Image

රාජ්‍යයක අත්තනෝමතික පාලනයක් බිහිවීම ඉක්මන් වන්නේ කෙසේ ද...? - රජිත් කීර්ති තෙන්නකෝන්

රාජ්‍යයක අත්තනෝමතික පාලනයක් බිහිවීම ඉක්මන් වන්නේ කෙසේ ද...? - රජිත් කීර්ති තෙන්නකෝන්

අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය හා දුෂණ විරෝධී යාන්ත්‍රණය දේශපාලකරණය (politicization) හා ආයුධකරණය (weaponization)  වන්නේ නම් එම රාජ්‍යයේ ඉක්මනින් හෝ පමා වී අනිවාර්යයෙන් ම අත්තනෝමතික පාලනයක් බිහිවන බව Free Lawyers සංවිධානයේ රජිත් කීර්ති තෙන්නකෝන්  පවසයි.

කොළඹ දී පැවති ඒකාබද්ධ විපක්ෂයේ පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් තෙන්නකෝන් තවදුරටත් පැවසූවේ ‘ලංකාව වගේ පශ්චාත් යුධ තත්ත්වයක් ඇති රටකට, අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය දුෂණ විරෝධී යාන්ත්‍රණය පූර්ණ නිදහස් ස්වරූපයකින් -- කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පැවතීම අතිශයින්ම වැදගත් බවයි.

අද රටේ අත්තනෝමතික පාලනයක් ඇතිවෙලා

 ''නිදහස් අධිකරණ පද්ධතිය තමයි නීතියේ ආධිපතිත්‍යයේ ‘පාදම’ නැත්තම් අත්තිවාරම කියන්නේ. ජනතාව අතර විශ්වාසය, අනිවාර්යයෙන්ම පැවතිය යුතු වගවීම, ජනතාවගේ හිමිකම් ආරක්ෂා කිරීම අතීත අපචාර නැවත ඇතිවීම වලක්වා ගැනීම කියන ඉතාමත් වැදගත් සංකල්පයන් හතර ආරක්ෂා කර හැකි වන්නේ එමගින් පමණයි. අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමයට, දුෂණ විරෝධී යාන්ත්‍රණයට දේශපාලන බලපෑම ඇතුළත් කරලා, අද රටේ අත්තනෝමතික පාලනයක් ඇතිවෙලා තියෙනවා. අපි 17වන ව්‍යවස්ථා සංශෝධනය, 19 සහා 21 ව්‍යවස්ථා සංශෝධන මගින් අපි ස්වාධීන පද්ධතියක් සකස් කර ගනු ලබූවා.   එමගින් දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවට ජනතා සුබසෙත ඉටු කිරීම බලාපොරොත්තුවුණා. දියුණු ‘තුලන හා සංවරණ’ ක්‍රියාවලිය තහවුරු කිරීමටයි. විධායක ක්‍රියාවක් මගින් අගතියට පත්වන විට වුනත්, එයට යුක්තිය ඉටුවන ස්වාධීන යාන්ත්‍රණයක් එමගින් හැදුවා. පත්වීම් සම්බන්ධයෙන් විධායක ජනාධිපතිවරයාට තිබු ප්‍රශ්න කළ නොහැකි, අධිපති බලය එයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සභාවකට ලබාදුන්නා. සුප්‍රීම් උසාවියේ, අභියාචාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම, නීතිපතිතුමා, පොලිස්පති, විගණකාධිපති පත් කිරීම ‘බහු පක්ෂ පුළුල් නියෝජනයක් සහිත ව්‍යවස්ථා සභාවට’ හිමිවුණා. අපේ රටේ අද නීතිය ඒකයි. ව්‍යවහාරය ඒකයි.

ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය විනාශකාරී ප්‍රවේශයක්

අප අද කතා කරන පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසමට මම එන්නම්. පොලිස් කොමිසම බිහිකරනු ලැබූයේ ‘පොලීසියේ ක්‍රියාකාරකම්’ අධීක්ෂණය (ඔව්ර්සී) කිරීමටයි. ජනාධිපතිවරයා එයට කොමසාරිස්වරු පත් කරන්නේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන්. ඒ වගේම, ජනාධිතිවරයා විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව සහ එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කරන්නේ ත්, ව්‍යවස්ථා සභාවේ නිර්දේශයෙන්. මේකම තමයි විගණන කාර්යාලයේත් සිද්ධ වෙන්නේ. මේ පත්වීම් ක්‍රමය ඇති කළේ, මේ වැදගත් ආයතන දේශපාලකරණය හා ආයුධකරණය වීමෙන් වළක්වා ගැනීමටයි. අවසනාවකට අපි අද මාලිමා ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය එයට හාත්පසින්ම වෙනස් විනාශකාරී ප්‍රවේශයක් ලබා තියෙනවා.  මේ ආණ්ඩුව දේශපාලන වේදිකාවේ සිටි, ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කිව්ව, විශ්‍රාමික පොලිස් නිලධාරිියෙක් ගෙනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටුවට පත් කරනු ලැබූවා. ඔහුට දැන් උසස්වීමක් දීලා තියෙනවා.  මේ හා සමානම චෝදනාවක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව නන්දන ගුණතිලක විසින් මතු කළා. නිදහස් නීතිඥයෝ සංවිධානය මේ වර්ධනය ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ඉතා අයහපත් ප්‍රවනතාවයක් ලෙස හඳුනාගන්නවා. අපි මැදිහත් වූ සිද්ධි කිහිපයක් මම මතක් කරන්නම්.  

ජයවර්ධනපුර ස්නායු වෛද්‍ය ඒකකය වසා දැම්මා

ආණ්ඩුවේ විධායකයේ ඉන්න ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ගැන කිසිම විමර්ශනයක් කරන්නේ නෑ. වසන්ත සමරසිංහ, ලාල් කාන්ත.  ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න ගල් අඟුරු සමාගමේ හොරකම් ගැන සවිස්තර තොරතුරු පැමිණිලි කළා.  2017 හෝ 2018 වාර්තා ලියාගත්තා.  දැන් ආය කොමිසමක් දාලා තියෙනවා. කලින් එකට වෙච්ච දෙයක් නෑ. ජයවර්ධනපුර  විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න රෝහලේ බෙහෙත් දෙන ගමන් අත්අඩංගුව ගත්තා. ලෝකයේ තියෙන සේරම චෝදනා එල්ල කලා. වෛද්‍යවරිය ගේ දුවටත් පස්සෙන් පන්නලා ගැහුවා. දැන් ජයවර්ධනපුර ස්නායු වෛද්‍ය ඒකකය, එතනට වැඩිම ආදායම ගෙනාපු ඒකකය වහලා දැම්මා. මේ සිද්ධියෙන් ජපන් රෝහලේ තවත් වෛද්‍යවරු රස්සාවෙන් ඉවත් වුණා. ජයවර්ධනපුර රෝහලම දැන් පාඩු ලබන ලෙඩ්ඩු එන්නේ නැති තැනක් බවට පත් වෙලා. දැන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඇඳ කුලියට දීලා මාධ්‍ය සංදර්ශන දානවා. වෛද්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම, සරලවම කියන්න තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව කියවන්න බැරිව රාජිතව රිමාන්ඩ් කළා. මොකද ඔහු විපක්ෂයේ නිසයි. හයේ පොතට කුණුහරුප ලින්ක් දැමීම.  රජයේ මුදල් වැය කරලා පොත් අච්චු ගහලා දැන් කොළ ඉරලා රජයට පාඩු කරලා තියෙනවා. කිසිම ක්‍රියාමාර්ගයක් මේක කරපු රජයේ නිලධාරීන්ට ආණ්ඩුවේ සමලිංගික ප්‍රවර්ධන දේශපාලනඥයින්ට විමර්ශනත් නෑ. නඩුත් නෑ.

විමර්ශන අවසන් නොකර පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම

සුප්‍රීම් උසාවියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම විනිසුරුතුමෙකු වන යසන්ත කෝදාගොඩ මැතිතුමා, තීරණයක් දීලා තියෙනවා ආවට ගියාට පුද්ගලයින් අත්අඩංගුවට ගන්න එපා. විමර්ශන අවසන් කරලා, හොයලා බලලා අත්අඩංගුවට ගන්න කියලා.  මේ තීන්දුව නියෝගයක් ලෙස පොලිස්පති හරහා තමයි හැම පොලීසියකට ම දීලා තියෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මැතිතුමා ගේ රිමාන්ඩ් සිද්ධිය බලන්න. යසන්ත කෝදාගොඩ විනිසුරුට අමතරව නීතිපතිත් කිව්වා විමර්ශන අවසන් කර අත්අඩංගුවට ගැනීම් කරන්න කියලා. සමන් ඒකනායක පොලීසියට කැඳවව්වා. එතනට එනකොට එන්න එපා කිව්වා. පස්සේ අත්අඩංගුවට අරගෙන උසාවියට කිව්වා පොලීසිය මගහරිනවා කියලා. පූසන්ට මාලු තම්බලා ගිහින් හැංගිලා ඉන්නවා කියලා. අභිලාෂය වුනේ ම සමන් ඒකනායක ලේකම්වරයා රිමාන්ඩ් කිරීම. භාණ්ඩාගාරයේ ඩො.මි. 2.5 ක් මංකොල්ල කෑම ගැන මේ දක්වා විමර්ශන සිදු වෙන්නේ මන්දගාමීව.  මුලික විමර්ශන වෙනස් කරපු ලේකම් හර්ෂණ සුරියප්පෙරුම පුටුවේ ඉන්නවා. හොරුත් ගැන කිසිම කතාවක් නෑ.

