Image

වංචාවට දූෂණයට එරෙහි කටයුතු ආරම්භ කළේ, යහපාලනය විසින් බව ආණ්ඩුවත් පිළිඅරන් - රංජිත් මද්දුමබණ්ඩාර

වංචාවට දූෂණයට එරෙහි කටයුතු ආරම්භ කළේ, යහපාලනය විසින් බව ආණ්ඩුවත් පිළිඅරන් - රංජිත් මද්දුමබණ්ඩාර

වංචාවට, දූෂණයට, හොරකමට එරෙහිව කටයුතු ආරම්භ කළේ, යහපාලන ආණ්ඩුව බව මාලිමා ආණ්ඩුව නිල වශයෙන් පිළිගෙන ඇතැයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

2015 ත් 2019 අතර යහපාලන ආණ්ඩු සමයේ ගොනු කළ නඩු සහ ඒ හරහා ගත් අධිකරණ ක්‍රියාමාර්ග හරහා මේ වනවිට දේශපාලඥයින් සහ දේශපාලනය සම්බන්ධ පුද්ගලයින් 50 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව බිමල් රත්නායක අමාත්‍යවරයා පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදීම පිළිගත් බව ඔහු පෙන්වා දුන්නේය.

22 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ හොරු ඇල්ලීමට බව ආණ්ඩුව පැවසුවත්, හොරු ඇල්ලීමේ වැඩපිළිවෙල යහපාලන සමයේ නිවැරදි ලෙස ආරම්භ කර තිබු බව මේ වන විට රටේ බහුතරය පිළිගෙන ඇති සත්‍ය කාරණය බව ද ඔහු අවධාරණය කළේය.

සජබ මහලේකම්වරයා මේ බව කියා සිටියේ, කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“වංචා දුෂණ සම්බන්ධයෙන් වන ෆයිල් 400 ක් තිබෙන බව ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න කාලේ පැවසුවා‍.  එහෙම කියපු අය ආණ්ඩු බලයට පැමිණි පසු ගොනු කළ නඩු ප්‍රමාණය කොච්චරද කියලා අපි අහනවා. ඒ වගේම තමයි මේ ආණ්ඩුවටත් සුද්දො වෙන්න බෑ. ආන්දෝලනාත්මක ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ සභාපතිවරයා ඉල්ලා අස්වුනා කියලා ඒ වංචාව විසඳෙන්නේ නෑ. ඒ නිසා බාල ගුල් අඟුරු මාෆියාවට සම්බන්ධ අයට එරෙහිව නඩු පැවැරිය යුතුයි.  ඒ වගේම පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 300 ගණනක් පිට කිරීමේ චෝදනාවත් ඉතා බරපතලයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනාධිපති හංඟගෙන ඉන්නේ ඇයි ? කථානායකටත් දූෂණ චෝදනා, එයා කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිල්ලේ ඉඳන් මහජන දේපල හොරකම් කරලා. ඒ නිසා දැන් පෙන්නේ දූෂණ වංචා අඩුවෙන ආණ්ඩුවක්වෙනුවට ඒවා දිනෙන් දින වැඩිවෙන ආණ්ඩුවක්.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

 

භික්ෂුවකගේ චීවරය ඉවත් කිරිමේ තීන්දු ගැනීමේ බලය ඇත්තේ සංඝ සභාවට පමණයි

යම් පුද්ගලයෙකු හෝ භික්ෂුවක වරදක් සිදුකර ඇත්නම්, ඒ සම්බන්ධයෙන් අධිකරණය ලබාදෙන තීන්දුව පිළිගත යුතු බව අවධාරණය කළ මහලේකම්වරයා පෙන්වා දුන්නේ, එහෙත් බන්ධනාගාර ගතකළ ස්වාමීන් වහන්සේනමකගේ චීවරය ඉවත් කිරීමට කිසිවෙකුට අයිතියක් හෝ බලයක් නොමැති බවය. ඒ සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ බලය සහ අයිතිය සංඝ සභාවට පමණක් පැවැරනෙ රාජකාරියක් බව ඔහු සිහිපත් කළේය.

 

රටේ ආර්ථික පසුබෑම සහ ජනතාව මුහුණදෙන දැඩි ජීවන අභියෝග

වත්මන් ආණ්ඩුවේ අසාර්ථකත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පහළ බසින බව ප්‍රකාශ කර ඇති බවත්, ඇමෙරිකාවද ආයෝජනයට සුදුසු ස්ථානයක් නොවන බවට ශ්‍රී ලංකාව හඳුන්වාදි ඇති බවත් මහලේකම්වරයා අවධාරණය කළේය.

“දිනෙන් දින ජීවන වියදම සහ භාණ්ඩ මිල ඉහළ යනවා. කිසිදු සංවර්ධනයක් සිදුවන්නේ නෑ. රටේ ආර්ථිකය නැගී සිටීමට නම් කෘෂි නිෂ්පාදනය වැඩි විය යුතු වුවද, අද වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව ගොවියා අසරණ වෙලා ඉන්නේ. ජනාධිපතිවරයා පොළොන්නරුවේ ගොවිහමු පවත්වද්දී හෝ පාර්ලිමේන්තුවේ වී මිල ගැන කල්තැබීමේ විවාදය පැවැත්වෙද්දී කෘෂිකර්ම අමාත්‍යවරයා පේන්නවත් නෑ.

අද පෝට් සිටියට හෝ වෙනත් ස්ථානයකට නව ආයෝජන පැමිණෙන්නේ නැහැ. ලෝක බැංකු වාර්තාවලට අනුව 2019 දී 4% ක් වූ දුප්පත්කම මේ වන විට 62 % දක්වා ඉහළ ගිහින්. ජනගහනයෙන් 31% කට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්න ඇති වෙලා. දරුවන්ගෙන් 21% ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා"

බලයට පත්වී පළමු වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට දුන් පොරොන්දුව ඉටු නොකර, මැතිවරණය කල් දැමීමට ක්‍රියාකරමින් සිටින බවටද ඔහු ආණ්ඩුවට චෝදනා කළේය. එමෙන්ම  පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙසත්, විශේෂයෙන්ම ඌව පළාතෙන් මැතිවරණය ආරම්භ කරන ලෙසත් ඔහු ආණ්ඩුවට  අභියෝග කළේය.

“ඒ වගේම 88/89 කාලයේ කතරගම පෙරහැරේදී බෝම්බ ගසන විට මා එතැන සිටියා. ඒ වගේම 88/89 භීෂණ සමයේ දළදා මාලිගා පූජා භූමියට පැමිණ වෙඩි තබා එම ස්ථානය ලේ විලක් කළා. එම අඳුරු අතීතයේ සත්‍යය හෙළි කිරීම සම්බන්ධයෙන් මහානායක හිමියන්ට ස්තූතිවන්ත වෙනවා. 1987 දෙසැම්බර් 31 වනදා මහනුවර රජ පෙරහැර ආසන්නයේ බෝම්බ පිපිරීමෙන් කිහිපදෙනෙකු මියගියා, කෙසේ නමුත් වසර 37 කට පසු මෙම ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ සත්‍යය එළියට පැමිණීම ගැන සතුටු වනවා‍. ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා."

මේ අතර වත්මන් කථානායකවරයාගේ අක්‍රමිකතාවලට එරෙහිව චෝදනා 50 කින් සමන්විත විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇති බව ද පැවැසූ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ මහජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම බලවේගය සමගි ජන බලවේගය බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න