Image

යාපනය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 300ක අති නවීන කැත් රසායනාගාර ඒකකයක්

යාපනය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 300ක අති නවීන කැත් රසායනාගාර ඒකකයක්

උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහලේ නවීන AI තාක්ෂණයෙන් ද සමන්විත අති නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය (Cath Lab) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ජනතා අයිතියට එක් කෙරිණි.

ලක්ෂ 11කට අධික ජනතාවට හෘද රෝග සම්බන්ධ විශේෂිත ප්‍රතිකාර සේවා

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 300ක වියදමින් ස්ථාපිත කළ මෙම නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය හෘද රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කරමින් ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක සහ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි. මෙම නව පහසුකම හරහා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 11කට අධික ජනතාවට හෘද රෝග සම්බන්ධ විශේෂිත ප්‍රතිකාර සේවා තම පළාත තුළම ලබාගැනීමේ අවස්ථාව හිමි වේ. එමෙන්ම අනුරාධපුර, බදුල්ල, ත්‍රිකුනාමලය හා අවට දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවට ද ප්‍රතිකාර සේවාවන් මෙම ඒකකය මගින් සපයනු ලබයි.

රෝගීන්ට වේගවත්, ආරක්ෂිත සහ අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේ දී තවත් ප්‍රධාන රෝහල් ත්‍රිත්වයක මෙවැනි අති නවීන තාක්ෂණයෙන් යුත් කැත් රසායනාගාර ඒකක ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

කැතීටකරණ රසායනාගාරය හෘදය හා රුධිර නාල පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කළ අති නවීන වෛද්‍ය පහසුකමකි. මෙහිදී කිරීටක ධමනි ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණ, ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාර, ස්ටෙන්ට් තැන්පත් කිරීම, හෘද කපාට ආශ්‍රිත මැදිහත්වීම් මෙන්ම හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා විශේෂ පරීක්ෂණ හා ප්‍රතිකාර ඇතුළු ජීවිතාරක්ෂක සේවා රැසක් සිදු කෙරේ. මෙම නවීන Cath Lab පහසුකම මගින් විවෘත හෘද ශල්‍යකර්මවල අවශ්‍යතාව අවම කරමින් රෝගීන්ට වේගවත්, ආරක්ෂිත සහ අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර ලබාදීමට හැකිවීම විශේෂත්වයකි.

එම අවස්ථාවෙන් අනතුරුව අමාත්‍යවරයා යාපනය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකකය, නේවාසික වාට්ටු, කෞතුකාගාරය, රසායනාගාර, CT ස්කෑන් ඒකකය සහ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රෝහලේ ප්‍රධාන අංශ හා ඒකක රැසක් නිරීක්ෂණය කළ අතර, රෝගීන්ගේ සුවදුක් විමසා බැලී ය.

එකෝ කාඩියෝ ග්‍රෑම් පරීක්ෂණ සඳහා භාවිතා කරනු ලබන රුපියල් මිලියන තිහකට ආසන්න වටිනාකමකින් යුත් එකෝ යන්ත්‍රයක් සහ ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අති නවීන වෛද්‍ය උපකරණ මෙන්ම තවත් රෝහල් උපකරණ තොගයක් ද අමාත්‍යවරයා විසින් යාපනය ශික්ෂණ රෝහලට මෙහි දී භාර දීමට කටයුතු කරනු ලැබීය. Sucker, Multi Monitor, Syringe Pump,Infusion Pump ඇතුළු වෛද්‍ය උපකරණ හා අනෙකුත් රෝහල් උපකරණ උපකරණ මෙන්ම රෝද පුටු ද එම භාණ්ඩ තොගයට ඇතුළත් විය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන සියලු ම වෘත්තිකයින් ගේ වගකීම

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහල් පරිපාලනය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමඟ විශේෂ කරුණු විමසමින් දීර්ඝ සාකච්ඡාවක ද නිරතත විය.

එහිදී අදහස් දක්වමින් සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යාපනය ශික්ෂණ රෝහල මගින් උතුරු පළාතේ වෙසෙන ජනතාවට මෙන්ම අවට දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට ද ප්‍රශස්ත සේවාවක් ලබාදෙන රෝහලක් බව සඳහන් කර සිටියේය.

රෝහලට පැමිණෙන සෑම රෝගියෙකුටම අවශ්‍ය ප්‍රතිකාර හා සත්කාර සේවා නිසි පරිදි ලබාදී ඔවුන් සුවපත් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන සියලුම වෘත්තිකයින් ගේ වගකීමක් බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා යාපනය ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය සහයෝගයෙන් එම වගකීම නිසි පරිදි ඉටු කරන බව සඳහන් කර සිටියේ ය. යාපනය ශික්ෂණ රෝහලට තවදුරටත් අවශ්‍යවන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉදිරියේ දී කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා පවතින වත්මන් ගැටලු ද නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද මෙහිදී සඳහන් කළේය. එමෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් දැනටමත් දියත්කර ඇතිබවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සෞඛ්‍යා ජනමාධ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ අනිල් ජාසිංහ සහ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති යන අය ද මෙහි දී අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය එස් ශ්‍රීභවන්තරාජා, කරුණානන්දන් ඉලන්කුමරන් ,සෞඛ්‍යා හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ, යන අය සහ යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන්, මෙන්ම රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

WhatsApp Image 2026 06 27 at 5.14.52 PM

WhatsApp Image 2026 06 27 at 5.12.34 PM 1

 

WhatsApp Image 2026 06 27 at 5.12.32 PM

WhatsApp Image 2026 06 27 at 5.14.53 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න