Image

චමින්ද කුලරත්නගේ වැඩ තහනමට එරෙහි පෙත්සම හෙට යළි කැඳවයි

චමින්ද කුලරත්නගේ වැඩ තහනමට එරෙහි පෙත්සම හෙට යළි කැඳවයි

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සම අද (නොවැම්බර් 02) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ. පී. ප්‍රනාන්දුගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ යළි කැඳවනු ලැබීය.

කථානායකවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාවලට පිළිතුරු වශයෙන්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ වැඩිදුර කරුණු දැක්වීම සඳහා අද දින නඩුව නියමිතව තිබිණි.

නඩුව හෙට, එනම් 2026 නොවැම්බර් 03 වැනි දිනට කල් තැබිණි.

පාර්ලිමේන්තු වරප්‍රසාද සහ අධිකරණ පරීක්ෂාව

පසුගිය ඔක්තෝබර් 15 වැනි දින පැවති කරුණු දැක්වීමේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ උත්තරීතරත්වය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බවත්, පාර්ලිමේන්තුව ඇතුළු සියලු රාජ්‍ය ආයතන එයට යටත්ව කටයුතු කළ යුතු බවත්ය.

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක කාර්යයන් ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා පවතින වරප්‍රසාද, කාර්ය මණ්ඩල පරිපාලනයේ සෑම තීරණයකටම අසීමිත නීතිමය මුක්තියක් ලබාදෙන ලෙස අර්ථකථනය කළ නොහැකි බව පෙත්සම්කාර පාර්ශ්වයේ ස්ථාවරයයි.

මෙම පෙත්සමෙන් මතුකරන ප්‍රධාන නීතිමය ප්‍රශ්නයක් වන්නේ, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විනය කටයුතු සම්බන්ධයෙන් කථානායකවරයා විසින් ගනු ලබන තීරණ සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ පරිපාලන හා විනය තීරණ, පාර්ලිමේන්තු වරප්‍රසාද යන පදනම මත අධිකරණ පරීක්ෂාවෙන් බැහැර කළ හැකිද යන්නයි.

විනය බලතල සහ මහ ලේකම්වරයාගේ භූමිකාව

කාර්ය මණ්ඩල සාමාජිකයකු සම්බන්ධයෙන් ගනු ලබන විනය තීරණයක් නීතියට සහ ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුකූලද යන්න අධිකරණය හමුවේ පරීක්ෂා කිරීමට අවකාශ තිබිය යුතු බව පෙත්සම්කාර පාර්ශ්වය තර්ක කරයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විනය බලය මහ ලේකම්වරයා සතු බවත්, කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට හෝ කථානායකවරයාට එම බලය තමන් වෙත පවරාගෙන ක්‍රියාත්මක කළ නොහැකි බවත් චමින්ද කුලරත්න පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති තවත් ප්‍රධාන තර්කයකි.

අදාළ පනතේ “පාර්ලිමේන්තුවේ ලිපිකරු” යන පැරණි තනතුරු නාමය පැවතීම හේතුවෙන් වර්තමාන මහ ලේකම්වරයාට විනය බලතල ක්‍රියාත්මක කළ නොහැකි බවට කථානායකවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවටද, පෙත්සම්කාර පාර්ශ්වය පසුගිය ඔක්තෝබර් 15 වැනි දින ප්‍රතිතර්ක ඉදිරිපත් කළේය.

කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත යටතේ පිහිටුවූ පරිපාලනමය ආයතනයක් වන බැවින්, එහි බලතල සහ තීරණවල නීත්‍යනුකූලභාවය අධිකරණ පරීක්ෂාවට ලක්කළ හැකි බව පෙත්සම්කරුගේ ස්ථාවරයයි.

