Language Switcher

V2025

සීනි සිල්ලර මිල ඉහළ දාන්න දෙන්නේ නෑ - මුදල් අමාත්‍යංශය 

ලෝක වෙළෙඳපොළේ අතිරික්ත සීනි සැපයුමක් හේතුවෙන් ජාත්‍යන්තර සීනි මිල බෙහෙවින් අඩුවී ඇති බැවින් සීනි සඳහා පනවා ඇති නව බදු හේතුවක් කරගෙන සීනිවල වෙළෙඳපොළ මිල වැඩිකිරීමට කිසිදු අවසරයක් දෙන්නේ නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කරන අතර ඉන්දියාව, තායිලන්තය, බ්‍රසීලය වැනි සීනි නිෂ්පාදිත රටවල මහා අස්වැන්න හේතුවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන සීනිවල මෙතෙක් පැවැති ආනයනික පිරිවැය 1 kg ක් සඳහා රු. 75 සිට රු. 55 ට වඩා අඩුවී ඇති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

මෙම මිල අඩුවීම නිසා දේශීය සීනි නිෂ්පාදකයන් හට අවාසියක් වීම වැළැක්වීම සඳහා සීනි සඳහා පනවා තිබූ රු. 31 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කරමින් ආනයනය කරනු ලබන සීනි සාමාන්‍ය බදු ව්‍යුහය යටතට පත්කර තිබෙන බවද  එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්කර ඇත.

ඒ අනුව, ඊයේ(19) සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති නව බදු ව්‍යුහය යටතේ තීරු බදු, වරාය ගාස්තු හා ජාතිය ගොඩනැගීමේ බද්ද ආදිය වශයෙන් ආනයනික සීනි 1 kg  කට රු. 42 ක පමණ බද්දක් අයකරනු ලැබේ. ඒ අනුව, විවෘත වෙළෙඳපොලෙහි මිල අඩුවීමේ ප්‍රවණතාවය සමග සසඳන විට නව බදු පැනවීමෙන් පසුව වුවද ආනයනකරුවන් හට සීනිවලින් මිල වාසියක් අත්වේ.
 
එහෙයින්, මෙම බදු පැනවීම හේතුවක් කරගෙන සීනි ආනයනකරුවන් සහ බෙදාහරින්නන් සීනිවල සිල්ලර මිල වැඩිකරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරනු ඇත. සීනි මිල පසුගිය වසර කිහිපයක් තිස්සේ නිරන්තරව අඩුවෙමින් පවතින බැවින් එහි වාසිය පාරිභෝගික ජනතාවට සැලසීමේ අටියෙන් සීනි සඳහා පැවැති උපරිම සිල්ලර මිල ඉවත් කරන ලදී. එහෙත්, අවශ්‍යතාවයක් වුවහොත් එම උපරිම සිල්ලර මිල යළි පැනවීමට කටයුතු කරනු ඇත.