ලෝක කාන්තා දිනය නිමිති කරගෙන නව ජනතා පෙරමුණේ කාන්තා එකමුතුව අද දින අතිගරු ජනාධිපතිතුමන්ට සන්දේශයක් භාර දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ ය.
කාන්තා අයිතීන් සහ කාන්තා සවිබල ගැන්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් බලයට පැමිණි මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කාරණා විශාල වශයෙන් සාකච්ඡා වුවද මේ වන විට අපට කිසිදු සහනශීලි ක්‍රියාපිළිවෙතක් ඇති කර නොමැත. එම ප්‍රකාශයේ සඳහන් කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් පහතින් සඳහන් කරුණු ඉදිරිපත් කළ හැකි ය.
01. ස්වයං රැකියා සහ සුළු පරිමාණ ව්‍යාපාරවල නිරත කාන්තාවන් සඳහා සහනදායී ණය ක්‍රම සහ තාක්ෂණික උපදේශනය ලබා දීම.
02. ග්‍රාමීය කාන්තාවන් පීඩාවට පත් කර ඇති අසාධාරණ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ඔවුන් මුදාගැනීම සඳහා සහනදායී වැඩපිළිවෙළක් සැකසීම.
03. කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නීති දැඩි කිරීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම.
04. කාන්තාවන්ගේ සෞඛ්‍ය පහසුකම් නංවාලීම සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය සඳහා පවතින අධික බදු ඉවත් කර ඒවා සහන මිලට ලබාදීමට පියවර ගැනීම.
05. රැකියාවල නිරත මව්වරුන්ට සහනයක් ලෙස රජයේ සහ පෞද්ගලික අංශය තුළ ප්‍රමිතියෙන් යුත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම දිරිමත් කිරීම.
06. වතු ක්ෂේත්‍රයේ සහ මැදපෙරදිග රැකියාවල නිරත කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම.

