තමලු "නලින් ද සිල්වා මහතා කළේ කුමක් ද?" මැයෙන් වැදගත් මැදිහත්වීමක් කර තිබිණි. එහි ප්‍රශ්න කළ යුතු, සංවාදයට බඳුන් කළ යුතු මූලික අදහස් තුනකි.
පළමු වැන්න කුමාරතුංග මුනිදාසයන් ගේ කාර්යසාධනය සම්බන්ධයෙනි. දෙ වැන්න නලින් ද සිල්වා ඇදුරුතුමා නිර්මාණය කළ දැනුම කුමක් සම්බන්ධ ව ද යන්න පිළිබඳ ව ය. ඒ කරුණු අපි සාකච්ඡා කළෙමු.
මේ අවසාන සාකච්ඡාව 'සිංහල-බෞද්ධ රාජ්‍යය' නිර්මාණය පිළිබඳ ව ය.
'නලින් ද සිල්වා මහතා කළේ කුමක් ද?' යන අදහස් දැක්වීමේ දී තමලු මෙසේ කියා ඇත:
"අපගේ ලෞකික විමුක්තිය රඳා පවතින්නේ බටහිර හෝ වෛදික දැනුමට යට නො වී, ඒවා අනුකරණය නොකර අපේ හිතන රටාවට, අපේ චින්තනයට දැනුම ගොඩනැංවීමෙන් හා භාවිත කිරීමෙන් බව පෙනෙනවා.. මෙහෙම දැනුමක් වර්ධනය කරමින්, භාවිත කරන්න නම් බටහිර දැනුම ඇහිඳගෙන අටවාගෙන යන පද්ධති බිඳ දමමින් අපේ චින්තනයේ පද්ධති ගොඩනඟා ගත යුතුයි..''
මෙහෙම ගොඩනඟන රාජ්‍යයක් තමයි ඔහු "සිංහල බෞද්ධ රාජ්‍යයක්" කියලා කියන්නේ.. ඒක ජනසංයුතිය හෝ රාජ්‍ය ආගම නම් කිරීම වැනි සංකේතකරණයක් නෙමෙයි... සිංහල බෞද්ධ රාජ්‍යය කියන්නේ "සිංහල බෞද්ධ චින්තනය" ලෙස හඳුනාගත හැකි සිතීමේ රටාවෙන් ගොඩනැඟෙන දැනුම අනුව ක්‍රියාත්මක වන රාජ්‍යයක්.
දැන් තමලු නලින් ද සිල්වා ඇදුරුතුමා බටහිර විද්‍යාවෙන් බණ්ඩනය වීම පිළිබඳ සාකච්ඡා කරද්දී ඊට පෙර ජාතික ව්‍යාපාරය හා සම්බන්ධ ප්‍රබලයින් ඒ සම්බන්ධයෙන් දැරූ මත විමසනවා. ඒත් අවාසනාවකට මෙ තැන දී එ වැන්නක් කරන්නේ නෑ. ඇයි? මෑතකාලීන ව අප රටේ සිංහල-බෞද්ධ රාජ්‍යයක් නිර්මාණය පිළිබඳ සංවාදය දියත් කළේ කවුද? නලින් ද සිල්වා ඇදුරුතුමා ඒ සංවාදයට ඇදී-ආවේ කෙසේ ද?
අපේ කාලයේ දී සිංහල-බෞද්ධ රාජ්‍යයක් පිළිබඳ සංවාදය දියත් කළ මහා ප්‍රාඥයා, මහා විරයා අමරසේකර යි. නිර්මාණකරුවකු ලෙස තමාට අවශ්‍ය සාහිත්‍ය කැඩපත නිර්මාණයට අවශ්‍ය දැනුම අප සමාජයේ උත්පාදනය නොකෙරෙන බව දුටු, එවැනි හරවත් සමාජ සංවාදයක් නොමැති බව දුටු අමරසේකර, 1976 දී 'අබුද්දස්ස යුගයක්' ලියමින් කළේ ඒ සමාජ සංවාදය දියත් කිරීමට තමා ම ශක්ති පමණින් මැදිහත් විම ය. ඊට ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ප්‍රතිචාර දැක්වූයේ 'අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?' යන විචාරයෙනි. අමරසේකර පිළිතුරු දුන්නේ, අප පතන උත්තර සමාජය මේ පොළොවේ නිර්මාණය කිරීමට නම්, ජාතිකත්වය හා මාක්ස්වාදය අතර සහවාසයක් යෝජනා කළ, 'අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?' කෘතියෙනි (1980). ඊට පෙර 77 දී 'අසත්‍ය කතාවක්' හා 78 දී 'ප්‍රේමයේ සත්‍ය කතාව" එ තුමා අප හමුවේ තබා තිබිණී.
