Image

පවතින ව්‍යවස්ථාවේ 9 වගන්තියේ අකුරක්වත් වෙනස් කරන්නේ නෑ - අගමැති රනිල්

පවතින ව්‍යවස්ථාවේ 9 වගන්තියේ අකුරක්වත් වෙනස් කරන්නේ නෑ - අගමැති රනිල්

කුමන තත්ත්වයක් යටතේවත් පවතින ව්‍යවස්ථාවේ බුදුදහමට ලබාදී ඇති ප්‍රමුඛ ස්ථානය වෙනස් නොකරන බවත් ඒ සම්බන්ධයෙන් පවතින 9 වෙන වගන්තියේ එක අකුරක්වත් වෙනස් නොකරන්නට එක්සත් ජාතික පක්ෂය පොරොන්දුව ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (28) මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසු අතර එහිදී සිදුකල සම්පුර්ණ කතාව පහත දැක්වේ.

අද දළදා වහන්සේ වැද පුදාගෙන අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහා නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසුණා. මේ රටේ ව්‍යවස්ථාවත්, ජනතා පරමාධිපත්‍යයත් ආරක්ෂා කිරීමට ගත් පියවර පිළිබඳව එහිදී මම එම නායක ස්වාමීන් වහන්සේලා සියළුම දෙනාටම ස්තුති කළා. අපි ස්ථාවර ආණ්ඩුවක් බිහිකර එහි ස්ථාවරභාවය ආරක්ෂා කර ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම මහානායක ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව ගත් පියවර අපි අගය කරනවා. අපේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අද දින අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කළා.

ගම් මට්ටමින් සහන ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමේදී දැනට තිබෙන ව්‍යවස්ථාවේ  බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම සම්බන්ධයෙන් පවතින 9 වෙන වගන්තියේ එක අකුරක්වත් වෙනස් නොකරන්නට එක්සත් ජාතික පක්ෂය එකඟ වෙලා තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳව විපක්ෂයේ සමහර පක්ෂ සමඟත් මම සාකච්ඡා කරලා තියෙනවා.

ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීමටත්, ඒකීය රාජ්‍ය ඉදිරියට ගෙන යාමටත් කටයුතු කරන බව මම අපේ මහානායක ස්වාමීන් වහන්සේලාට දැනුම් දුන්නා. මෑතකදී අන්තවාදීන් පිරිසක් විසින් බුදුපිළිම කිහිපයකට හානි සිදු කර තිබෙනවා. ඒ සිදුවීම සම්බන්ධයෙන් තදීන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් මම උපදෙස් ලබාදුන්නා. මේ වන විට එම සිදුවීමට සම්බන්ධ අන්තවාදීන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව හින්දු දේවස්ථානයකට හානි සිදුකිරීමක් පිළිබදව ද, අපට දැනගැනීමට ලැබුණා. මීට සම්බන්ධ පුද්ගලයන්ට කිසිදු සහනයක් ලබා නොදී නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස මම අදාල අංශවලට උපදෙස් ලබාදුන්නා. විශේෂයෙන්ම හානියට පත්වූ බුදුපිළිම සහ දේවස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ද රජයක් ලෙස අපි කටයුතු කරනවා.  

B37A9314

B37A9352

B37A9357

B37A9361

B37A9381

B37A9418

B37A9466

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න