Image

'FinLit EXPO 2026' හෙට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී

'FinLit EXPO 2026' හෙට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී

මූල්‍ය සාක්ෂරතාවයෙන් සවිබල ගැන්වුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ශාඛාව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරන ‘FinLit Expo 2026’ මූල්‍ය සාක්ෂරතා ප්‍රදර්ශනය හෙට (10 ) පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිර පරිශ්‍රයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් යන අයගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණ වන්නේ විශේෂයෙන්ම තරුණ පරපුර ඇතුළු මහජනතාව තුළ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමත්, නිවැරදි මූල්‍ය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදීමත්ය.

මූල්‍ය දැනුම හා සේවවන් රැසක් එකම තැනකින්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මහනුවර මූල්‍ය ප්‍රාදේශීය කාර්යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය හරහා එකම ස්ථානයකින් මූල්‍ය දැනුම, සේවාවන් සහ ප්‍රායෝගික අත්දැකීම් රැසක් ලබාගැනීමට මහජනතාවට පහසුකම් සලසා දී ඇත. “මූල්‍ය දැනුමෙන් හෙට දිනන්නට ඔබටත් ආරාධනා!” යන සංකල්පය පෙරදැරිව සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශන භූමියට පැමිණෙන ජනතාවට බැංකු සේවා රැසක් එකම තැනකින් ලබාගැනීමටත්, නව්‍ය බැංකුකරණ සහ ඩිජිටල් ගෙවීම් ක්‍රම පිළිබඳව විශේෂ දැනුමක් ලබාගැනීමටත් අවස්ථාව හිමිවේ.

මීට අමතරව මහජනතාවගේ මූල්‍ය සහ ආයෝජන කටයුතු සවිමත් කිරීම වෙනුවෙන් විශේෂ සේවා රැසක් මෙම ප්‍රදර්ශනයේදී ක්‍රියාත්මක වේ. ඒ අනුව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ  CRIB ණය වාර්තාව ලබාගැනීම සහ එය නිවැරදි කරගැනීම පිළිබඳව දැනුවත් වීමටත්, CDS ගිණුම් පිළිබඳ තොරතුරු සහ නව ගිණුම් විවෘත කරගැනීමටත් මෙහිදී පහසුකම් සැලසේ.

එසේම කොටස් වෙළඳපොළ,  ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමසන් සභාව, රක්ෂණ සහ වෙනත් ආයෝජන අවස්ථා හඳුනාගැනීමට හැකිවන අතර EPF හා ETF ගිණුම් පරික්ෂා කරගැනීමට සහ ඊට අදාළ සේවාවන් ලබාගැනීමටද පැමිණෙන පිරිසට අවස්ථාව සපයා ඇත.

 

මූල්‍ය ආරක්ෂණය සහ ව්‍යාපාරික ගෘහස්ථ මූල්‍ය කළමනාකරණය

වර්තමාන මූල්‍ය සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ ආරක්ෂණය මෙන්ම ව්‍යාපාරික හා ගෘහස්ථ මූල්‍ය කළමනාකරණය පිළිබඳවද ප්‍රදර්ශනය තුළදී විශේෂ අවධානයක් යොමු කෙරේ. ඒ අනුව මූල්‍ය ආරක්ෂණ, ඩිජිටල් ආරක්ෂණ, මුදල් ආරක්ෂණ, රක්ෂණ, වත්කම්, ඩිජිටල් මුදල්, ක්‍රිප්ටෝ, ලියාපදිංචි මුදල් සහ වෙනත් ආයෝජන මුදල් පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගත හැක. තවද ව්‍යාපාර සඳහා මූල්‍ය කළමනාකරණය, ණය ලබාගැනීම, නිවසේ හිමිකම් සහ කළමනාකරණය, පවුලේ මූල්‍ය කළමනාකරණය සහ නිවැරදි මුදල් කළමනාකරණය පිළිබඳව විශේෂ උපදෙස් ලබාදීමට කටයුතු යොදා ඇත.

 

මහ බැංකු කාර්යභාරය සහ වෘත්තීය මාර්ගෝපදේශනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය, මුදල් ප්‍රතිපත්ති, ආර්ථිකය සහ මුදල් පිළිබඳ තොරතුරු මහජනතාව හමුවේ තැබෙන අතර විවෘත පාඨමාලා, ලේඛන බැංකු සහ වෘත්තීය මාර්ගෝපදේශ ලබාගැනීමටද මෙහිදී ඉඩසලසා ඇත. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික ඉතිහාස කෞතුකාගාරය නැරඹීමට සහ මහ බැංකු ප්‍රකාශන මිලදී ගැනීමටද අවස්ථාව සැලසෙන බැවින්, මෙම වටිනා මූල්‍ය දැනුම ලබාගැනීමට එක්වන ලෙස සංවිධායක මණ්ඩලය සමස්ත ජනතාවගෙන්ම ආරාධනා කර සිටියි.

- ජේ.මුණසිංහ -

 

WhatsApp Image 2026 11 09 at 2.50.1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න