බංග්ලාදේශ සංචාරය සඳහා අද (17) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට ගෙන ඇති විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් අද වන විට ඉතා දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් ජාතික කණ්ඩායමට එක්වෙමින් සිටින බවයි.
තමා ක්‍රීඩා කළ මුල් අවධියට වඩා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට ඉතා ඉහළ මට්ටමකට පත්ව ඇති බවත්, විශේෂයෙන්ම 19න් පහළ සහ 'ඒ' කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට ගත් පියවර අනාගතයේදී ශක්තිමත් කණ්ඩායමක් බිහි කිරීමට මෙන්ම ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට ද මහඟු පිටුවහලක් වනු ඇති බවත් ඇය අවධාරණය කළාය.
අප්‍රේල් 20 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම සංචාරයේදී පැවැත්වෙන එක්දින තරග තුන මීළඟ ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට තීරණාත්මක වන බැවින් එම තරගාවලිය ජය ගැනීම කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුව බව පැවසූ නායිකාව, මෙවර විශ්මි ගුණරත්න වෙනුවට දක්ෂතා අතර සිටින හංසිමා කරුණාරත්න කණ්ඩායමට කැඳවා ඇති බව ද සඳහන් කළාය.
නව පුහුණුකරුගේ මඟපෙන්වීම යටතේ පවර් හිටින් (Power Hitting) සහ පන්දු රැකීමේ අඩුපාඩු සකසා ගැනීමට විශේෂ අවධානයක් යොමු කර තිබුණ ද, සිය අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මැහුම් නවයක් දමා ඇති බැවින් පළමු තරග කිහිපයට ක්‍රීඩා කිරීම පිළිබඳ තීරණය ඉදිරියේදී ගන්නා බව ද ඇය පැවසුවාය. තවදුරටත් ක්‍රීඩා කිරීම පිළිබඳව අදහස් දක්වමින් චමරි අතපත්තු වැඩිදුරටත් කියා සිටියේ තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කරන ලෙස පුහුණුකරු ඉල්ලා සිටිය ද, තමාගේ අනාගතය පිළිබඳ තීරණය ශාරීරික යෝග්‍යතාවය මත පදනම්ව තරගාවලියෙන් තරගාවලියට ගැනීමට තීරණය කර ඇති බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
