හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 04ක් සහ වාහන 03ක් ලබන පෙබරවාරි මස 05 වැනිදා දක්වා තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර අද (05) නියෝග කළේය.
2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ප්‍රකාරව මෙම දේපළ අත්හිටුවීම පිළිබඳව දින 07ක් ඇතුළත මහාධිකරණය හමුවේ කරුණු දැක්විය යුතුව ඇත. ඒ අනුව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරුවරයා විසින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම පනතට අනුව නීතිඥ රඛිත රාජපක්ෂට අයත් මෙම දේපළ අත්හිටුවීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණේ ඉකුත් (30) වැනිදාය.
සංවිධානාත්මක අපරාධකරුවෙකුට පහසුකම් සැලසීම වෙනුවෙන් ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් මොහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබේ.
මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස චරිත අබේසිංහ, දෙවැනි සැකකරු ලෙස රඛිත රාජපක්ෂ සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අය නම් කර ඇති අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔවුන් මේ වන විට ඇප මත සිටිනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
