කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය තුළ පිහිටි භෝජනාගාරයේ දී දේශීය බෝතල් කළ පානීය ජලය සඳහා රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරමින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අංක 96 දරන විධානය උල්ලංඝනය කළ දුම්රිය භෝජනාගාර සේවයට අයත් “ජයබිම කේටරින්” — කොළඹ කොටුව ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026.07.09 දින අනුරාධපුර ප්‍රදේශයේදී සිදුකරන ලද විශේෂ වැටලීමක දී, රුපියල් 120/- ක උපරිම සිල්ලර මිලක් පැවති මිලිලීටර් 1000ක බෝතල් කළ පානීය ජල බෝතලයක් රුපියල් 150/-කට පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බව අනාවරණය කරගනු ලැබුවා.
මෙම නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විසින් විත්තිකරුට රුපියල් 500,000ක (ලක්ෂ පහක) දඩ මුදලක් නියම කරනු ලැබුවා.
විශේෂ නිවේදනය යි
දුම්රිය භෝජනාගාර තුළ මෙලෙස අධික මිලට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. එමෙන් ම, මෙම ආයතනයට එරෙහිව මීට පෙර ද මෙවැනි පාරිභෝගික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇත. ඉදිරියේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සහ අදාළ නීතිරීතිවලට අනුකූලව සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ලෙසත්, නැවත මෙවැනි වැරදි සිදු නොකරන ලෙසත් අදාළ ආයතනයට දැඩි ලෙස අවවාද කර ඇත. ඉදිරියේදී ද මෙම ආයතනය සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර, නැවත නීති උල්ලංඝනයක් අනාවරණය වුවහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ දැඩි නීතිමය පියවර ගනු ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සෑම විට ම වෙළෙඳුන් දැනුවත් කිරීම සහ නිවැරදි මාර්ගයට යොමු කිරීම සඳහා කටයුතු කරයි. එහෙත් එම දැනුවත් කිරීම් නොසලකා පාරිභෝගික නීති උල්ලංඝනය කරන ඕනෑ ම වෙළෙන්දකුට හෝ ආයතනයකට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය පියවර ගැනීමට අධිකාරිය කිසිවිටෙකත් පසුබට නොවනු ඇත.
දුම්රිය තුළ දී හෝ වෙනත් ඕනෑම ස්ථානයක දී පාරිභෝගිකයින් රවටමින් උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
