Language Switcher

V2025

රට පැන්නා කියූ රවී : ලංකාවට ඇවිත් !

මෙක්සිකෝවේ  දින අටක  සංචාරයක් සඳහා  පිටත්ව ගොස් සිටි ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඊයේ  (19) යළි දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.  

කප්පම් ගැනීම සඳහා  තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන  සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නාවික හමුදවේ හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘නේවි සම්පත්‘ නැමැත්තාට සැඟව සිටීමට   ආධාර අනුබල ලබාදුන් බව  කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට විජේගුණරත්නව   ඉකුත් 10 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුවට කැඳවා තිබියදී  එදින අලුයම මෙක්සිකෝව බලා පිටත්ව ගොස් තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කළේය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ප‍්‍රකාශයක් ලබා ගැනීමට  පැමිණෙන ලෙසට දැනුම් දී තිබියදී සිය දෙපාර්තමේන්තුවට නොදන්වා ඔහු විදේශ ගත වූ බවයි. එහෙත් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාල   එදින දහවල් නිවේදනයක් නිකුත්  කර  කියා සිටියේ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  රජය  නියෝජනය කරමින් මෙක්සිකෝව බලා ගියේ එහි 208 වැනි නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් බවත් ඔහු  යළි  19 වැනි දින යළි මෙරටට   පැමිණෙන බවට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කලින් දැනුම්  දී ඇති බවයි. මේ අතර  ලංකාවට පැමිණ සිටින  ආරක්ෂක  මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න  ඉදිරි දිනයක ප‍්‍රකාශ ලබා ගැනීම සදහා කැඳවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

අළුත් දිනයක් දෙන්න - මම එනවා : රවී 

සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් විජේගුණරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ  තමන්  මෙරටින් පලා නොගිය බවත්  මෙක්සිකෝවේ  නිදහස් උත්සව සැමරුමකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිළ වශයෙන් සහභාගි වූ බවත්ය. 

එසේම තමන් 19 වනදා සිට  සිය කාර්යාලයේ සුපුරුදු රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  දිනයක් දැනුම් දුන් පසු  තමන් එහි පෙනී සිටින බවත්  අද්මිරාල් විජේගුණරත්න  වැඩිදුරටත් පවසා ඇත.