ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටිමින් විදෙස් රැකියා ලබා දෙන බව පවසා කෝටි ගණනක මුදල් වංචා කළ කාන්තාවක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර - නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි බස් රථ හිමිකරුවකු ගෙන් පසුගිය මැයි මාසයේ දී ලද පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් මෙම විමර්ශන ආරම්භ කර තිබූ අතර, අදාළ සැකකාරිය පවසා ඇත්තේ තමන් රත්මලාන ගුවන්තොටුපළේ ගුවන් නියමුවරියක් බවයි. තම ඥාතීන් විදෙස් රටවල සේවය කරන අතර, ඒ අනුව විදෙස් රැකියා ලබාදීමේ අවස්ථාවක් පවතින බවත් පවසා ඇය ඔහු ගෙන් මුදල් වංචා කර ඇත. බස් රථ හිමිකරු විසින් ඔහුගේ බස් රථයක් විකුණා රුපියල් ලක්ෂ 60ක මුදලක් සැකකාරියට ලබා දී ඇති අතර, එම මුදල් ලබා ගැනීම සඳහා සැකකාරිය ව්‍යාජ ලෙස ගුවන් හමුදා නිල ඇඳුමකින් සැරසී පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත්, අදාළ සැකකාරිය මුදල් ලබා ගැනීමෙන් පසු විදෙස්ගත වූ බව පවසා බස් රථයේ හිමිකරු මගහැර සිටිම හේතුවෙන් බස් රථයේ හිමිකරු විසින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුණි. ඒ අනුව, කුරුණෑගල ප්‍රදේශයේ දී පසුගියදා සැකකාරිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාරිය විදෙස් රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයකට අධික මුදලක් අවස්ථා කිහිපයක දී ම අදාළ බස් රථ හිමිකරුගෙන් ලබා ගෙන ඇති අතර, මීට පෙර ද විදෙස් රැකියා ලබා දෙන මුවාවෙන් මාතර ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 22 ක මුදලක් ලබා ගෙන ඇත. එම මුදල් වංචාව සම්බන්ධයෙන් ද කොල්ලුපිටිය, බම්බලපිටිය ඇතුළු පොලිස් ස්ථාන 15 කට පැමිණිලි ලැබී ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙන්නේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