නීතිය සැමට සමානයිලු...

රාජ්‍ය පරිපාන අමාත්‍යාංශයේ හිටපු ලේකම් මායාදුන්නේ මහතා අත්අඩංගුවට ගත්තේ රු. ලක්ෂයකට සිද්ධියකට.  බොහෝ දෙනා හිතුවා ඔහු මාලිමාවට උපකාර කළ නිසා, ජනාධිපති ලේකම් ධුරයට පවා පත්වෙයි කියලා. ඔහු සුවිශේෂ සිවිල් නිලධාරියෙක්.  ඔහු අත්අඩංගුවට ගනු ලැබූවේ මාලඹේ අවමංගල්‍ය ශාලාවක දී, මිනියට අවසන් ගෞරව දක්වන අතරතුර යි. ජනාධිපති ලේකම් වෙයි කියන හිතන කෙනා, එහෙම FCID එකෙන් අත්අඩංගුවට පත් වෙන කොට රටට කිව්වේ නීතිය සැමට සමානයි කියලයි. හැබැයි එතන සිද්ධ වුණේ, වජිරාරාමේ දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ද වන මායාදුන්නේ උඩ ම පුටුවකට යන එක වළක්වන්නයි. නිවැරදිව අපක්ෂපාතීව, විමර්ශනය නිවැරදිව සිදු කරන්නේ නැතුව, චෝදනා ගොනු කරන්නේ නැතුව, දැන් උසාවියට බලපෑම් කරනවා හිරේ දාන්න කියලා. මේක තමයි මැයි පළමුවෙනිදා විධායක ජනාධිපතිගේ - කැබිනට් මණ්ඩලයේ කටින් පැන්නේ මැයි 25 හිරේ දානවා අත්පුඩි ගහන්න කියලා.

යහපාලනයේ පදනම විනාශ වෙමින් පවතිනවා

අපරාධ පරීක්ෂණය, නඩු පැවරීමේ ක්‍රමය, දුෂණ විරෝධී යාන්ත්‍රණය  දේශපාලකරණය හා ආයුධකරණය  වන්නේ නම්, මහජන විශ්වාසය බිඳවැටෙනවා.  නීතියේ ආධිපත්‍ය දුර්වල වෙනවා. 17, 19, 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් අමාරුවෙන් දිනාගත් ජයග්‍රහණ අඩපණ වෙනවා. එමගින් සිදුවන්නේ යහපාලනයේ පදනම විනාශ වීමයි. සියලුම ශ්‍රී ලාංකිකයන් අපේක්ෂා කරන ජාතික සංහිඳියාව විනාශවීමයි. අපි මේ ආණ්ඩුවට කියනවා, අපේ රට බොහෝ අමාරුවෙන් ‍ගොඩනගාගත් ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණවල ආත්මය, හරය, ගැඹුර, වටිනාකම් ආරක්ෂා කරන්න කියලා. මේ ආයතනවල ගෞරවය රට වැසියා වෙනුවෙන් රකින්න කියලා. දේශපාලන පක්ෂපාතීත්වය මත මේ ආයතන මෙහෙයවන්න එපා කියලා. අපි ආණ්ඩුවට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සමෘද්ධිමත් වන්නේ බලය සංකේන්ද්‍රණය වීමෙන් නොව, ශක්තිමත්, විනිවිද පෙනෙන විමර්ශන ක්‍රියාවලියක්, නඩු පැවරීමේ ක්‍රියාවලියක්, පොලීසියට, අල්ලස් කොමිසමට ලබාදිය යුතුයි.  පුද්ගලයින් ඉලක්ක කර ගත් දඩයමකින් රටකට යහපතක් වෙන්නේ නෑ.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න