බදුල්ල සහ හම්බන්තොට රෝහල්වල ස්ථාපනය කර ඇති ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) පිළිකා විකිරණ ප්‍රතිකාරක යන්ත්‍ර දෙක ස්ථාපනය කර මාස ගණනක් ගතවී ඇතත්, තවමත් එම රෝහල් වල විකිරණ ප්‍රතිකාර ආරම්භ නොකිරීම හේතුවෙන් පිළිකා රෝගීන් බරපතළ අසරණභාවයට පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
මෙසේ යන්ත්‍ර වල ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත්තේ මාත්‍රා මාන උපකරණ (Dosimetry Equipment) නොමැති වීම හේතුවෙන් බව එම රෝහල්වල එක්තරා වෘත්තික කණ්ඩායමක් විසින් හේතු දක්වමින් සිටින බවද එම සංගමය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම යන්ත්‍ර වලට අදාළ මාත්‍රා මාන උපකරණ මහරගම අපේක්ෂා රෝහලෙන් ලබා ගැනීමේ හැකියාව පවතිද්දී, එසේ නොකොට මේ ආකාරයෙන් ප්‍රතිකාර කටයුතු ආරම්භ නොකොට තිබීම බරපතල ගැටලුවක් බව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි.
මිලදී ගැනීමේ පසුබිම
වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වී තිබූ ලීනියර් ඇක්සලරේටර් විකිරණ යන්ත්‍ර 5ක්, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති අනුර කුමාර දිසානයකගේ මැදිහත්වීම යටතේ කැබිනට් පත්‍රිකා යොමුකර ණයවර ලිපි නිකුත් කොට අදාළ මිලදී ගැනීමේ ක්‍රියාව සම්පූර්ණ කර තිබේ.
එක් යන්ත්‍රයක් සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 600 ට වඩා වැඩි වන අතර සම්පූර්ණ විකිරණ ප්‍රතිකාර ඒකකයක් සඳහා අපේක්ෂිත වියදම එක් රෝහලක් සඳහා රුපියල් මිලියන 1000 කට වඩා වැඩි වේ. මෙම යන්ත්‍ර 5 බෙදී යන්නේ බදුල්ල පළාත් මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, හම්බන්තොට මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතය.
මේ වන විට ඉන් යන්ත්‍ර 3ක් අදාළ රෝහල් වෙත ලබා දී තිබේ;
• බදුල්ල පළාත් මහ රෝහල: යන්ත්‍රය ස්ථාපනය කර අප්‍රේල් මාසය වන විට මාස 6ක් ගතවී ඇත.
• හම්බන්තොට මහ රෝහල: ඔක්තෝම්බර් මස මුල් සතිය වන විට යන්ත්‍ර ස්ථාපනය අවසන් කර මාසයක් ගතවී ඇත.
• රත්නපුර ශික්ෂණ රෝහල: පළමු අදියර සම්පූර්ණ කර ඇති අතර, කාමරය සකස් කිරීමේ ප්‍රමාදයක් නිසා දෙවන අදියරේ කටයුතු සූදානම් වෙමින් පවතී.
මහරගම අපේක්ෂා රෝහලෙන් උපකරණ ලබා ගැනීමේ හැකියාව
බදුල්ල සහ හම්බන්තොට යන්ත්‍රවල ස්ථාපන කටයුතු අවසන්වී මාස ගණනක් ගතවී තිබුණද, ප්‍රතිකාර ආරම්භ නොකිරීමට හේතු වී ඇත්තේ මාත්‍රා මාන උපකරණ (Dosimetry Equipment) නොමැති වීම බව නිසා බව එක්තරා වෘත්තික කණ්ඩායමක් විසින් හේතු දක්වමින් සිටින බව එම සංගමය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම උපකරණ මහරගම අපේක්ෂා රෝහලෙන් ලබා ගැනීමේ හැකියාව පවතින බවත්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි බදුල්ල රෝහල නිරීක්ෂණය කළ අවස්ථාවේද මෙම උපකරණ අපේක්ෂා රෝහලෙන් ගෙන කඩිනමින් ප්‍රතිකාර අරඹන ලෙස උපදෙස් දී ඇති බවත් විකිරණ තාක්ෂණවේදීන් පෙන්වා දෙයි.
මීට පෙර ද මෙවැනි අවස්ථාවලදී අපේක්ෂා රෝහලේ උපකරණ භාවිතා කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
රෝගීන්ට වන බලපෑම
මෙම රෝහල්වල ප්‍රතිකාර කටයුතු ආරම්භ නොවීම හේතුවෙන් අදාල රෝගීන් මහරගම අපේක්‍ෂා රෝහල, මහනුවර ජාතික රෝහල වැනි රෝහල් වෙත යොමු වන බැවින් එම රෝහල්වල විකිරණ ප්‍රතිකාර සඳහා වන පොරොත්තු ලේඛනය තවදුරටත් දීර්ඝ වන අතර එමගින් එම රෝහල්වලට අනවශ්‍ය පීඩනයක් එකතුවීම සිදුවේ. රජයේ රෝහල්වල පොරොත්තු ලේඛන දීර්ඝවනන විට රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෞද්ගලික රෝහල් වෙත යොමුවීමට සිදුවන අතර එවැනි රෝහලකින් විකිරණ ප්‍රතිකාරයක් සිදුකරගැනීමට රුපියල් ලක්ශ 5 සිට ලක්ශ 20 දක්වා වියදමක් දැරීමට සිදුවේ. මෙය පිළිකා රෝගීන් තවදුරටත් අසරණභාවයට පත් කරන කාරණාවක් වී ඇත.
ලීනියර් ඇක්සලරේටර් විකිරණ යන්ත්‍ර ප්‍රතිකාර පහසුකම් මේ වන විට අපේක්‍ෂා රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල් පහ මගින් ජනතාවට ලබාදීම සිදුවේ. මේ වන විට මහරගම අපේක්‍ෂා රෝහලෙහි සහ මහනුවර ජාතික රෝහලෙහි ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාස කීපයක පොරොත්තු ලේඛන පවතින අතර තවදුරටත් නව යන්ත්‍ර ස්ථාපනය කළ රෝහල්වල ප්‍රතිකාර කටයුතු ආරම්භ නොකිරීම පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇත.
එබැවින්, මේ පිළිබඳව කඩිනමින් සොයා බලා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ඉල්ලා සිටි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
