත් වන බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සභාවට ගණිකා ජාවාරමෙහි නිරත වන පුද්ගලයෙකු ඉදිරිපත් වන බවත්, කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල නගර සභාවට කුප්‍ර‍කට පාතාල කල්ලි සාමාජිකයෙක් ඉදිරිපත් වන බවත් ඔහු විසින් හෙළිදරව් කළේය.

ඉදිරි කාලය තුළ තවත් දූෂිත අපේක්ෂකයන් නම් කිරීමට බලාපොරොත්තු වන බව පැවසු දූෂණ විරෝධී පෙරමුණේ සංවිධායක තුසිත බාලසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයෙදී මෙම හොර, මැර සහ ජඩ අපේක්ෂකයන් පරාජයට පත් කරන ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න