Image

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් පුද්ගල ආදායම් බදු අය කිරීම බලරහිත කරයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් පුද්ගල ආදායම් බදු අය කිරීම බලරහිත කරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (31) රිට් ආඥාවක් නිකුත් කළේ ය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගේ අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින් වන චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් විසින් ගොනු කරන ලද පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ ය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සදහන් කළේ, පෙත්සම්කරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බව ය.

කෙසේ වෙතත්, මෙම කරුණට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේ දී ගැනීමට නියමිත නව තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝග නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කළේ ය. කෙසේ වෙතත්, මෙම පෙත්සම මීට පෙර අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිශාන් ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බව පෙන්වා දුන්නේ ය.

තම සේවාදායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කටයුතු කරන්නේ කොන්ත්‍රාත් පදනම යටතේ බවත්, ඔවුන්ට සේවක අර්ථ සාධක අරමුදලේ හෝ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ හිමිකමක් නොමැති බවත් නීතිඥවරයා එහි දී පෙන්වා දී තිබිණි.

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ස්වාධීන සේවා සපයන්නන් බව පෙන්වා දුන් නීතිඥ ප්‍රේමතිරත්න එසේ තිබිය දී අදාළ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් ලෙස නිගමනය කරමින් ඔවුන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම කොමසාරිස් ජනරාල්වරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවත් සඳහන් කර තිබිණි. අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස නම් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් නොවන බව ය.

එසේ තිබිය දී අදාළ ක්‍රීඩකයින් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමකින් තොරව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථිර සේවකයින් වශයෙන් නිගමනය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරල්වරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවටත් එය අත්තනෝමතික තීරණයක් බවටත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කර තිබිණ.

මේ අතර, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පෙත්සම්කරුවන්ගෙන් අදාළ බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ගනු ලැබූ තීරණය නීත්‍යනුකූල බව ය.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න