Image

ඉමියුනොග්ලොබියුලින් නඩුව: පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන්; විත්තිවාචකය කැඳවීමට දින දෙයි

ඉමියුනොග්ලොබියුලින් නඩුව: පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන්; විත්තිවාචකය කැඳවීමට දින දෙයි

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කර තිබේ. ඒ අනුව, නඩුවේ විත්තිවාචකය කැඳවීම ලබන 29 වන දින සිදු කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගය සඳහා අද (26) කැඳවනු ලැබිණි.

පැමිණිල්ලෙන් ඉදිරිපත් කල සාක්ෂි සම්බන්ධයෙන් විත්තිය ප්‍රමාණවත් කරුණු සනාථ කිරිමක් සිදු නොකල බවත්, එබැවින් විත්තිවාචිකය කැඳවීමට තීරණය කළ බව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (26) අවධාරණය කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම සමඟ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ කලන කොතලාවල අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නඩුවට අදාළ අධිචෝදනා සහ සාක්ෂි

මෙම නඩුව හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබිණි.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු හා නඩු භාණ්ඩ 300 ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි

නම් කරන ලද විත්තිකරුවන්

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර , සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක , වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබිණි .

විත්තිකරුවන්ගේ වත්මන් තත්ත්වය සහ නීතිමය ක්‍රියාමාර්ග

මේ සම්බන්ධයෙන් පැවැත්වූ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව විත්තිකරුවන් දහ දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර පළමු විත්තිකරු ලෙස නම්කර සිටින ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙවූ බව කියන එම සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, යන අය මේවන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර දහ වන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදේශ ගතව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබිණි .

විමර්ශනවල පසුබිම සහ නඩු විභාගය

2023 ඔක්තෝබර් මස අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර විසින් මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කරන ලද පැමිණිලි වලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීය.

එලෙස, මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු සිදු කරන ලද සියලු විමර්ශනයන් අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මස 06 වන දින විමර්ශනයන් වල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, ඒ අනුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කලේය. ඉන් අනතුරුව අද දක්වා නඩුව දිනපතා විභාග කෙරුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න