Image

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට; විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට; විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ආණ්ඩුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සහ ඊට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා හෙට (සැප්තැම්බර් 01) කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇත.

 

පෙත්සම් 30ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අද (31) අවසන් වූ අතර, ඒ වන විට ඊට අදාළව පෙත්සම් 30ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ අතරින් පෙත්සම් 27ක් යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඉදිරිපත් කර ඇති අතර, තවත් පෙත්සම් තුනක් සංශෝධනයට සහාය පළ කරමින් ගොනු කර ඇත.විපක්ෂ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ තවත් පාර්ශ්ව කිහිපයක් මෙම සංශෝධනය අභියෝගයට ලක්කරමින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

 

සංශෝධනයෙන් විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළට

යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානතම කරුණක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ය. දැනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් වන අතර එය 67 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ දැනට පවතින අවුරුදු 63ක විශ්‍රාම වයස 65 දක්වා වැඩි කිරීමට ද පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.එමෙන්ම අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් විශේෂ විධිවිධානයක්ද පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇත. ඒ අනුව අගවිනිසුරුවරයා වයස අවුරුදු 67 සම්පූර්ණ කරන දිනය හෝ අගවිනිසුරු ධුරයට පත් කළ දිනයේ සිට වසර හයක් සම්පූර්ණ වන දිනය යන දෙකෙන් පළමුව එළඹෙන දිනයේ දී විශ්‍රාම යා යුතු ය.

 

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවත් වැඩි කිරීමට යෝජනා

22වන සංශෝධන පනත් කෙටුම්පතේ තවත් වැදගත් යෝජනාවක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ගේ සංඛ්‍යාව වැඩි කිරීමයි.දැනට අභියාචනාධිකරණ සභාපතිවරයාට අමතරව උපරිම වශයෙන් විනිසුරුවරුන් 19 දෙනකු පත් කළ හැකි අතර, නව යෝජනාව අනුව එම සංඛ්‍යාව 24 දක්වා වැඩි කිරීමට නියමිත ය. ඒ අනුව අභියාචනාධිකරණයේ සම්පූර්ණ විනිසුරු සංඛ්‍යාව 25 දක්වා ඉහළ යනු ලැබේ.

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නයක්

සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම්වල ප්‍රධාන තර්කයක් බවට පත්ව ඇත්තේ විනිසුරුවරුන් ගේ ධුර කාලය සහ විශ්‍රාම වයස වෙනස් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන්නේ ද යන්නයි. ප්‍රතිපත්ති විකල්ප කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ඉදිරිපත් කර ඇති පෙත්සමකින් ද පනත් කෙටුම්පතේ දෙවැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවට නොගැළපෙන බවට තීරණය කරන ලෙස ඉල්ලා ඇත. අධිකරණයේ ස්වාධීනත්වය ජනතා පරමාධිපත්‍යය හා සම්බන්ධ මූලික ව්‍යවස්ථාමය මූලධර්මයක් බව පෙන්වා දෙමින්, අදාළ සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බවට තීරණය කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

සමගි ජන බලවේගය, සර්වජන බලය ඇතුළු දේශපාලන පාර්ශ්ව මෙන්ම නීතිඥ සහ සිවිල් සංවිධාන ද සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය හමුවට ගොස් ඇති බව වාර්තා වී තිබේ. ඒ අනුව හෙට (සැප්තැම්බර් 01) ආරම්භ වන පෙත්සම් සලකා බැලීමේ දී, පනත් කෙටුම්පතේ අඩංගු යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද, ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් පමණක් ප්‍රමාණවත් ද, එසේ නොමැතිනම් ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ද ලබාගත යුතුද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමට නියමිත ය.

විශේෂයෙන්ම විනිසුරුවරුන් ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම, දැනට ධුරයේ සිටින විනිසුරුවරුන්ට එම සංශෝධනය බලපාන ආකාරය සහ එයින් අධිකරණයේ ස්වාධීනත්වයට හෝ විනිසුරුවරුන්ගේ ධුර සුරක්ෂිතභාවයට බලපෑමක් ඇතිවන්නේ ද යන කරුණු පෙත්සම් විභාගයේ දී දැඩි අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් පසු ලබාදෙන තීරණය කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිත අතර, ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යා හැකි ආකාරය පිළිබඳ තීරණාත්මක ව්‍යවස්ථාමය මාර්ගය පැහැදිලි වනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න