Language Switcher

V2025

බස් ගාස්තු වැඩි කිරීම ගැන මගී සංගම් විරෝධය දක්වයි !

අද  (20) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තුව 4%කින් පමණක් ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරන බවත් බස් ගාස්තු වැඩි කිරීමට පමණක් ක්‍රියාත්මක වන ආයතන පද්ධතියක් අනවශ්‍ය බවත් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සහ ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලය පවසයි.

එම සංගම් මෙම අදහස් පලකළේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අවධාරණය වූයේ බස් ගාස්තු වැඩි කිරීමේදී රජය බස් හිමියන්ගේ තර්ජනය ගැන පමණක් සලකා ක්‍රියාකරනවා මිස බස් මගීන් පත්වන අපහසුතාව සම්බන්ධව නොසලකා ඇති බවය. එසේම පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කර පවත්වාගෙන යාම සම්බන්ධව රජය මීටවඩා උනන්දු විය යුතු බවද සඳහන් විය.

එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත, එම සංගමයේ ලේකම් ගැමුණු පරණවිතාන සහ ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලයේ කැඳවුම්කරු අසංක ධර්ම ශ‍්‍රී යන මහත්වරු සහභාගී වුහ.

මේ අතර 4%ක ගාස්තු වැඩිවීමක් සමඟ  සාමාන්‍ය බස් රථ ගාස්තුවල නව සංශෝධනයන් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව රුපියල් 12 අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන අතර, රුපියල් 15 ගාස්තුවේද වෙනසක් සිදු නොවන බව ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

රුපියල් 19 ක්ව පැවති ගාස්තුව රුපියලකින් ඉහළ ගොස් ඇති අතර සියයට 4 කින් බස් ගාස්තු ඉහළ දැමුවද අධිවේගී මාර්ගවල සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවන්වල ගාස්තුවල වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.