Image

ජනපති අනුර රටට කියූ මූල්‍ය තත්ත්වය ගැන කථා බොරු බව ඔප්පුවී අවසන් - වරුණ රාජපක්ෂ

ජනපති අනුර රටට කියූ මූල්‍ය තත්ත්වය ගැන කථා බොරු බව ඔප්පුවී අවසන් - වරුණ රාජපක්ෂ

ජනාධිපති අනුර කුමාර දිසානායක රටට පවසන මූල්‍ය තත්ත්වය සම්පූර්ණ අසත්‍යයක් යැයි සමගි ජන බලවේග ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වරුණ රාජපක්ෂ...

දැන් මහා භාණ්ඩාගාරයේ තිබෙන්නේ රුපියල් බිලියන 620ක් පමණයි

''ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගේ අවසාන කාලයේ දී රටේ දේශිය විනිමයත් නැති, විදේශිය විනිමයත් නැති තත්ත්වයක් ඇති වී තිබුණා.  කෙසේ නමුත් භාණ්ඩාගාරය රුපියල්වලින් පිරි ඉතිරි ගොස් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළා. ඒ අනුව රුපියල් කෝටි ලක්ෂයක රුපියල් සංචිතයක් භාණ්ඩාගාරය සතුව තිබෙන බව ද ජනාධිපතිවරයා ඉලක්කම්වලින් ම ප්‍රකාශ කළා. කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ජාතික ජනබලවේග ආණ්ඩුවට රට භාර දෙනවිට මහා භාණ්ඩාගාරය සතුව රුපියල් බිලියන 800ක රුපියල් සංචිතයක් තිබුණා. ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයා ගේ රජය අවුරුද්දකින් රුපියල් සංචිතය බිලියන 900 ක් දක්වා වැඩි කරගෙන තිබෙනවා.  නමුත් මේ වනවිට මහා භාණ්ඩාගාරයේ තිබෙන්නේ රුපියල් බිලියන 620ක් පමණයි.

වාහන බදු ආදායමත් අවසන් කරගෙන

අනුර දිසානායක ජනාධිපතිවරයා බවට පත්වූවාට පසුව වාහන ආනයනය ආරම්භ කළා. වාහන ආනයන හේතුවෙන් රුපියල් බිලියන 986 ක් ආණ්ඩුවට ලැබී තිබෙනවා. කෙසේ නමුත් රුපියල් බිලියන 986 ක මුදල් සංචිතය රුපියල් බිලියන 620 අඩුවී තිබෙනවා. ඒ වගේම පසුගිය මැයි මාසයේදී ඩොලර් මිලියන 223ක් විදේශ සංචිත වෙළඳපොළට නිකුත් කරලා තිබෙනවා. ආණ්ඩුව සතු මිලියල 223 ක් වෙළඳපොළට නිකුත් කර ඩොලරය පාලනය කිර ගැනීමට කටයුතු කර තිබෙනවා. ආණ්ඩුව සතු රුපියල් සංචිත අවසන් කරගෙන, ඩොලරයත් පාලනය නොකර, ආණ්ඩුවට ලැබුණ දැවැන්ත වාහන බදු ආදායමත් අවසන් කරගෙන තිබෙනවා. මෙම මුදල්වලින් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්, රටේ ආර්ථික වර්ධනයක් සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. 

රජය, නීතිය බිඳවට්ටවන්න කටයුතු කරනවා

විදුලි බල මණ්ඩලය දැවැන්ත පාඩුවක් ලබනවා , ආණ්ඩුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට බිලියන 20 ක් දුන්නත්  ශ්‍රීලංකන් ගුවන් සමාගම දැවැන්ත පාඩුවක් ලබනවා. ඛණිජ තෙල් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබනවා. සීනි කර්මාන්තශාලාව පාඩු ලබනවා. ඒ අනුව ආණ්ඩුවට රටේ ආර්ථිකය කළමනාකාරණය කිරීමට නොහැකි වී තිබෙනවා. අධිකරණයේ, අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී තිබෙන විනිශ්චයකාරවරුන් පත් කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. මේ හරහා රජය මැදිහත්වී නීතිය බිඳවට්ටවන්න කටයුතු කර තිබෙනවා. මැතිවරණය පවත්වන්නේ නැතිව මැතිවරණ ක්‍රියාවලියත් අඩපණ කර තිබෙනවා. මෙම කාලය තුළ අනුර දිසානායක ජනාධිපතිවරයා අසමත් බව දැන් උප්පු වී තිබෙනවා. ඒ වගේම තමන්ට රට පාලනය කර ගැනීමට නොහැකි වුනොත් බලය අත්හැර යන බවත් ප්‍රකාශ කළා.

