අතුරුදන් වූ අයට යුක්තිය ඉටු කිරීමට මෙන් ම විමර්ශනවල අවසානයක් දැකිය යුතු යැයි අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් සමග කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (19) පැවති සාකච්ඡාවක දී ය.
එහි දී වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා...
යළි යුද්ධයක් ඇති නොවන්න නම් සහජීවනය මිත්‍රත්වය ගොඩ නැගිය යුතුයි
“අපේ රජය බලයට ඇවිත් දැනට වසර එක හමාරක් වෙනවා. මම මීට වසරකට පෙර මෙම ස්ථානයට පැමිණි අවස්ථාවේත් අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් කථා කරන්න සිදු වුණා. ඒ වන විට මේ අතුරුදහන් වු තැනැත්තන් සම්බන්ධයෙන් වු විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය බිඳ වැටිලා තිබුණේ. වසරක් තුළ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලයට අවශ්‍ය බඳවා ගැනීම් සිදු කර ප්‍රතිපාදන වෙන් කළා. අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව වු කාර්යාලය සහ පැවති රජයන් සම්බන්ධයෙන් ඔබට වේදනා තිබුණා. එවකට පැවති දේශපාලනය ඒ ආයතන මෙහෙය වු ආකාරය එයට හේතු වුණා. පැවති රජයන්ට දේශපාලනිකව අවශ්‍යතාවයක් පැවතියා නම් මේවා කරන්න තිබුණා. 2009 වසරේ යුද්ධය අවසන් වුණා. නමුත් අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් ගැටලු පවතිනවා කියන්නේ පෙර පැවති රජයන්ට මේ විමර්ශන අවසන් කිරීමේ අවශ්‍යතාවයක් තිබිලා නැහැ. තිස් වසරක යුද්ධය නිසාවෙන් උතුරත් දකුණත් ඇති වෙන්න ලේ කදුළු හෙළුවා. නැවතත් එවැනි තත්ත්වයන් සිදු වෙන්න බැහැ. යළි යුද්ධයක් ඇති නොවන්න නම් සහජීවනය මිත්‍රත්වය ගොඩ නැගිය යුතුයි. අතුරුදහන් වූ අයට යුක්තිය ඉටු කිරීමට මෙන්ම විමර්ශනවල අවසානයක් දැකිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වත්මන් රජයට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. මේ වන විට උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. මාර්ග විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. තවදුරටත් දමිළ ජනතාවට දෙවන පුර වැසියෙක් කියලා හිතන්න දෙන්න බැහැ. උතුරේ ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වර්ගවාදයෙන් විෂ වෙලා තියෙන පොළොවක් නිදහස් කරන එක පහසු නැහැ. ඒ වෙනුවෙන් රජය කැපවී කටයුතු කරනවා''
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
''ත්‍රස්තවාදය වැළැත්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ගේනවා. ඒක ගේන්නේ ඇත්තට ම ත්‍රස්තවාදය වෙනුවෙන් මිස පුද්ගලයින් හෝ වෙනත් පාර්ශ්ව මර්දනයට නොවෙයි. තවත් මාස දෙකක් පමණ යන විට එය ඉදිරිපත් කරනවා.''
සාකච්ඡාවට පැමිණ සිටි සිවිල් සහ මහජන නියෝජිතයින් අතුරුදන් වු තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සහ පැමිණිලි සම්බන්ධයෙන් පවතින ගැටලු ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නේ ය.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. ඉලංකුමාරන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.තිලකනාදන්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිදරන් අතුරුදන් වූ තැනැත්තන් පිළිබද වූ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන අය ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන්, සහ අතුරුදන් වූ තැනැත්තන් පිළිබද වූ කාර්යාලයේ ප්‍රාදේශිය සම්බන්ධිකාරක නිලධාරීන් සිවිල් සහ මහජන නියොජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
