Image

“වෙනස්වන ජනමතයට මර්ධනයෙන් උත්තරදීම ආණ්ඩුවේ සැලසුමයි” - මුජිබර් රහුමාන්

“වෙනස්වන ජනමතයට මර්ධනයෙන් උත්තරදීම ආණ්ඩුවේ සැලසුමයි” - මුජිබර් රහුමාන්

‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ ගැන බලාපොරොත්තු ලබාදුන් මාලිමා ආණ්ඩුව දැන් මර්ධනයෙන් පිරුණු යුගයක් ජනතාවට දායාද කිරීමට උත්සහ කරමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 159 සහිතව තුනෙක් දෙකක බහුතර බලයක් මාලිමා ආණ්ඩුවට තිබුණත්, රට තුළ තිබූ ජනතා බලය පිරිහෙමින් ඇති පසුබිමක, මර්ධනය දියත් කරමින් සිය ඒකාධිපති ගමනේ අපේක්ෂා ඉටුකර ගැනීම මාලිමාවේ සැලසුම වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, අද (26) කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවැසීය.

“වර්තමාන ආණ්ඩුව තුනෙන් දෙකක බලය යොදමින් පාර්ලිමේන්තුව තුළදී විපක්ෂය මර්ධනය කරන්න හදනවා. ඒ වගේම ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ  පනත නමින් අතිශ්‍ය මර්ධනකාරී පනත් ගෙනඑමින් දිනෙන් දින සමාජය තුළින් නැගී එන ආණ්ඩු විරෝධය මර්ධනය කරන්න තමයි හදන්නේ.

1994 සිට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කිව්වා, නිදහස් රටක් බිහිකරනවා කිව්වා, මර්ධන නීති ඉවත් කරනවා කිව්වා. නමුත් බලය ලැබුණට පස්සේ ‌ මර්ධන නීති දැඩි කරමින්, මේ රට පොලිස් රාජ්‍යක් කරා රැගෙන යන්නයි මේ අය කටයුතු කරමින් ඉන්නේ.”

ආණ්ඩුව සම්මත කිරීමට උත්සාහ කරන මෙම පනත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විරෝධය පළකර ඇති බවත්, ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විසින්ම මේ අණ පනත්වල අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇති බවත් රහුමාන් මන්ත්‍රීවරයා පැහැදිළි කළේය.

“නැවත වරක් රට තුළ මර්ධනකාරී තත්ත්වයක් ඇති විය හැකි බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු සංවිධාන ගණනාවක් විසින් පැහැදිලි කරල තිබෙනවා. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, මානව හිමිකම් සම්මුතීන්වලට පටහැනි බවත් එම පැහැදිලි කිරීම්වල දැක්වෙනවා. ආණ්ඩුවට සහය දුන්න ආචාර්ය මහාචාර්වරු කියන්නෙත් මේ කතාවමයි.

නමුත් ආණ්ඩුවට ඒ කිසිවක් තේරෙන්නේ නෑ. ජීවන වියදම වැඩිවීම නිසා, වැඩි වැටුප් ඉල්ලලා, දිළිඳුකමට සහන ඉල්ලලා, විරැකියාවට විසඳුම් ඉල්ලලා ඉදිරියේදී ජනතා සටන් වැඩිවෙන්න පුලුවන්. තරුණයින්, කාන්තාවන්, ගොවියන් ඇතුලු සමස්ත ජනතාවට ඒ අයගේ අයිතීන් වෙනුවෙන් පාරට බැසීම සිදුවේවි. ඒවාට පෙර තමයි මේ ආණ්ඩුව අලුත් පනත් ගෙනල්ලා, පොලීසියට, හමුදාවට මහා බලයක් දීලා මර්ධනය දියත් කරන්න හදන්නේ.”

ඒ හේතුවෙන් ආණ්ඩුවේ ඒකාධිපති ක්‍රියාකලාපය හරහා දැඩි ලෙස සමාජයම මර්ධනයකට, තල්ලු කිරීමට උත්සාහ ගනිමින් සිටින බවට මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න