මහ ලේකම්වරියගේ දිවුරුම් ප්‍රකාශය සහ පෙත්සම්කරුගේ චෝදනා

පළමු වගඋත්තරකාරිය වන පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර අධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණුද, පෙත්සම්කාර පාර්ශ්වය පසුගිය ඔක්තෝබර් 15 වැනි දින සිය ස්ථාවරයට සහාය වශයෙන් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ විනය බලය තමන් සතු බවත් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම සහ චෝදනා පත්‍රය නිකුත් කිරීම කථානායකවරයාගේ උපදෙස් මත සිදුකළ බවත්, පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු සහනයට විරුද්ධත්වයක් නොමැති බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බව පෙත්සම්කාර පාර්ශ්වය එදින අධිකරණයේ අවධානයට යොමු කළේය.

වැඩ තහනම් කිරීමේ ක්‍රියාවලියේදී නීතියෙන් බලය පැවරූ විනය බලධාරියා ස්වාධීනව සිය බලතල ක්‍රියාත්මක කර තිබේද යන ප්‍රශ්නය මෙම කරුණුවලින් මතුවන බව පෙත්සම්කරුගේ ස්ථාවරය වේ.

චමින්ද කුලරත්න සිය පෙත්සමෙන් චෝදනා කරන්නේ, තමන්ට එරෙහි පරීක්ෂණ නිලධාරියා පත්කිරීම, පරීක්ෂණ ක්‍රියාවලිය සහ ඒ මත පදනම් වූ වැඩ තහනම නීතියට හා ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවයි. ඒ අනුව, අභියෝගයට ලක්කර ඇති පරීක්ෂණ වාර්තාව සහ වැඩ තහනම් කිරීමේ තීරණය බලරහිත කිරීම ඇතුළු සහන ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටී.

මෙම නඩුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නීතිමය ආරක්ෂාව, විනය බලතල ක්‍රියාත්මක කිරීමේ සීමා සහ පාර්ලිමේන්තු පරිපාලනය තුළ නීතියේ ආධිපත්‍යය පිළිබඳ වැදගත් ප්‍රශ්න මතුකරයි.

මූලික විරෝධතා සම්බන්ධයෙන් අධිකරණය මෙතෙක් අවසන් තීරණයක් ලබාදී නොමැති අතර, පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර කරුණු දැක්වීම සඳහා නඩුව හෙට යළි කැඳවීමට නියමිතය.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව

මේ අතර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව චෝදනා 50ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත භාරදී තිබේ.

දූෂණය, රාජ්‍ය මුදල් හා දේපළ අනිසි ලෙස භාවිත කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීම මෙන්ම, පිළිගත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා ක්‍රියාපටිපාටිවලට පටහැනිව කටයුතු කිරීම පිළිබඳ චෝදනා එම යෝජනාවට ඇතුළත් බව වාර්තා වේ.

අධිකරණය හමුවේ පවතින කරුණුවලට යෝජනාවේ ඇතැම් චෝදනා සම්බන්ධ වන බැවින්, “sub judice” රීතිය මත එය මුල් ආකාරයෙන් විවාදයට ගත නොහැකි බව ආණ්ඩු පාර්ශ්වය ප්‍රකාශ කර තිබේ. එහෙත් විපක්ෂය එම ස්ථාවරයට විරෝධය පළකරමින්, නිසි ක්‍රියාපටිපාටියට අනුව භාරදී ඇති යෝජනාව සංශෝධනය කිරීම හෝ ඉල්ලා අස්කර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

විශ්වාසභංග විවාදය සම්බන්ධයෙන් මතු වූ මතභේද

නොවැම්බර් 03 වැනි දිනට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය නොපැවැත්වෙන බව සභානායක බිමල් රත්නායක ප්‍රකාශ කර තිබේ. ඔහු ඒ සඳහා දක්වා ඇති හේතුව වන්නේ, ස්ථාවර නියෝගවලට අනුකූලව යෝජනාව සංශෝධනය කර නියමිත කාලය තුළ නැවත ඉදිරිපත් කර නොතිබීමයි.

කෙසේ වෙතත්, විපක්ෂයේ ස්ථාවරය වන්නේ දැනටමත් නිසි ක්‍රියාපටිපාටියට අනුව භාරදී ඇති යෝජනාව විවාදයට ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, එය න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට නම් පිළිගත් පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි අනුගමනය කළ යුතු බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න