අනුර දිසානායක ජනාධිපතිවරයාට ගෙදර යන්න කාලය එළඹිලා

ජනපතිවීමට පෙර අනුර කුමාර දිසානායක කිව්වේ තමන් අසමත් නම් ජනාධිපති ධූරයෙන් ඒ මොහොතේම ඉවත් වෙනවා කියලා. එසේ නම් අනුර අසමත් කියා දැන් ඔප්පු වෙලා ඉවරයි. එසේනම් බලය අත්හැර නොයාමට හේතු මොනවාදැයි අනුර දිසානායක ජනාධිපතිවරයා රටට හෙළි කළ යුතුයි. අනුර දිසානායක ජනාධිපතිවරයාට ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට හැකියාවක් නැහැ. රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යන්න අනුර දිසානායක ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. රටේ ජනතාව ගේ ජන ජිවිතය පවත්වාගෙන ගොස් රටේ ජනතාවට ආර්ථික සහනයක් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඉන්ධන මිල කළමනාකරණය කර ගැනිම හැකියාවක් නැහැ. රටේ සිදුවන මහා පරිමාණ වංචා දුෂණ වළක්වාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා අනුර දිසානායක ජනාධිපතිවරයාට දැන් ගෙදර යන්න කාලය එළඹ තිබෙනවා.  ඒ වගේම තවමත් බලයේ රැඳි සිටින්න හේතුවක් තිබෙනවානම් එය රටට ඉදිරිපත් කරන්නැයි අනුර දිසානායක ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටිනවා.  ඒ වගේම බලහත්කාරයෙන් රාජ්‍ය බලය අල්ලා ගන්න ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සිහින දකිනවා. නමුත් රාජ්‍ය බලය අල්ලා ගන්නා බව අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කර නැහැ. කෙසේ නමුත් ටිල්වින් සිල්වා කියන දේ කරනවා ද නැත්නම් තමන් රටට ප්‍රකාශ කළ දේ කරනවාද යන්න අනුර දිසානායක ජනාධිපතිවරයා රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි.

තිබුණ මුදල් සංචිතයත් අඩු කරගෙන

අනුර දිසානායක ජනාධිපතිවරයා බලය ලබාගන්නා විට රටේ තිබුණ විදේශ සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක වෙත ගෙනැවිත් තිබුණා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදුන් බිලියන 9 ක විදේශ සංචිත ඉලක්කය සපුරා ගන්න වර්තමාන ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. රටේ මේ වනවිට විදේශ සංචිත තිබෙන්නේ බිලියන 6.7 ක්. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්කය සම්පුර්ණ කරන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. තිබුණ මුදල් සංචිතයත් වර්තමාන ආණ්ඩුව විසින් අඩු කරගෙන තිබෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව තුළ පසුගිය කාලය පුරා ඉතිහාසයේ සිදු නොවූ ආකාරයට මුදල් විශාල ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා. ඒ බර ජනතාවට පටවන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.  එම මුදල්වලට සිදුවුණ දේ පිළිබඳව සොයන්න ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුව මේ වනතුරු කිසිදු දැවැන්ත ආර්ථික ව්‍යාපෘතියක් සිදුකරලා නැහැ.