1983/84 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් මම කොළඹ සරසවියට එනුයේ 1984 වසර මුල ය. ප්‍රමාදය 83 වසරේ ජූලි කලබල හා බැඳුණු සිද්ධීන් හේතුවෙනි. 1984 වසර පුරාවට මම ගවේෂකයෝ සාකච්ඡාවන්ට සහභාගී වූ අතර එහි දී සාකච්ඡා කෙරූණේ විද්‍යාව හා බැඳුණු, දැනුම හා බැඳුණු තේමා ය. ජාතිකත්වය ගැන, වීශේෂයෙන් ම ජාතිකත්වය හා මාක්ස්වාදය අතර සහවාසයක අවශ්‍යතාව ගැන නලින් ද සිල්වා ඇදුරුතුමා කරුණු දක්වනවා මා පළමු වරට සවන් දුන්නේ 1984 වසර අග නොවේ නම්, 1985 වසර මුල 'අබුද්දස්ස යුගයක්', 'අසත්‍ය කතාවක්' හා 'ප්‍රේමයේ සත්‍ය කතාව' කෘති පිළිබඳ ව කොළඹ සරසවි ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ පැවැති සම්මන්ත්‍රණයේ දී ය.
එයින් පසු, 1986 දී අමරසේකර රත්නපුර සම්මන්ත්‍රණයක දී, 'ජාතික චින්තනයක අවශ්‍යතාව' යන දේශනය කළේ ය. ඒ දේශන පිටපත දිවයින පුවත්පතේ පළවූ පසු, එහි වූ කරුණු මුල් කරගෙන පැන නැඟුණ සංවාදයේ දී නලින් ඇදුරුතුමා ජාතික චින්තනයක අවශ්‍යතාව වෙනුවෙන් කරුණු දැක්වූයේ ය; ඒ කරුණු වර්ධනය කළේ ය.
1988 දී අමරසේකර ගේ 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු' කෘතිය එළිදුටුවේ ය. 'අප සතු ව ඇති ජාතික චින්තනය කුමක් ද?', 'ජාතික චින්තනය වෙනුවට මාක්ස්වාදය ආදේශ කිරීම', 'සංස්කෘතිය හා ආර්ථිකය', 'අපේ ජාතික අරගලය හා සමාජවාදී අරගලය'' එහි සාකච්ඡා කෙරුණු මාතෘකා කීපයකි. මේ කෘතිය පිළිබඳ 'කාලය' සඟරාවට (1988 ඔක්තෝබර) නලින් ඇදුරුතුමා ලියූ විචාරයේ මෙ සේ කරුණු දක්වා තිබිණි:
"1977 මැතිවරණය හා 1982 ජනමත විචාරණය තුළින් අන්ධකාරයේ ප්‍රපාතයට ම ඇදවැටුණු අපේ ජාතියට ශාස්ත්‍රීය ක්ෂේත්රයෙහි දැකගත හැකි අරුණළු වූයේ එම කාලය තුළ ගුණදාස අමරසේකරයන් අතින් එළිදැක්වුණු අදහස් ය. එම අදහස් පෝෂණය කරගැනීම මෙ රට තරුණ පරපුරේ වගකීම ය."
මේ ලිපිය නැවත 1991 දී එළිදැක්වූ නලින් ද සිල්වා ඇදුතුමා ගේ 'ජාතිය, සංස්කෘතිය සහ චින්තනය' යන කෘතියට ද ඇතුළත් කර තිබීමෙන්, එ තුමා ඒ අදහස් කෙ තරම් වැදගත් ලෙස සැලකුවේ ද යන්න පෙනේ.
මේ රටෙහි සිංහල-බෞද්ධ රාජ්‍යයක් නැවත ගොඩනැඟීම පිළිබඳ අදහස වර්ධනය වූයේ මේ සංවාදය මඟිනි. අමරසේකර, 'අමතක වූ උරුමය: කවන්ධයට හිසක්' (2011), 'ධනවාදයට විකල්පයක්: අප සතු මඟ' (2018), 'සභ්‍යත්ව රාජ්‍යය කරා' (2016), හා 'සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය' (2025) ආදී වශයෙන් කෘති ගණනාවක් රචනා කරමින් මේ සංවාදය ඉදිරියට ගෙන ගොස් ඇත.
සිංහල-බෞද්ධ රාජ්‍යය හා සභ්‍යත්ව රාජ්‍ය පිළිබඳ ව ද ඇතැමුන් තුළ දුර්මත තිබෙනු පෙනේ. චීන රාජ්‍යයේ ස්වභාවය ගැන කෙරෙන සාකච්ජාවක දී මාටින් ජැක් ගෙන-ආ සභ්‍යත්ව රාජ්‍යය පිළිබඳ අදහස අමරසේකර සිංහල-බෞද්ධ රාජ්‍යයක් පිළිබඳ ව අප කරමින් සිටි සංවාදය වඩාත් පෘථුල ලෙස සූත්රගත කිරීමට යොදාගෙන ඇත. අප රටට ආදාළ සභ්‍යත්ව රාජ්‍යය සිංහල-බෞද්ධ රාජ්‍යය යි. එහෙත් චීනයට, නැතිනම් කොරියාවට, නැතිනම් රුසියාවට අදාල වෙනුයේ එය නොවේ. ඒ ඒ රාජ්‍යයේ ඓතිහාසික විකාශනයට අනුකූල වූවකි. ඒ අනුව අප සිංහල-බෞද්ධ රාජ්‍යය පිළිබඳ ගොඩනැඟූ දැනුම, ලෝකයට ම පොදු දැනුමක් බවට පත් කිරීම මේ මඟින් සිදුකර ඇත. වියුක්ත දැනුම නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ගැන කතා කරන අපි මේ ගැන උද්දාමයට පත්විය යුතු නැද්ද?

ගෙවිඳු කුමාරතුංග
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