පාස්කු වින්දිතයින්ට සාධාරණයක් ඉටු විය යුතුයි

Screenshot 2026 06 10 170109

පාස්කු වින්දයන්ට සාධාරණයක් අනිවාර්යෙන් ඉටු විය යුතුයි. ඒ අනුව පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය දිගින් දිගටම පෙනී සිටියා. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනිකරණය විමෙන් ප්‍රශ්නය වැඩිවුණා මිසක අඩුවීමක් සිදුවුණේ නැහැ. කෙසේ නමුත් සමගි ජනබලවේගය මතයත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනත් සාධාරණව සිදුවිය යුතු බවයි. ඒ වගේම සුරේෂ් සලේට ශාරිරික වදහිංසා ලබාදෙන බවත් ඔහුට ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ දඩුවම් කරන බවටත් තොරතුරු වාර්තා වෙනවා. කෙසේ නමුත් ත්‍රස්තවාදය වැළැක්විමේ පනතට සමගි ජනබලවේගය සම්පුර්ණයෙන් විරුද්ධයි. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්විමේ පනත වඩා නිති අධිකරණය සතුව තිබෙනවා. ඒ වගේම බන්ධනාගාර තුළ සිරකරුවන්ට අමානුෂික ලෙස වද හිංසා ලබා දෙනවානම් ඒ සඳහාත් සමගි ජනබලවේගය සෘජුවම විරුද්ධ වෙනවා. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුන්ට අමානුෂික ලෙස වද හිංසා නොකර සාධාරණව ආදාල පරික්ෂණ කටයුතු කළ යුතුයි.  පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය , වින්දිතයන් බවට පත්වුණ පුද්ගලයන් මතින් දේශපාලනය කරන්න සමගි ජනබලවේගයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුවත් , විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් පාස්කු ප්‍රහාරය භාවිතා කරමින් දේශපාලනය සිදුකරනවා. යහපාලන ආණ්ඩුව සමයේ සිදුවුණ දේශපාලන කුමන්ත්‍රණයත් සමග රටේ ජාතික ආර්ක්ෂාව බිඳවැටීමකට ලක්වෙනවා.  මෙම තත්ත්වය නිසා පාස්කු ප්‍රහාරයක් සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් දේශිය සහ ජාත්‍යන්තරව පරික්ෂණ ගණනාවක් සිදුවුණා. ඒ පරික්ෂණවලින් පාස්කු වින්දිතයන්ට සාධාරණයක් ඉටු විය යුතුයි. එසේ නැතිව දේශාපලන නාට්‍ය රග දක්වන්න කටයුතු නොකළ යුතුයි.

පරික්ෂණ කටයුතු සාධාරණව සිදුවිය යුතුයි

සුරේෂ් සලේ වරදක් කර තිබෙනවානම් ඔහුට දඩුවමක් ලැබිය යුතුයි.  එමෙන්ම රාජකාරි කටයුත්තක දි සුරේෂ් සලේ වරදක් කර තිබෙනවානම් ඒ සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් කළ යුතුයි. කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික අවශ්‍යතා මත පුද්ගලයන්ට දඩුවම් කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කරන්න පෙර සුරේෂ් සලේව වැරදිකරු කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ආණ්ඩුව සහ විපක්ෂයේ කණ්ඩායමක් මෙය පිටපතකට අනුවයි සිදුකරන්නේ. ඒ හරහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කිසිදු සාධාරණයක් සිදුවෙන්නේ නැහැ.  අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන් ගේ ලැයිස්තුවක් ආණ්ඩුව සතුව තිබෙනවා. ආණ්ඩුව ඔවුන්ව අත්අඩංගුවට ගන්න පරික්ෂණ මෙහෙයවමින් සිටින බව පැහැදිලියි. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු කළ යුතුයි.  ඒ වගේම සුරේෂ් සලේ සම්බන්ධයෙන් පරික්ෂණවලට බාධා කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නේ නැහැ. නමුත් එම පරික්ෂණ කටයුතු සාධාරණව සිදුවිය යුතුයි.

සමගි ජනබලවේගය කවදාවත් රණවිරුවන්ට විරුද්ධව කතා කරලා නැහැ. ඒ වගේම රාජ්‍ය නිලධාරින්ට ඔවුන්ගේ රාජකාරිය කරන්න අවශ්‍ය පරිසරය සකස් කළ යුතුයි. එය වර්තමාන ආණ්ඩුව විසින් නැති කර තිබෙනවා.  ඊට විරුද්ධව සමගි ජනබලවේගය දිගින් දිගටම සටන් කරනවා.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න